අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.2.5.4. වජ්ජියමාහිත සුත්තං

10.2.5.4. වජ්ජියමාහිත ගෘහපතියාට වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ චම්පායෙහි ගග්ගරා පොකුණු තෙර වැඩවසන සේක. එකල්හී වජ්ජියමාහිත ගෘහපති තෙමේ දහවල් මධ්‍යාහ්නයෙහිදී භාග්‍යවතුන් වහන්සේ බැහැදැකීම පිණිස චම්පායෙන් නික්මුණේ ය. එවිට වජ්ජියමාහිත ගෘහපතිහුට මේ සිත පහළ විය. ‘තව ම භාග්‍යවතුන් වහන්සේ දැක්මට කල් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ භාවනාවෙන් වැඩසිටින සේක. මනෝභාවනීය භික්ෂූන් දැක්මට ද කල් නොවෙයි. මනෝභාවනීය භික්ෂූහු ත් භාවනාවෙන් වැඩසිටිති. එහෙයින් මම අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනක ද, එතැනට යන්නෙම් නම් මැනැවැ’යි. ඉක්බිති වජ්ජියමාහිත ගෘහපති තෙමේ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමයට ගියේ ය.

එසමයෙහි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ එක්රැස් ව මහත් සේ හඬ නගමින් උස් හඬින් යුතු ව, මහ හඬින් යුතු ව අනේකප්‍රකාර වූ තිරශ්චීන කථා කතා කරමින් හුන්නාහු ය. එකල්හී ඒ අන්‍ය තීර්ථක පිරිවැජියෝ දුරින් ම පැමිණෙන වජ්ජියමාහිත ගෘහපති දුටුවාහු ය. දැක ඔවුනොවුන් නැවැත්තූහ. ‘භවත්හු අල්ප ශබ්ද ව සිටිත්වා! භවත්හු ශබ්ද නොකරත්වා!’ ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක වූ මේ වජ්ජියමාහිත ගෘහපති තෙමේ එයි. ශ්‍රමණ ගෞතමයන්ගේ සුදු වත් හඳිනා ගිහි ශ්‍රාවකයෝ යම්තාක් චම්පා නුවර වසත් ද, මේ වජ්ජියමාහිත ගෘහපති තෙමේ ඔවුන් අතර කෙනෙකි. ඒ ආයුෂ්මත්හු නිශ්ශබ්දතාවයට කැමැත්තහු ය. නිශ්ශබ්දතාවය පිණිස හික්මී සිටිති. නිශ්ශබ්දතාවයෙහි ගුණ වර්ණනා කරන්නෝ ය. අල්ප ශබ්ද ඇති පිරිස දැන ඔවුන් වෙත පැමිණිය යුතු යැයි හඟින්නේ නම් මැනැවැයි එකල්හී ඒ අන්‍ය තීර්ථක පිරිවැජියෝ නිශ්ශබ්ද වූවාහු ය.

එකල්හී වජ්ජියමාහිත ගෘහපති තෙමේ ඒ අන්‍ය තීර්ථක පිරිවැජියන් වෙත පැමිණියේ ය. පැමිණ ඒ අන්‍ය තීර්ථක පිරිවැජියන් හා සතුටු විය. සතුටු විය යුතු පිළිසඳර කතා බහේ යෙදී එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් වජ්ජියමාහිත ගෘහපති හට ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙකරුණ කීහ.

“සැබෑවක් ද ගෘහපතිය, ශ්‍රමණ ගෞතම තෙමේ සියලු තපසට ගරහන්නේ ද? රූක්ෂ ජීවිකා ඇති දුෂ්කර තවුස් දම් රකින හැමට ඒකාන්තයෙන් නින්දා කරන්නේ ද? දොස් කියන්නේ ද?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ සෑම තපසකට ම නොගරහන සේක. රූක්ෂ ජීවිකා ඇති දුෂ්කර තවුස් දම් රකින සියල්ලන්ට ම ඒකාන්ත කොට නින්දා නොකරන සේක. දොස් නොකියන සේක. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ගැරහිය යුතු දෙයට ගරහන සේක. පැසසිය යුතු දෙය පසසන සේක. ස්වාමීනී, ගැරහිය යුතු දෙයට ගරහන, පැසසිය යුතු දෙසට පසසන භාග්‍යවතුන් වහන්සේ බෙදා විග්‍රහ කොට කරුණු පවසන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙහිලා ඒකාන්ත කොට පවසන්නාහු නොවෙති.”

මෙසේ පැවසූ කල්හී එක්තරා පිරිවැජියෙක් වජ්ජියමාහිත ගෘහපති හට මෙසේ පැවසී ය.

“ඉවසව ගෘහපතිය, ඔබ යම්බඳු ශ්‍රමණ ගෞතමයන්ගේ ගුණ වර්ණනා කරන්නෙහිද, ඒ ශ්‍රමණ ගෞතම තෙමේ අන්‍යයන් විසින් හික්මවිය යුතු කෙනෙකි. කිසිවක් පැණවීමෙහි සමතෙක් නොවෙයි.”

“ස්වාමීනී, මෙහිලා මම ආයුෂ්මත්වරුන්ට කරුණු සහිත ව කියමි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මෙය කුසලය’ යැයි පණවන ලද්දේ ය. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මෙය අකුසලය’ යැයි පණවන ලද්දේ ය. මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ කුසල්, අකුසල් පණවන කල්හී භාග්‍යවතුන් වහන්සේ කරුණු පැණවීමෙහි සමර්ථ වන සේක. එනිසා ඒ භාග්‍යවතුන් වහන්සේ ඔබ කියන අයුරින් අනුන් ලවා හික්මවිය යුතුත්, කරුණු පැණවීමෙහි අසමර්ථ බවකුත් නැති සේක.”

මෙසේ පැවසූ විට ඒ පරිබ්‍රාජකයෝ නිශ්ශබ්ද වූවාහු ය. තේජස් රහිත වූවාහු ය. ඇඟ පහත් කරගත්තාහු ය. මුව යටට හරවා ගත්තාහු ය. වැටහීම් රහිත ව සිතමින් හුන්නාහු ය. එවිට එසේ නිශ්ශබ්ද ව තේජස් රහිත ව ඇඟ පහත් කරගෙන, මුව යටට හරවා ගෙන, වැටහීම් රහිත ව, සිතමින් සිටින ඒ පරිබ්‍රාජකයන් දැක වජ්ජියමාහිත ගෘහපති තෙමේ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් වජ්ජියමාහිත ගෘහපති තෙමේ ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් හා යම්තාක් කථා සල්ලාපයෙක් වී ද, ඒ තාක් හැම භාග්‍යවතුන් වහන්සේට සැළ කළේ ය.

“ගෘහපතිය, සාදු! සාදු! ගෘහපතිය, ඔය හිස් පුරුෂයෝ කලින් කලට කරුණු සහිත ව ඔය අයුරින් මැනැවින් නිග්‍රහ කොට නිගැනිය යුත්තාහ.

ගෘහපතිය, මම හැම තවුස් දහමක් ම තැවිය යුතු යැයි නොකියමි. ගෘහපතිය, මම හැම තවුස් දහමක් ම නොතැවිය යුතු යැයි ද නොකියමි. ගෘහපතිය, මම හැම සමාදානයක් ම සමාදන් විය යුතු යැයි නොකියමි. ගෘහපතිය, මම හැම සමාදානයක් ම සමාදන් නොවිය යුතු යැයි ද නොකියමි. ගෘහපතිය, මම හැම පධන් වීර්යයක් ම වීරිය කළ යුතු යැයි නොකියමි. ගෘහපතිය, මම හැම පධන් වීර්යයක් ම වීරිය නොකළ යුතු යැයි නොකියමි. ගෘහපතිය, මම දුරු කළ යුතු සියල්ල දුරු කළ යුතු යැයි ද නොකියමි. ගෘහපතිය, මම දුරු කළ යුතු සියල්ල දුරු නොකළ යුතු යැයි ද නොකියමි. ගෘහපතිය, මම සියලු විමුක්තියෙන් විමුක්තියට පත් විය යුතු යැයි ද නොකියමි. ගෘහපතිය, මම සියලු විමුක්තියෙන් විමුක්තියට පත් නොවිය යුතු යැයි ද නොකියමි.

ගෘහපතිය, යම් තපසක් කරන්නහුගේ අකුසල් දහම් වැඩී යයි නම්, කුසල් දහම් පිරිහී යයි නම්, එබඳු වූ තපස නොතැවිය යුතු යැයි කියමි. ගෘහපතිය, යම් තපසක් කරන්නහුගේ කුසල් දහම් වැඩී යයි නම්, අකුසල් දහම් පිරිහී යයි නම්, එබඳු වූ තපස තැවිය යුතු යැයි කියමි.

ගෘහපතිය, යම් සමාදානයක් සමාදන් වන්නහුගේ අකුසල් දහම් වැඩී යයි නම්, කුසල් දහම් පිරිහී යයි නම්, එබඳු වූ සමාදානය සමාදන් නොවිය යුතු යැයි කියමි. ගෘහපතිය, යම් සමාදානයක් සමාදන් වන්නහුගේ කුසල් දහම් වැඩී යයි නම්, අකුසල් පිරිහී යයි නම්, එබඳු වූ සමාදානය සමාදන් විය යුතු යැයි කියමි.

ගෘහපතිය, යම් පධන් වීර්යයක් කරන්නහුගේ අකුසල් දහම් වැඩී යයි නම්, කුසල් දහම් පිරිහී යයි නම්, එබඳු වූ පධන් වීර්යය නොකළ යුතු යැයි කියමි. ගෘහපතිය, යම් පධන් වීර්යයක් කරන්නහුගේ කුසල් දහම් වැඩී යයි නම්, අකුසල් පිරිහී යයි නම්, එබඳු වූ පධන් වීර්යය කළ යුතු යැයි කියමි.

ගෘහපතිය, යම් අත්හැරීමක් කරන්නහුගේ අකුසල් දහම් වැඩී යයි නම්, කුසල් දහම් පිරිහී යයි නම්, එබඳු වූ අත්හැරීම නොකළ යුතු යැයි කියමි. ගෘහපතිය, යම් අත්හැරීමක් කරන්නහුගේ කුසල් දහම් වැඩී යයි නම්, අකුසල් දහම් පිරිහී යයි නම්, එබඳු වූ අත්හැරීම කළ යුතු යැයි කියමි.

ගෘහපතිය, යම් විමුක්තියක් කරන්නහුගේ අකුසල් දහම් වැඩී යයි නම්, කුසල් දහම් පිරිහී යයි නම්, එබඳු වූ විමුක්තියක් නොකළ යුතු යැයි කියමි. ගෘහපතිය, යම් විමුක්තියක් කරන්නහුගේ කුසල් දහම් වැඩී යයි නම්, අකුසල් දහම් පිරිහී යයි නම්, එබඳු වූ විමුක්තියක් කළ යුතු යැයි කියමි.

එවිට වජ්ජියමාහිත ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලදුව, සමාදන් කරවන ලදුව, උත්සාහවත් කරවන ලදුව, සතුටට පත් කරන ලදුව හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට පැදකුණු කොට නික්ම ගියේ ය.

එකල්හී වජ්ජියමාහිත ගෘහපති තුමා නික්ම ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූහ.

“මහණෙනි, යම් ඒ භික්ෂුවක් මේ ධර්ම විනයෙහි බොහෝ කාලයක් මද කෙලෙස් ඇති ව සිටින්නේ වෙයි ද, මේ වජ්ජියමාහිත ගෘහපතිහු විසින් කරුණු සහිත ව අන්‍ය තීර්ථක පිරිවැජියන්ට නිග්‍රහ කරන ලද්දේ යම් අයුරින් ද, ඔහු ද ඒ අයුරින් කළ යුත්තේ ය.”

සාදු! සාදු!! සාදු!!!

වජ්ජියමාහිත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M