එකල්හී උත්තිය පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු විය යුතු පිළිසඳර කතා බහේ යෙදී එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් උත්තිය පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ කීවේ ය.
“කිම? භවත් ගෞතමයෙනි, ලෝකය සදාකාලික ය යන මෙකරුණ ම සත්‍යයයි ද? අන් මත බොරු ද?”
“උත්තිය, ලෝකය සදාකාලික ය යන මෙකරුණ ම සත්‍යයයි. අන් මත බොරු ය යන මෙය මවිසින් ප්‍රකාශ නොකරන ලද්දේ ය.”
“කිම? භවත් ගෞතමයෙනි, ලෝකය සදාකාලික නැත ය යන මෙකරුණ ම සත්‍යයයි ද? අන් මත බොරු ද?”
“උත්තිය, ලෝකය සදාකාලික නැත ය යන මෙකරුණ ම සත්‍යයයි. අන් මත බොරු ය යන මෙය ද මවිසින් ප්‍රකාශ නොකරන ලද්දේ ය.”
“කිම? භවත් ගෞතමයෙනි, ලෝකය වනාහී අන්තවත් ය. ….(පෙ)…. ලෝකය අනන්තවත් ය. ….(පෙ)…. එය ජීවය යි, එය ශරීරය යි ….(පෙ)…. ජීවය අනෙකකි, ශරීරය අනෙකකි ….(පෙ)…. තථාගත තෙම මරණින් මතු සිටියි ….(පෙ)…. තථාගත තෙම මරණින් මතු නොසිටියි ….(පෙ)…. තථාගත තෙම මරණින් මතු සිටියි, නොසිටියි ….(පෙ)…. තථාගත තෙම මරණින් මතු නොසිටියි, නොම නොසිටියි යන මෙකරුණ ම සත්‍යයයි ද? අන් මත බොරු ද?”
“උත්තිය, තථාගත තෙම මරණින් මතු නොසිටියි, නොම නොසිටියි යන මෙකරුණ ම සත්‍යයයි. අන් මත බොරු ය යන මෙය ද මවිසින් ප්‍රකාශ නොකරන ලද්දේ ය.”
“කිම? භවත් ගෞතමයෙනි, ලෝකය සදාකාලික ය යන මෙය ම සත්‍යය යි, අන් මත බොරු ද යන කරුණ මා විසින් ඇසූ කල්හී ‘උත්තිය, ලෝකය සදාකාලික ය යන මෙකරුණ ම සත්‍යය යි. අන් මත බොරු ය යන මෙය මවිසින් ප්‍රකාශ නොකරන ලද්දේ යැ’යි පැවසූවෙහි ය.
කිම? භවත් ගෞතමයෙනි, ලෝකය සදාකාලික නැත ය යන මෙය ම සත්‍යය යි, අන් මත බොරු ද යන කරුණ මා විසින් ඇසූ කල්හී ‘උත්තිය, ලෝකය සදාකාලික නැත ය යන මෙකරුණ ම සත්‍යය යි. අන් මත බොරු ය යන මෙය ද මවිසින් ප්‍රකාශ නොකරන ලද්දේ යැ’යි පැවසූවෙහි ය.
කිම? භවත් ගෞතමයෙනි, ලෝකය වනාහී අන්තවත් ය. ….(පෙ)…. ලෝකය අනන්තවත් ය. ….(පෙ)…. එය ජීවය යි, එය ශරීරය යි ….(පෙ)…. ජීවය අනෙකකි, ශරීරය අනෙකකි ….(පෙ)…. තථාගත තෙම මරණින් මතු සිටියි ….(පෙ)…. තථාගත තෙම මරණින් මතු නොසිටියි ….(පෙ)…. තථාගත තෙම මරණින් මතු සිටියි, නොසිටියි ….(පෙ)…. තථාගත තෙම මරණින් මතු නොසිටියි, නොම නොසිටියි යන මෙය ම සත්‍යය යි, අන් මත බොරු ද යන කරුණ මා විසින් ඇසූ කල්හී ‘උත්තිය, තථාගත තෙම මරණින් මතු නොසිටියි, නොම නොසිටියි යන මෙකරුණ ම සත්‍යය යි. අන් මත බොරු ය යන මෙය ද මවිසින් ප්‍රකාශ නොකරන ලද්දේ යැ’යි පැවසූවෙහි ය. එසේ නම් භවත් ගෞතමයන් විසින් ප්‍රකාශ කරන ලද්දේ කුමක් ද?”
“උත්තිය, මම විශිෂ්ට ඥානයෙන් අවබෝධ කොට ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කරමි. ඒ සත්වයන්ගේ විශුද්ධිය පිණිස ත්, ශෝක වැළපීම් ඉක්මවා යාම පිණිස ත්, කායික මානසික දුක් නැතිවීම පිණිස ත්, සත්‍යාවබෝධය පිණිස ත්, නිවන අත්දැකීම පිණිස ත් ය.”
“ඉදින් භවත් ගෞතම තෙමේ විශිෂ්ට ඥානයෙන් අවබෝධ කොට ශ්‍රාවකයන්ට යම් ධර්මයක් දේශනා කරයි නම්, ඒ සත්වයන්ගේ විශුද්ධිය පිණිස ත්, ශෝක වැළපීම් ඉක්මවා යාම පිණිස ත්, කායික මානසික දුක් නැතිවීම පිණිස ත්, සත්‍යාවබෝධය පිණිස ත්, නිවන අත්දැකීම පිණිස ත් නම් ඒ ධර්මයෙන් සියලු ලෝකයා හෝ ලොවෙන් අඩක් හෝ තුනෙන් පංගුවක් හෝ නිවනට පමුණුවනු ලැබේ ද?”
මෙසේ ඇසූ විට භාග්‍යවතුන් වහන්සේ නිහඬ ව සිටි සේක. එවිට ආයුෂ්මත් ආනන්දයන් හට මේ අදහස ඇතිවිය. ‘උත්තිය පරිබ්‍රාජක මෙබඳු පවිටු දෘෂ්ටියක් ඇති නොකර ගනීවා! එනම් ‘ඒකාන්ත කොට මා විසින් සියල්ලන්ට ම සාමුක්කංසික දේශනාව කළ යුත්තේ නොවේ ද?’ කියා විමසන ලද එම ප්‍රශ්නය ශ්‍රමණ ගෞතමයෝ වළක්වති. නොවිසඳති. නොඉවසති’ යනුවෙනි. එය උත්තිය පිරිවැජියා හට බොහෝ කල් අහිත පිණිස, දුක් පිණිස හේතුවනු ඇත.
ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ උත්තිය පිරිවැජියාට මෙය පැවසූහ.
“ආයුෂ්මත් උත්තිය, මම ඔබට උපමාවක් කියන්නෙමි. උපමාවෙනුත් මෙහි ඇතැම් නුවණැති මිනිස්සු පවසන ලද කරුණෙහි අර්ථ දැනගනිති. ආයුෂ්මත් උත්තිය, එය මෙබඳු දෙයකි. රජක්හු හට ඈත ප්‍රදේශයක නගරයක් තිබේ. එහි දැඩි පවුරු පදනම් ඇත. දැඩි ප්‍රාකාර තොරණ ඇත. එක් දොරටුවෙක් ඇත්තේ ය. එහි ඉතා නුවණැති ව්‍යක්ත වූ, ප්‍රඥා සම්පන්න වූ දොරටු පාලයෙක් සිටියි. හේ නොදන්නා අය ඇතුළට නොගනියි. දන්නා අය ම ඇතුළට ගනියි. හේ ඒ නගරය වටා ඇති වට මාවතේ ඇවිදිමින් යන විට ප්‍රාකාර හංදියක් හෝ, ප්‍රාකාර විවරයක් හෝ, යටත් පිරිසෙන් බළලෙකු හෝ නික්මෙන ප්‍රමාණයේ සිදුරක් නොදකියි. ඔහුට මෙබඳු ඥානයක් පහළ නොවෙයි. ‘මෙපමණ සත්වයෝ මේ නගරයට පිවිසෙති, මේ නගරයෙන් නික්ම යති’ යනුවෙනි. එසේ නමුත් ඔහුට මෙබඳු සිතක් පහළ වෙයි. ‘යම්කිසි ගොරෝසු සිරුරු ඇති ප්‍රාණීහු වෙත් ද, ඔවුහු මේ නගරයට පිවිසෙත් ද, නික්ම යත් ද, ඒ සියල්ලෝ ම පිවිසෙන්නාහු ත්, නික්මෙන්නාහු ත් මේ දොරටුවෙන් ම ය’ යනුවෙනි.
ඒ අයුරින් ම ආයුෂ්මත් උත්තිය, තථාගතයන් වහන්සේට මෙබඳු වූ උත්සාහයක් ඇති නොවෙයි. එනම් ‘සකල ලෝකයා ම හෝ ලෝකයාගේ අඩක් හෝ ලෝකයාගෙන් තුනෙන් පංගුවක් හෝ ඒ ධර්මයෙන් එතෙර කරවනු ලැබේ’ ය යනුවෙනි. එනමුදු තථාගතයන් වහන්සේට මෙබඳු වූ අදහසක් ඇතිවෙයි. එනම්, ‘යම්කිසි කෙනෙක් ලෝකයෙන් නිදහස් ව ගියාහු ද, නිදහස් වී යත් ද, නිදහස් වන්නාහු ද, ඒ සියල්ලෝ ම සිතට උපක්ලේශයන් වන, ප්‍රඥාව දුර්වල කරන, පංච නීවරණයන් ප්‍රහාණය කොට, සතර සතිපට්ඨානයන්හි මැනැවින් සිත පිහිටුවාගෙන, සප්ත බොජ්ඣංගයන් ඒ අයුරින් ම දියුණු කොට මෙලෙසින් ඒ සත්වයෝ ලෝකයෙන් නික්ම ගියාහු ය. නික්ම යත්, නික්ම යන්නාහුය’ යි.
ආයුෂ්මත් උත්තිය, ඔබ භාග්‍යවතුන් වහන්සේගෙන් යම් ප්‍රශ්නයක් ඇසුවේ ද, ඒ ප්‍රශ්නය ම භාග්‍යවතුන් වහන්සේගෙන් අන්‍ය වූ ක්‍රමයකින් ඇසුවේ ය. එනිසා ය භාග්‍යවතුන් වහන්සේ එය ඔබට නොවදාළේ.”
සාදු! සාදු!! සාදු!!!
උත්තිය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-5-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M