සැවැත් නුවර දී ය ………..
එකල්හී ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ “ආයුෂ්මත් මහණෙනි” යි භික්ෂූන් ඇමතූහ. “ආයුෂ්මතුන් වහන්සැ”යි ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ මෙය වදාළහ.
“ආයුෂ්මත්නි, මෙහිලා භික්ෂුවක් ‘ඉපදීම ක්ෂය විය, බඹසර වාසය නිමවන ලද්දේ ය, කළ යුත්ත කරන ලද්දේ ය, මේ සසුනෙහි මත්තෙහි කළ යුතු දෙයක් නැති බව දනිමි’යි යනුවෙන් අරහත්වය ප්‍රකාශ කරයි. එකල්හී තථාගතයන් වහන්සේ වේවා, ධ්‍යාන ඇති සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වූ, පරසිත් දැනීමෙහි දක්ෂ වූ, අනුන්ගේ සිත් හි ඇති ස්වභාවය දැකීමට දක්ෂ වූ තථාගත ශ්‍රාවකයෙක් හෝ වේවා ඒ භික්ෂුවගෙන් කරුණු විමසයි. ප්‍රශ්න කරයි. දහම් කථාව කරයි. තථාගතයන් වහන්සේ විසින් හෝ ධ්‍යාන ඇති සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වූ, පරසිත් දැනීමෙහි දක්ෂ වූ, අනුන්ගේ සිත් හි ඇති ස්වභාවය දැකීමට දක්ෂ වූ තථාගත ශ්‍රාවකයෙකු විසින් හෝ කරුණු විමසන විට, ප්‍රශ්න අසන විට, දහම් කථාව කරන විට ඒ භික්ෂුවගේ ප්‍රකාශය හිස් බවට පත්වෙයි. ගුණ රහිත බවට පත්වෙයි. හානියට පත්වෙයි. කරදරයට පත්වෙයි. වෙනත් කරදරයකට හෝ පත්වෙයි.
තථාගතයන් වහන්සේ හෝ ධ්‍යාන ඇති සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වූ, පරසිත් දැනීමෙහි දක්ෂ වූ, අනුන්ගේ සිත් හි ඇති ස්වභාවය දැකීමට දක්ෂ වූ තථාගත ශ්‍රාවකයෙක් හෝ මෙසේ ඒ භික්ෂුවගේ සිත තම සිතින් විග්රහ කොට මෙනෙහි කරයි.
මේ ආයුෂ්මතුන් කවර කරුණක් මත ද ‘ඉපදීම ක්ෂය විය, බඹසර වාසය නිමවන ලද්දේ ය, කළ යුත්ත කරන ලද්දේ ය, මේ සසුනෙහි මත්තෙහි කළ යුතු දෙයක් නැති බව දනිමි’යි යනුවෙන් අරහත්වය ප්‍රකාශ කරන ලද්දේ?
1. තථාගතයන් වහන්සේ හෝ ධ්‍යාන ඇති සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වූ, පරසිත් දැනීමෙහි දක්ෂ වූ, අනුන්ගේ සිත් හි ඇති ස්වභාවය දැකීමට දක්ෂ වූ තථාගත ශ්‍රාවකයෙක් හෝ මෙසේ ඒ භික්ෂුවගේ සිත තම සිතින් විග්රහ කොට දැන ගනියි. ‘මේ ආයුෂ්මත් තෙමේ ක්‍රෝධයෙන් යුතු කෙනෙකි. ක්‍රෝධයෙන් යට වූ සිතින් බහුල ව වාසය කරයි. මේ ක්‍රෝධයට යට වී සිටීම වනාහී තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්ම විනය තුළ පිරිහීම ඇති කරවන කරුණකි.’
2. ‘මේ ආයුෂ්මත් තෙමේ බද්ධ වෛරයෙන් යුතු කෙනෙකි. බද්ධ වෛරයෙන් යට වූ සිතින් බහුල ව වාසය කරයි. මේ බද්ධ වෛරයට යට වී සිටීම තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්ම විනය තුළ පිරිහීම ඇති කරවන කරුණකි.
3. ‘මේ ආයුෂ්මත් තෙමේ අනුන්ගේ ගුණ නසන කෙනෙකි. ගුණමකු බවට යට වූ සිතින් බහුල ව වාසය කරයි. මේ ගුණමකු බවට යට වූ සිතින් සිටීම වනාහී තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්ම විනය තුළ පිරිහීම ඇති කරවන කරුණකි.
4. ‘මේ ආයුෂ්මත් තෙමේ එකට එක කරන කෙනෙකි. තරඟයට වැඩකරන සිතින් බහුල ව වාසය කරයි. මේ තරඟයට වැඩකරන සිතින් සිටීම වනාහී තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්ම විනය තුළ පිරිහීම ඇති කරවන කරුණකි.
5. ‘මේ ආයුෂ්මත් තෙමේ ඊර්ෂ්‍යාවෙන් යුතු කෙනෙකි. ඊර්ෂ්‍යාවට යට වූ සිතින් බහුල ව වාසය කරයි. මේ ඊර්ෂ්‍යාවට යට වුණු සිතින් සිටීම වනාහී තථාගතයන් විසින් දෙසූ ධර්ම විනය තුළ පිරිහීම ඇති කරවන කරුණකි.
6. ‘මේ ආයුෂ්මත් තෙමේ මසුරුකමින් යුතු කෙනෙකි. මසුරු බවින් යට වූ සිතින් බහුල ව වාසය කරයි. මේ මසුරුකමට යට වී සිටීම වනාහී තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්ම විනය තුළ පිරිහීම ඇති කරවන කරුණකි.
7. ‘මේ ආයුෂ්මත් තෙමේ ශඨකපට කෙනෙකි. වංචාවට යට වූ සිතින් බහුල ව වාසය කරයි. මේ ශඨ කපට බවට යට වී සිටීම වනාහී තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්ම විනය තුළ පිරිහීම ඇති කරවන කරුණකි.
8. ‘මේ ආයුෂ්මත් තෙමේ ඇත්ත සඟවන මායා ඇති කෙනෙකි. මායාවට යට වූ සිතින් බහුල ව වාසය කරයි. මේ මායාවට යට වී සිටීම වනාහී තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්ම විනය තුළ පිරිහීම ඇති කරවන කරුණකි.
9. ‘මේ ආයුෂ්මත් තෙමේ පවිටු ආශාවෙන් යුතු කෙනෙකි. පවිටු ආශාවට යට වූ සිතින් බහුල ව වාසය කරයි. මේ පවිටු ආශාවට යට වී සිටීම වනාහී තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්ම විනය තුළ පිරිහීම ඇති කරවන කරුණකි.
10. ‘මේ ආයුෂ්මත් තෙමේ මුලා වූ සිහියෙන් යුතු කෙනෙකි. තවදුරටත් ධර්මයෙහි කරන්නට කටයුතු තිබෙද්දී ස්වල්ප මාත්‍ර වූ විශේෂ අධිගමයක් නිසා තම කටයුතු නිමා වූ බවට පැමිණියේ ය. සුළු දෙයකින් සම්පූර්ණ වූ බව සිතා ගැනීම තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්ම විනය තුළ පිරිහීම ඇති කරවන කරුණකි.
ආයුෂ්මත්නි, ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව මේ දස කරුණ ප්රහාණය නොකොට මේ ධර්ම විනයෙහි දියුණුවකට, අභිවෘද්ධියකට, විපුල බවකට පත්වන්නේ ය යන මෙකරුණ නොදැක්ක හැකි දෙයකි. ආයුෂ්මත්නි, ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව මේ දස කරුණ ප්රහාණය කොට මේ ධර්ම විනයෙහි දියුණුවකට, අභිවෘද්ධියකට, විපුල බවකට පත්වන්නේ ය යන මෙකරුණ පැහැදිලි ව පෙනෙන දෙයකි.
සාදු! සාදු!! සාදු!!!
බ්යාකරණ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M