සැවැත් නුවර දී ය ………..
එකල්හී ආයුෂ්මත් පුණ්ණිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් පුණ්ණිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ හට මෙය පැවසුවෝ ය.
“ස්වාමීනී, යම් හෙයකින් තථාගතයන් වහන්සේ ඇතැම් අවස්ථාවන් හී දී, ධර්ම දේශනාව පවත්වන සේක් නම්, ඇතැම් අවස්ථාවන්හිදී නොපවත්වන සේක් නම් එයට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද?”
“පුණ්ණිය, භික්ෂුවක් ශ්‍රද්ධාවෙන් යුක්ත වෙයි. හේ තථාගතයන් වෙත නොඑළඹුණේ වේ. ඒ තාක් තථාගතයෝ ධර්ම දේශනාව නොපවත්වති. යම් කලක පුණ්ණිය, භික්ෂුව ශ්‍රද්ධාවන්ත වෙයි ද, තථාගතයන් වෙත එළඹුණේ වෙයි ද, එකල්හී මෙසේ තථාගතයෝ ධර්ම දේශනාව පවත්වති.
පුණ්ණිය, භික්ෂුව ශ්‍රද්ධාවන්ත ද වෙයි, එළඹෙන්නේ ද වෙයි. නමුත් ඇසුරු නොකරයි. ….(පෙ)…. ඇසුරු කරන්නේ ද වෙයි. එනමුදු ප්‍රශ්න නොකරයි ….(පෙ)…. ප්‍රශ්න කරන්නේ ද වෙයි. එනමුදු මනාව යොමු කළ කන් ඇති ව ධර්මය නොඅසයි. ….(පෙ)…. මනාව යොමු කළ කන් ඇති ව ධර්මය ද අසයි. එනමුදු ඇසූ ධර්මය නොදරයි. ….(පෙ)…. ඇසූ ධර්මය දරන්නේ ද වෙයි. එනමුදු දැරූ ධර්මයේ අර්ථ නොපිරික්සයි. ….(පෙ)…. දැරූ ධර්මයේ අර්ථ පිරික්සා බලන්නේ ද වෙයි. එනමුදු අර්ථය දැන ධර්මය දැන ධම්මානුධම්ම පටිපදාවට නොපැමිණියේ වෙයි. ….(පෙ)…. අර්ථය දැන ධර්මය දැන ධර්මානුධර්ම ප්‍රතිපදාවට පැමිණියේ ද වෙයි. එනමුදු කල්‍යාණ වචන නැත්තේ වෙයි. කල්‍යාණ ව්‍යවහාර ද, වැදගත් වචනයෙන් යුක්ත බව ද, නොවිසිරුණු වචන ඇති බව ද, නිදොස් වචන ඇති බව ද, අර්ථ පැහැදිලි කරන වචන ඇති බව ද නැත්තේ වෙයි. ….(පෙ)…. කල්‍යාණ වචන ඇත්තේ ද වෙයි. කල්‍යාණ ව්‍යවහාර ද, වැදගත් වචනයෙන් යුක්ත බව ද, නොවිසිරුණු වචන ඇති බව ද, නිදොස් වචන ඇති බව ද, අර්ථ පැහැදිලි කරන වචන ඇති බව ද ඇත්තේ වෙයි. එනමුදු සබ්‍රහ්මචාරීන් හට මැනැවින් පෙන්වා නොදෙන්නේ වෙයි. සමාදන් නොකරවන්නේ වෙයි. තෙද නොගන්වන්නේ වෙයි. දහම් සතුටු නූපදවන්නේ වෙයි. ඒ තාක් තථාගතයෝ ධර්ම දේශනාව නොපවත්වති.
යම් කලෙක පුණ්ණිය, භික්ෂුව ශ්‍රද්ධාවන්ත ද වෙයි, එළඹෙන්නේ ද වෙයි. ඇසුරු කරන්නේ ද වෙයි. ප්‍රශ්න කරන්නේ ද වෙයි. මනාව යොමු කළ කන් ඇති ව ධර්මය ද අසයි. ඇසූ ධර්මය දරන්නේ ද වෙයි. දැරූ ධර්මයේ අර්ථ පිරික්සා බලන්නේ ද වෙයි. අර්ථය දැන ධර්මය දැන ධර්මානුධර්ම ප්‍රතිපදාවට පැමිණියේ ද වෙයි. කල්‍යාණ වචන ඇත්තේ ද වෙයි. කල්‍යාණ ව්‍යවහාර ද, වැදගත් වචනයෙන් යුක්ත බව ද, නොවිසිරුණු වචන ඇති බව ද, නිදොස් වචන ඇති බව ද, අර්ථ පැහැදිලි කරන වචන ඇති බව ද ඇත්තේ ද වෙයි. සබ්‍රහ්මචාරීන් හට මැනැවින් දක්වන්නේ ද වෙයි. සමාදන් කරවන්නේ ද වෙයි. තෙද ගන්වන්නේ ද වෙයි. දහම් සතුට උපදවන්නේ ද වෙයි. එකල්හී තථාගතයෝ ධර්ම දේශනාව පවත්වති. පුණ්ණිය, තථාගතයන්ගේ මේ කරුණු දසයෙන් සමන්විත වූ ධර්ම දේශනාව ඒකාන්ත ප්‍රතිභානයෙන් යුක්ත වේ.
සාදු! සාදු!! සාදු!!!
පුණ්ණිය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M