අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.2.5.3. කිං දිට්ඨික සුත්තං

10.2.5.3. කුමන දෘෂ්ටියක් දැයි යනුවෙන් වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයේ වැඩවසන සේක. එකල්හී අනාථ පිණ්ඩික ගෘහපති තෙමේ දහවල් මධ්‍යාහ්නයෙහිදී භාග්‍යවතුන් වහන්සේ බැහැදැකීම පිණිස සැවැත් නුවරින් නික්මුණේ ය. එවිට අනේපිඬු ගෘහපති හට මේ සිත පහළ විය. ‘තව ම භාග්‍යවතුන් වහන්සේ දැක්මට කල් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ භාවනාවෙන් වැඩසිටින සේක. මනෝභාවනීය භික්ෂූන් දැක්මට ද කල් නොවෙයි. මනෝභාවනීය භික්ෂූහු ත් භාවනාවෙන් වැඩසිටිති. එහෙයින් මම් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනක ද, එතැනට යන්නෙම් නම් මැනැවැ’යි. ඉක්බිති අනේපිඬු සිටු තෙමේ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමයට ගියේ ය.

එසමයෙහි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ එක්රැස් ව මහත් සේ හඬ නගමින් උස් හඬින් යුතුව, මහ හඬින් යුතුව අනේකප්‍රකාර වූ තිරශ්චීන කථා කතා කරමින් හුන්නාහු ය. එකල්හී ඒ අන්‍ය තීර්ථක පිරිවැජියෝ දුරින් ම පැමිණෙන අනාථපිණ්ඩික ගෘහපති දුටුවාහු ය. දැක ඔවුනොවුන් නැවැත්තූහ. ‘භවත්හු අල්ප ශබ්ද ව සිටිත්වා! භවත්හු ශබ්ද නොකරත්වා!’ ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක වූ මේ අනාථ පිණ්ඩික ගෘහපති තෙමේ එයි. ශ්‍රමණ ගෞතමයන්ගේ සුදුවත් හඳිනා ගිහි ශ්‍රාවකයෝ යම්තාක් සැවැත් නුවර වසත් ද, මේ අනාථපිණ්ඩික ගෘහපති තෙමේ ඔවුන් අතර කෙනෙකි. ඒ ආයුෂ්මත්හු නිශ්ශබ්දතාවයට කැමැත්තහු ය. නිශ්ශබ්දතාවය පිණිස හික්මී සිටිති. නිශ්ශබ්දතාවයෙහි ගුණ වර්ණනා කරන්නෝ ය. අල්ප ශබ්ද ඇති පිරිස දැන ඔවුන් වෙත පැමිණිය යුතු යැයි හඟින්නේ නම් මැනැවැයි එකල්හී ඒ අන්‍ය තීර්ථක පිරිවැජියෝ නිශ්ශබ්ද වූවාහු ය.

එකල්හී අනාථපිණ්ඩික ගෘහපති තෙමේ ඒ අන්‍ය තීර්ථක පිරිවැජියන් වෙත පැමිණියේ ය. පැමිණ ඒ අන්‍ය තීර්ථක පිරිවැජියන් හා සතුටු විය. සතුටු විය යුතු පිළිසඳර කතා බහේ යෙදී එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් අනාථපිණ්ඩික ගෘහපති හට ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙකරුණ කීහ.

“කියව ගෘහපතිය, ශ්‍රමණ ගෞතම තෙමේ කවර දෘෂ්ටියකින් යුක්ත ද?”

“ස්වාමීනී, මම් භාග්‍යවතුන් වහන්සේගේ සෑම දෘෂ්ටියක් ම නොදනිමි.”

“එසේ වී නම් ගෘහපතිය, ඔබ ශ්‍රමණ ගෞතමයන්ගේ සෑම දෘෂ්ටියක් ම නොදන්නෙහි නම්, කියව ගෘහපතිය, භික්ෂූන්ගේ දෘෂ්ටිය කුමක් ද?”

“ස්වාමීනී, මම් භික්ෂූන්ගේ ද සෑම දෘෂ්ටියක් ම නොදනිමි.”

“එසේ වී නම් ගෘහපතිය, ඔබ ශ්‍රමණ ගෞතමයන්ගේ සෑම දෘෂ්ටියක් ම නොදන්නෙහි නම්, භික්ෂූන්ගේ ද සෑම දෘෂ්ටියක් ම නොදන්නෙහි නම්, කියව ගෘහපතිය, ඔබ කවර දෘෂ්ටියක් ඇත්තෙහි ද?”

“ස්වාමීනී, අපි කවර දෘෂ්ටියකින් යුක්ත වෙමු ද යන ඔය කරුණ නම් අපට පවසන්නට දුෂ්කර නැත්තේ ය. පළමු ව ආයුෂ්මත්හු තමන්ගේ දෘෂ්ටීහු ගැන පවසත්වා! පසුව අපි කවර දෘෂ්ටියක් ඇත්තමෝ දැ යි පවසන්නට අපට දුෂ්කරකමක් නැත්තේ ය.”

මෙසේ පැවසූ කල්හී එක්තරා පරිබ්‍රාජකයෙක් අනාථපිණ්ඩික ගෘහපතියාට මෙය පැවසූයේ ය. “ගෘහපතිය, මම ‘ලෝකය වනාහී සදාකාලික ය. මෙය ම සත්‍යය වේ. අන් සියල්ල බොරු ය’ යන මෙබඳු දෘෂ්ටියක් ඇත්තෙමි.” තවත් පරිබ්‍රාජකයෙක් අනාථපිණ්ඩික ගෘහපතියාට මෙය පැවසූයේ ය. “ගෘහපතිය, මම ‘ලෝකය වනාහී සදාකාලික නැත. මෙය ම සත්‍යය වේ. අන් සියල්ල බොරු ය’ යන මෙබඳු දෘෂ්ටියක් ඇත්තෙමි.” තවත් පරිබ්‍රාජකයෙක් අනාථපිණ්ඩික ගෘහපතියාට මෙය පැවසූයේ ය. “ගෘහපතිය, මම ‘ලෝකය වනාහී අන්තවත් ය. ….(පෙ)…. ලෝකය අනන්තවත් ය. ….(පෙ)…. එය ජීවය යි, එය ශරීරය යි ….(පෙ)…. ජීවය අනෙකකි, ශරීරය අනෙකකි ….(පෙ)…. තථාගත තෙම මරණින් මතු සිටියි ….(පෙ)…. තථාගත තෙම මරණින් මතු නොසිටියි ….(පෙ)…. තථාගත තෙම මරණින් මතු සිටියි, නොසිටියි ….(පෙ)…. තථාගත තෙම මරණින් මතු නොසිටියි, නොම නොසිටියි. මෙය ම සත්‍යය වේ. අන් සියල්ල බොරු ය’ යන මෙබඳු දෘෂ්ටියක් ඇත්තෙමි.”

මෙසේ පැවසූ විට අනාථපිණ්ඩික ගෘහපති ඒ පරිබ්‍රාජකයන්ට මෙකරුණ කීවේ ය.

“ස්වාමීනී, යම් ආයුෂ්මත් කෙනෙක් මෙසේ කිව්වේ ද, එනම් ‘ගෘහපතිය, මම ලෝකය සදාතනිකය යන මෙය ම සත්‍යය ය. අන් සියල්ල බොරු ය යන දෘෂ්ටිය ඇත්තෙක් වෙමි’ යි. මේ ආයුෂ්මතුන්ගේ මෙම දෘෂ්ටිය තමන් නුවණින් තොර ව මෙනෙහි කිරීමෙන් හෝ උපන්නක් විය යුතුයි. නැත්නම් අනුන් ගෙන් අසා ගත් දැනුමෙන් හෝ උපන්නක් විය යුතුයි. ඔය දෘෂ්ටිය හටගත් දෙයකි. සකස් වූ දෙයකි. සිතින් මවා ගත් දෙයකි. හේතූන් නිසා උපන් දෙයකි. යම් කිසිවක් හටගත්තේ වෙයි ද, සකස් වූයේ වෙයි ද, සිතින් මවා ගත්තේ වෙයි ද, හේතූන්ගෙන් හටගත්තේ වෙයි ද, එය අනිත්‍යය ය. යමක් අනිත්‍ය ද, එය දුකකි. දුක් වූ යමක් ඇද්ද, මේ ආයුෂ්මතුන් ඇලී ඇත්තේ එයට ම යි. ඒ ආයුෂ්මතුන් එහි ම බැසගත්තේ ය.

ස්වාමීනී, යම් ආයුෂ්මත් කෙනෙක් මෙසේ කිව්වේ ද, එනම් ‘ගෘහපතිය, මම ලෝකය සදාතනික නොවේ යන මෙය ම සත්‍යය ය. අන් සියල්ල බොරු ය යන දෘෂ්ටිය ඇත්තෙක් වෙමි’ යි. මේ ආයුෂ්මතුන්ගේ මෙම දෘෂ්ටිය තමන් නුවණින් තොර ව මෙනෙහි කිරීමෙන් හෝ උපන්නක් විය යුතුයි. නැත්නම් අනුන් ගෙන් අසා ගත් දැනුමෙන් හෝ උපන්නක් විය යුතුයි. ඔය දෘෂ්ටිය හටගත් දෙයකි. සකස් වූ දෙයකි. සිතින් මවා ගත් දෙයකි. හේතූන් නිසා උපන් දෙයකි. යම් කිසිවක් හටගත්තේ වෙයි ද, සකස් වූයේ වෙයි ද, සිතින් මවා ගත්තේ වෙයි ද, හේතූන්ගෙන් හටගත්තේ වෙයි ද, එය අනිත්‍යය ය. යමක් අනිත්‍ය ද, එය දුකකි. දුක් වූ යමක් ඇද්ද, මේ ආයුෂ්මතුන් ඇලී ඇත්තේ එයට ම යි. ඒ ආයුෂ්මතුන් එහි ම බැසගත්තේ ය.

ස්වාමීනී, යම් ආයුෂ්මත් කෙනෙක් මෙසේ කිව්වේ ද, එනම් ‘ගෘහපතිය, මම ලෝකය අන්තවත් ය ….(පෙ)…. ලෝකය අනන්තවත් ය ….(පෙ)…. ජීවය ය එය ය, ශරීරය එය ය ….(පෙ)…. ජීවය අනිකකි, ශරීරය අනිකකි ….(පෙ)…. තථාගත තෙම මරණින් මතු සිටියි ….(පෙ)…. තථාගත තෙම මරණින් මතු නොසිටියි ….(පෙ)…. තථාගත තෙම මරණින් මතු සිටියි, නොසිටියි ….(පෙ)…. තථාගත තෙම මරණින් මතු නොසිටියි, නොම නොසිටියි’ යන මෙය ම සත්‍යය ය. අන් සියල්ල බොරු ය යන දෘෂ්ටිය ඇත්තෙක් වෙමි’ යි. මේ ආයුෂ්මතුන්ගේ මෙම දෘෂ්ටිය තමන් නුවණින් තොර ව මෙනෙහි කිරීමෙන් හෝ උපන්නක් විය යුතුයි. නැත්නම් අනුන්ගෙන් අසා ගත් දැනුමෙන් හෝ උපන්නක් විය යුතුයි. ඔය දෘෂ්ටිය හටගත් දෙයකි. සකස් වූ දෙයකි. සිතින් මවා ගත් දෙයකි. හේතූන් නිසා උපන් දෙයකි. යම් කිසිවක් හටගත්තේ වෙයි ද, සකස් වූයේ වෙයි ද, සිතින් මවා ගත්තේ වෙයි ද, හේතූන්ගෙන් හටගත්තේ වෙයි ද, එය අනිත්‍යය ය. යමක් අනිත්‍ය ද, එය දුකකි. දුක් වූ යමක් ඇද්ද, මේ ආයුෂ්මතුන් ඇලී ඇත්තේ එයට ම යි. ඒ ආයුෂ්මතුන් එහි ම බැසගත්තේ ය.”

මෙසේ පැවසූ කල්හී ඒ පරිබ්‍රාජකවරු අනාථපිණ්ඩික ගෘහපති හට මෙය කීවෝ ය.

“ගෘහපතිය, අපි සැම දෙනා විසින් ම තම තමන්ගේ දෘෂ්ටීහු පවසන ලද්දාහු ය. කියව, ගෘහපතිය, ඔබ කවර දෘෂ්ටියක් ඇත්තෙහි ද?”

“ස්වාමීනී, යම් කිසිවක් හටගත්තේ වෙයි ද, සකස් වූයේ වෙයි ද, සිතින් මවා ගත්තේ වෙයි ද, හේතූන්ගෙන් හටගත්තේ වෙයි ද, එය අනිත්‍යය ය. යමක් අනිත්‍ය ද, එය දුකකි. දුක් වූ යමක් ඇද්ද, එය ‘මගේ නොවෙයි, එය මම නොවෙමි, එය මාගේ ආත්මය නොවේ’ යැයි ස්වාමීනී, මම් මෙබඳු දෘෂ්ටියක් ඇත්තෙමි.”

“ගෘහපතිය, යම් කිසිවක් හටගත්තේ වෙයි ද, සකස් වූයේ වෙයි ද, සිතින් මවා ගත්තේ වෙයි ද, හේතූන්ගෙන් හටගත්තේ වෙයි ද, එය අනිත්‍යය ය. යමක් අනිත්‍ය ද, එය දුකකි. දුක් වූ යමක් ඇද්ද, ගෘහපතිය, ඔබ එයට ම ඇලුනෙහි ය. ගෘහපතිය, ඔබ එම දෘෂ්ටියෙහි ම බැසගත්තෙහි ය.”

“ස්වාමීනී, යම් කිසිවක් හටගත්තේ වෙයි ද, සකස් වූයේ වෙයි ද, සිතින් මවා ගත්තේ වෙයි ද, හේතූන්ගෙන් හටගත්තේ වෙයි ද, එය අනිත්‍යය ය. යමක් අනිත්‍ය ද, එය දුකකි. දුක් වූ යමක් ඇද්ද, එය ‘මගේ නොවෙයි, එය මම නොවෙමි, එය මාගේ ආත්මය නොවේ’ යැයි මේ අයුරින් මෙය ඇත්ත ඇති සැටියෙන් ම දියුණු කළ ප්‍රඥාවෙන් මැනැවින් දකින ලද්දේ ය. තවදුරටත් එහි නිස්සරණය ද ඇති සැටියෙන් ම දනිමි”යි.

එවිට ඒ පරිබ්‍රාජකයෝ නිශ්ශබ්ද වූවාහුය. තේජස් රහිත වූවාහු ය. ඇඟ පහත් කරගත්තාහු ය. මුව යටට හරවා ගත්තාහු ය. වැටහීම් රහිත ව සිතමින් හුන්නාහු ය. එවිට එසේ නිශ්ශබ්ද ව තේජස් රහිත ව ඇඟ පහත් කරගෙන, මුව යටට හරවා ගෙන, වැටහීම් රහිත ව, සිතමින් සිටින ඒ පරිබ්‍රාජකයන් දැක අනාථපිණ්ඩික ගෘහපති තෙමේ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් අනාථ පිණ්ඩික ගෘහපති තෙමේ ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් හා යම්තාක් කථා සල්ලාපයෙක් වී ද, ඒ තාක් හැම භාග්‍යවතුන් වහන්සේට සැළ කළේ ය.

“ගෘහපතිය, සාදු! සාදු! ගෘහපතිය, ඔය හිස් පුරුෂයෝ කලින් කලට කරුණු සහිත ව ඔය අයුරින් මැනැවින් නිග්‍රහ කොට නිගැනිය යුත්තාහ.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනාථපිණ්ඩික ගෘහපති හට දැහැමි කථාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කළහ. උත්සාහවත් කළහ. සතුටට පත් කළහ. එවිට අනාථපිණ්ඩික සිටු තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලදුව, සමාදන් කරවන ලදුව, උත්සාහවත් කරවන ලදුව, සතුටට පත් කරන ලදුව හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට පැදකුණු කොට නික්ම ගියේ ය.

එකල්හී අනාථපිණ්ඩික ගෘහපති තුමා නික්ම ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූහ.

“මහණෙනි, යම් භික්ෂුවක් මේ ධර්ම විනයෙහි උපසම්පදාවෙන් සිය වසකින් යුක්ත ව සිටියි නම් ඔහු ද, මේ අනේපිඬු ගෘහපතිහු විසින් කරුණු සහිත ව අන්‍ය තීර්ථක පිරිවැජියන්ගේ දෘෂ්ටීන්ට නිග්‍රහ කරන ලද්දේ යම් සේ ද, ඒ අයුරින් ම කළ යුත්තේ ය.”

සාදු! සාදු!! සාදු!!!

කිං දිට්ඨික සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M