අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.2.5.6. කෝකනද සුත්තං

10.2.5.6. කෝකනද පිරිවැජියාට වදාළ දෙසුම

එක් සමයක ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ රජගහ නුවර තපෝදාරාමයෙහි වැඩවෙසෙති. එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ රාත්‍රියේ පශ්චිම යාමයෙහි නැගිට සිරුර තෙමා ගැනීමට තපෝදා නදියට වැඩියහ. තපෝදා නදියෙන් සිරුර තෙමා ගෙන පෙරලා ගොඩට වැඩම කොට තනි සිවුරෙන් යුතුව සිරුරෙහි තෙත සිඳුවමින් සිටියහ. කෝකනද පිරිවැජියා ද රාත්‍රියේ පශ්චිම යාමයෙහි නැගිට සිරුර තෙමා ගැනීමට තපෝදා නදියට ගියේ ය. කෝකනද පිරිවැජියා දුරින් ම වඩින ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ දැක්කේ ය. දැක ආයුෂ්මත් ආනන්දයන්ට මෙය පැවසුවේ ය.

“ආයුෂ්මත, තෙපි කවරහු ද?”

“ආයුෂ්මත, මම භික්ෂුවක්මි.”

“ආයුෂ්මත, කවර වූ භික්ෂු පිරිසක් අතර කෙනෙක් ද?”

“ආයුෂ්මත, ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන් අතර කෙනෙක්මි.”

“ඉදින් ආයුෂ්මතුන් ප්‍රශ්නයක් විසඳාගන්නට අවස්ථාව දෙන්නේ නම් අපි ආයුෂ්මතුන්ගෙන් කිසියම් ප්‍රශ්නයක් අසන්නෙමු.”

“අසව ආයුෂ්මත. ඇසීමෙන් පසු දැනගන්නෙමු.”

“භවත්නි, කිම? ඔබ ලෝකය සදාකාලික ය යන මෙය ම සත්‍ය ය. අන් මත බොරු ය යන දෘෂ්ටිය ඇත්තෙහි ද?”

“ආයුෂ්මත, මම ලෝකය සදාකාලික ය යන මෙය ම සත්‍ය ය. අන් මත බොරු ය යන දෘෂ්ටිය නැත්තෙමි.”

“භවත්නි, කිම? ඔබ ලෝකය සදාකාලික නැත යන මෙය ම සත්‍ය ය. අන් මත බොරු ය යන දෘෂ්ටිය ඇත්තෙහි ද?”

“ආයුෂ්මත, මම ලෝකය සදාකාලික නැත යන මෙය ම සත්‍ය ය. අන් මත බොරු ය යන දෘෂ්ටිය නැත්තෙමි.”

“භවත්නි, කිම? ඔබ ලෝකය වනාහී අන්තවත් ය. ….(පෙ)…. ලෝකය අනන්තවත් ය. ….(පෙ)…. එය ජීවය යි, එය ශරීරය යි ….(පෙ)…. ජීවය අනෙකකි, ශරීරය අනෙකකි ….(පෙ)…. තථාගත තෙම මරණින් මතු සිටියි ….(පෙ)…. තථාගත තෙම මරණින් මතු නොසිටියි ….(පෙ)…. තථාගත තෙම මරණින් මතු සිටියි, නොසිටියි ….(පෙ)…. තථාගත තෙම මරණින් මතු නොසිටියි, නොම නොසිටියි යන මෙය ම සත්‍ය ය. අන් මත බොරු ය යන දෘෂ්ටිය ඇත්තෙහි ද?”

“ආයුෂ්මත, මම තථාගත තෙම මරණින් මතු නොසිටියි, නොම නොසිටියි යන මෙය ම සත්‍ය ය. අන් මත බොරු ය යන දෘෂ්ටිය නැත්තෙමි.”

“එසේ නම් භවතුන් නොදනියි. නොදකියි.”

“ආයුෂ්මත, මම නොදන්නෙක් නොවෙමි. නොදකින්නෙක් නොවෙමි. ආයුෂ්මත, මම දනිමි. දකිමි.”

“භවත්නි, කිම? ඔබ ලෝකය සදාකාලික ය යන මෙය ම සත්‍ය ය. අන් මත බොරු ය යන දෘෂ්ටිය ඇත්තෙහි දැයි මෙසේ ඇසූ කල්හී ‘ආයුෂ්මත, මම ලෝකය සදාකාලික ය යන මෙය ම සත්‍ය ය. අන් මත බොරු ය යන දෘෂ්ටිය නැත්තෙමි’යි පවසන්නෙහි ය. භවත්නි, කිම? ඔබ ලෝකය සදාකාලික නැත ය යන මෙය ම සත්‍යය ය. අන් මත බොරු ය යන දෘෂ්ටිය ඇත්තෙහි දැයි මෙසේ ඇසූ කල්හී ‘ආයුෂ්මත, මම ලෝකය සදාකාලික නැත ය යන මෙය ම සත්‍ය ය. අන් මත බොරු ය යන දෘෂ්ටිය නැත්තෙමි’යි පවසන්නෙහි ය.

භවත්නි, කිම? ඔබ ලෝකය වනාහී අන්තවත් ය. ….(පෙ)…. ලෝකය අනන්තවත් ය. ….(පෙ)…. එය ජීවය යි, එය ශරීරය යි ….(පෙ)…. ජීවය අනෙකකි, ශරීරය අනෙකකි ….(පෙ)…. තථාගත තෙම මරණින් මතු සිටියි ….(පෙ)…. තථාගත තෙම මරණින් මතු නොසිටියි ….(පෙ)…. තථාගත තෙම මරණින් මතු සිටියි, නොසිටියි ….(පෙ)…. තථාගත තෙම මරණින් මතු නොසිටියි, නොම නොසිටියි යන මෙය ම සත්‍ය ය. අන් මත බොරු ය යන දෘෂ්ටිය ඇත්තෙහි දැයි මෙසේ ඇසූ කල්හී ‘ආයුෂ්මත, මම තථාගත තෙම මරණින් මතු නොසිටියි, නොම නොසිටියි යන මෙය ම සත්‍ය ය. අන් මත බොරු ය යන දෘෂ්ටිය නැත්තෙමි’යි පවසන්නෙහි ය.

එසේ නම්, ඔය කාරණය පිළිබඳ ව භවතුන් නොදනියි, නොදකියි යැයි මෙසේ විමසූ කල්හී ‘ආයුෂ්මත, මම නොදන්නෙක් ද, නොදකින්නෙක් ද නොවෙමි. ආයුෂ්මත, මම දනිමි. දකිමි’ යි පවසන්නෙහි ය. ආයුෂ්මතුන් මේ පැවසූ කරුණෙහි අර්ථය කෙසේ දැනගත යුතු ද?”

“ආයුෂ්මත, ලෝකය සදාකාලික ය, මෙය ම සත්‍යය ය, සෙස්ස බොරු ය යන්න දෘෂ්ඨිගත වූවකි. ලෝකය සදාකාලික නැත, මෙය ම සත්‍යය ය, සෙස්ස බොරු ය යන්න දෘෂ්ඨිගත වූවකි. ලෝකය අන්තවත් ය, මෙය ම සත්‍යය ය, සෙස්ස බොරු ය යන්න දෘෂ්ඨිගත වූවකි. ලෝකය අනන්තවත් ය. ….(පෙ)…. එය ජීවය යි, එය ශරීරය යි ….(පෙ)…. ජීවය අනෙකකි, ශරීරය අනෙකකි ….(පෙ)…. තථාගත තෙම මරණින් මතු සිටියි ….(පෙ)…. තථාගත තෙම මරණින් මතු නොසිටියි ….(පෙ)…. තථාගත තෙම මරණින් මතු සිටියි, නොසිටියි ….(පෙ)…. තථාගත තෙම මරණින් මතු නොසිටියි, නොම නොසිටියි යන මෙය ම සත්‍යය ය, සෙස්ස බොරු ය යන්න දෘෂ්ටිගත වූවකි. ආයුෂ්මත, දෘෂ්ටිගත වූ යම්තාක් දේ ඇද්ද, දෘෂ්ටීන්ට හිත වූ යම්තාක් කරුණු ඇද්ද, යම්තාක් දැඩිව ගත් දෘෂ්ටි ඇද්ද, යම්තාක් දෘෂ්ටීන්ගෙන් නැගී සිටීමක් ඇද්ද, යම්තාක් දෘෂ්ටීන්ගේ හටගැනීමක් ඇද්ද, යම්තාක් දෘෂ්ටි නැසීමක් ඇද්ද, එය මම දනිමි, එය මම දකිමි. එය මම දනිමින්, එය මම දකිමින් කුමක් නිසා නම් නොදනිමි යි, නොදකිමි යි කියන්නෙම් ද? ආයුෂ්මතුනි, මම දනිමි, දකිමි.”

“ආයුෂ්මත්හු කවර නම් ඇත්තහුද? සබ්‍රහ්මචාරීහු ආයුෂ්මතුන් ව කොයි අයුරින් දන්නාහු ද?”

“ආයුෂ්මත, ආනන්ද යනු මාගේ නම යි. සබ්‍රහ්මචාරීන් වහන්සේලා මා ගැන ආනන්ද යැයි දනිති.”

“ඒකාන්තයෙන් භවත් මහා ආචාර්යයන් සමඟ කතාබස් කරද්දී මේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ බව අපි නොදැන සිටියෙමු. ඉදින් අපි මේ ආයුෂ්මත් ආනන්දයෝ යැයි දන්නමෝ නම් මෙපමණකින් වත් අපට කරුණු නොවැටහෙන්නේ ය. ආයුෂ්මත් ආනන්දයෝ මට සමාවෙත්වා!”

සාදු! සාදු!! සාදු!!!

කෝකනද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-5-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M