අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.2.3.6. තයෝධම්ම සුත්තං

10.2.3.6. ධර්මයන් තුන් බැගින් වදාළ දෙසුම

සැවැත් නුවර දී ය ………..

මහණෙනි, ලෝකයෙහි මෙම ධර්මයන් තුන දකින්නට නොලැබුණේ නම්, තථාගත අරහත් සම්මා සම්බුදු කෙනෙක් ලොවෙහි පහළ නොවන්නාහු ය. තථාගතයන් වහන්සේ නමක් විසින් පවසනු ලබන ධර්ම විනය ද ලොවෙහි නොබබලන්නේ ය. ඒ කවර ධර්මයන් තුනක් ද යත්; ඉපදීම ත්, ජරාවට පත්වීම ත්, මරණය ත් ය. මහණෙනි, ලෝකයෙහි මෙම ධර්මයන් තුන දකින්නට නොලැබුණේ නම්, තථාගත අරහත් සම්මා සම්බුදු කෙනෙක් ලොවෙහි පහළ නොවන්නාහු ය. තථාගතයන් වහන්සේ නමක් විසින් පවසනු ලබන ධර්ම විනය ද ලොවෙහි නොබබලන්නේ ය.

යම් හෙයකින් මහණෙනි, මේ ත්‍රිවිධ කාරණා ලෝකයෙහි පෙනෙන්නට තිබෙයි ද, එනිසා ම තථාගත අරහත් සම්මා සම්බුදු කෙනෙක් ලෝකයෙහි පහළ වෙති. එනිසා ම තථාගතයන් විසින් දෙසනු ලබන ධර්ම විනය ලොවෙහි බබලයි.

1. මහණෙනි, මේ ධර්මයන් තුනක් ප්‍රහාණය නොකොට ඉපදීම ප්‍රහාණය කිරීමට, ජරාව ප්‍රහාණය කිරීමට, මරණය ප්‍රහාණය කිරීමට නොහැක්කේ ම ය. ඒ කවර ධර්මයන් තුනක් ද යත්; රාගය ප්‍රහාණය නොකොට, ද්වේෂය ප්‍රහාණය නොකොට, මෝහය ප්‍රහාණය නොකොට ය. මහණෙනි, මේ ධර්මයන් තුන ප්‍රහාණය නොකොට ඉපදීම ප්‍රහාණය කිරීමට, ජරාව ප්‍රහාණය කිරීමට, මරණය ප්‍රහාණය කිරීමට නොහැක්කේ ම ය.

2. මහණෙනි, මේ ධර්මයන් තුනක් ප්‍රහාණය නොකොට රාගය ප්‍රහාණය කිරීමට, ද්වේෂය ප්‍රහාණය කිරීමට, මෝහය ප්‍රහාණය කිරීමට නොහැක්කේ ම ය. ඒ කවර ධර්මයන් තුනක් ද යත්; සක්කාය දිට්ඨිය ප්‍රහාණය නොකොට, විචිකිච්ඡාව ප්‍රහාණය නොකොට, සීලබ්බත පරාමාසය ප්‍රහාණය නොකොට ය. මහණෙනි, මේ ධර්මයන් තුන ප්‍රහාණය නොකොට රාගය ප්‍රහාණය කිරීමට, ද්වේෂය ප්‍රහාණය කිරීමට, මෝහය ප්‍රහාණය කිරීමට නොහැක්කේ ම ය.

3. මහණෙනි, මේ ධර්මයන් තුනක් ප්‍රහාණය නොකොට සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමට, විචිකිච්ඡාව ප්‍රහාණය කිරීමට, සීලබ්බත පරාමාසය ප්‍රහාණය කිරීමට නොහැක්කේ ම ය. ඒ කවර ධර්මයන් තුනක් ද යත්; නුවණින් තොර ව මෙනෙහි කිරීම ප්‍රහාණය නොකොට, නොමග සේවනය කිරීම ප්‍රහාණය නොකොට, සිතෙහි හැකිළුණු බව ප්‍රහාණය නොකොට ය. මහණෙනි, මේ ධර්මයන් තුන ප්‍රහාණය නොකොට සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමට, විචිකිච්ඡාව ප්‍රහාණය කිරීමට, සීලබ්බත පරාමාසය ප්‍රහාණය කිරීමට නොහැක්කේ ම ය.

4. මහණෙනි, මේ ධර්මයන් තුනක් ප්‍රහාණය නොකොට නුවණින් තොර ව මෙනෙහි කිරීම ප්‍රහාණය කිරීමට, නොමග සේවනය කිරීම ප්‍රහාණය කිරීමට, සිතෙහි හැකිළුණු බව ප්‍රහාණය කිරීමට නොහැක්කේ ම ය. ඒ කවර ධර්මයන් තුනක් ද යත්; සිහි මුළා වීම ප්‍රහාණය නොකොට, නුවණ නැතිකම ප්‍රහාණය නොකොට, සිතෙහි කලබලය ප්‍රහාණය නොකොට ය. මහණෙනි, මේ ධර්මයන් තුන ප්‍රහාණය නොකොට නුවණින් තොර ව මෙනෙහි කිරීම ප්‍රහාණය කිරීමට, නොමග සේවනය කිරීම ප්‍රහාණය කිරීමට, සිතෙහි හැකිළුණු බව ප්‍රහාණය කිරීමට නොහැක්කේ ම ය.

5. මහණෙනි, මේ ධර්මයන් තුනක් ප්‍රහාණය නොකොට සිහි මුළා වීම ප්‍රහාණය කිරීමට, නුවණ නැතිකම ප්‍රහාණය කිරීමට, සිතෙහි කලබලය ප්‍රහාණය කිරීමට නොහැක්කේ ම ය. ඒ කවර ධර්මයන් තුනක් ද යත්; ආර්යයන් දැක්මට අකමැති බව ප්‍රහාණය නොකොට, ආර්යයන්ගේ ධර්මය අසනු අකමැති බව ප්‍රහාණය නොකොට, ගැටී දොස් කියන සිත් ඇති බව ප්‍රහාණය නොකොට ය. මහණෙනි, මේ ධර්මයන් තුන ප්‍රහාණය නොකොට සිහි මුළා වීම ප්‍රහාණය කිරීමට, නුවණ නැතිකම ප්‍රහාණය කිරීමට, සිතෙහි කලබලය ප්‍රහාණය කිරීමට නොහැක්කේ ම ය.

6. මහණෙනි, මේ ධර්මයන් තුනක් ප්‍රහාණය නොකොට ආර්යයන් දැක්මට අකමැති බව ප්‍රහාණය කිරීමට, ආර්යයන්ගේ ධර්මය අසනු අකමැති බව ප්‍රහාණය කිරීමට, ගැටී දොස් කියන සිත් ඇති බව ප්‍රහාණය කිරීමට නොහැක්කේ ම ය. ඒ කවර ධර්මයන් තුනක් ද යත්; සිතෙහි විසිරුණු බව ප්‍රහාණය නොකොට, අසංවර බව ප්‍රහාණය නොකොට, දුස්සීල බව ප්‍රහාණය නොකොට ය. මහණෙනි, මේ ධර්මයන් තුන ප්‍රහාණය නොකොට ආර්යයන් දැක්මට අකමැති බව ප්‍රහාණය කිරීමට, ආර්යයන්ගේ ධර්මය අසනු අකමැති බව ප්‍රහාණය කිරීමට, ගැටී දොස් කියන සිත් ඇති බව ප්‍රහාණය කිරීමට නොහැක්කේ ම ය.

7. මහණෙනි, මේ ධර්මයන් තුනක් ප්‍රහාණය නොකොට සිතෙහි විසිරුණු බව ප්‍රහාණය කිරීමට, අසංවර බව ප්‍රහාණය කිරීමට, දුස්සීල බව ප්‍රහාණය කිරීමට නොහැක්කේ ම ය. ඒ කවර ධර්මයන් තුනක් ද යත්; ශ්‍රද්ධාව නැතිබව ප්‍රහාණය නොකොට, පවසන කරුණෙහි අරුත් නොදන්නා බව ප්‍රහාණය නොකොට, කුසීත බව ප්‍රහාණය නොකොට ය. මහණෙනි, මේ ධර්මයන් තුන ප්‍රහාණය නොකොට සිතෙහි විසිරුණු බව ප්‍රහාණය කිරීමට, අසංවර බව ප්‍රහාණය කිරීමට, දුස්සීල බව ප්‍රහාණය කිරීමට නොහැක්කේ ම ය.

8. මහණෙනි, මේ ධර්මයන් තුනක් ප්‍රහාණය නොකොට අශ්‍රද්ධාව ප්‍රහාණය කිරීමට, පවසන කරුණෙහි අරුත් නොදන්නා බව ප්‍රහාණය කිරීමට, කුසීත බව ප්‍රහාණය කිරීමට නොහැක්කේ ම ය. ඒ කවර ධර්මයන් තුනක් ද යත්; අගෞරවය ප්‍රහාණය නොකොට, අකීකරු බව ප්‍රහාණය නොකොට, පවිටු මිතුරන් ඇසුර ප්‍රහාණය නොකොට ය. මහණෙනි, මේ ධර්මයන් තුන ප්‍රහාණය නොකොට අශ්‍රද්ධාව ප්‍රහාණය කිරීමට, පවසන කරුණෙහි අරුත් නොදන්නා බව ප්‍රහාණය කිරීමට, කුසීත බව ප්‍රහාණය කිරීමට නොහැක්කේ ම ය.

9. මහණෙනි, මේ ධර්මයන් තුනක් ප්‍රහාණය නොකොට අගෞරවය ප්‍රහාණය කිරීමට, අකීකරු බව ප්‍රහාණය කිරීමට, පවිටු මිතුරන් ඇසුර ප්‍රහාණය කිරීමට නොහැක්කේ ම ය. ඒ කවර ධර්මයන් තුනක් ද යත්; පවට ලැජ්ජා නැති බව ප්‍රහාණය නොකොට, පවට භය නැති බව ප්‍රහාණය නොකොට, ප්‍රමාදය ප්‍රහාණය නොකොට ය. මහණෙනි, මේ ධර්මයන් තුන ප්‍රහාණය නොකොට අගෞරවය ප්‍රහාණය කිරීමට, අකීකරු බව ප්‍රහාණය කිරීමට, පවිටු මිතුරන් ඇසුර ප්‍රහාණය කිරීමට නොහැක්කේ ම ය.

10. මහණෙනි, මේ පවට ලැජ්ජා නැති, පවට භය නැති තැනැත්තා ප්‍රමාද වූයේ වෙයි. ඔහු ප්‍රමාද වූයේ ම අගෞරවය ප්‍රහාණය කිරීමට, අකීකරුකම ප්‍රහාණය කිරීමට, පවිටු මිතුරන් ඇසුර ප්‍රහාණය කිරීමට නොහැක්කේ වෙයි. ඔහු පවිටු මිතුරන් ඇසුර ඇත්තේ ම ශ්‍රද්ධාව නැති බව ප්‍රහාණය කිරීමට, පවසන කරුණෙහි අරුත් නොදන්නා බව ප්‍රහාණය කිරීමට, කුසීත බව ප්‍රහාණය කිරීමට නොහැක්කේ වෙයි. ඔහු කුසීත වූයේ ම සිතෙහි විසිරුණු බව ප්‍රහාණය කිරීමට, අසංවරය ප්‍රහාණය කිරීමට, දුසිල් බව ප්‍රහාණය කිරීමට නොහැක්කේ වෙයි. ඔහු දුස්සීල වූයේ ම ආර්යයන් දැක්මට අකමැති බව ප්‍රහාණය කිරීමට, ආර්යයන්ගේ ධර්මය අසනු අකමැති බව ප්‍රහාණය කිරීමට, ගැටී දොස් කියන සිත් ඇති බව ප්‍රහාණය කිරීමට නොහැකි වූයේ වෙයි. ඔහු ගැටී දොස් කියන සිතින් යුක්ත වූයේ ම සිහි මුලා බව ප්‍රහාණය කිරීමට, නුවණ නැති බව ප්‍රහාණය කිරීමට, සිතෙහි කලබලය ප්‍රහාණය කිරීමට නොහැකි වූයේ වෙයි. ඔහු කලබල වූ සිත් ඇත්තේ ම නුවණින් තොරව මෙනෙහි කිරීම ප්‍රහාණය කිරීමට, නොමග සේවනය කිරීම ප්‍රහාණය කිරීමට, සිතෙහි හැකිළුණු බව ප්‍රහාණය කිරීමට නොහැකි වූයේ වෙයි. ඔහු හැකිළුණු සිතින් යුතු වූයේ ම සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමට, විචිකිච්ඡාව ප්‍රහාණය කිරීමට, සීලබ්බත පරාමාසය ප්‍රහාණය කිරීමට නොහැකි වූයේ වෙයි. ඔහු විචිකිච්ඡාවෙන් යුතු වූයේ ම රාගය ප්‍රහාණය කිරීමට, ද්වේෂය ප්‍රහාණය කිරීමට, මෝහය ප්‍රහාණය කිරීමට නොහැකි වූයේ වෙයි. ඔහු රාගය ප්‍රහාණය නොකොට, ද්වේෂය ප්‍රහාණය නොකොට, මෝහය ප්‍රහාණය නොකොට ඉපදීම ප්‍රහාණය කිරීමට, ජරාව ප්‍රහාණය කිරීමට, මරණය ප්‍රහාණය කිරීමට නොහැකි වූයේ වෙයි.

1. මහණෙනි, මේ ධර්මයන් තුනක් ප්‍රහාණය කොට ඉපදීම ප්‍රහාණය කිරීමට, ජරාව ප්‍රහාණය කිරීමට, මරණය ප්‍රහාණය කිරීමට හැක්කේ ම ය. ඒ කවර ධර්මයන් තුනක් ද යත්; රාගය ප්‍රහාණය කොට, ද්වේෂය ප්‍රහාණය කොට, මෝහය ප්‍රහාණය කොට ය. මහණෙනි, මේ ධර්මයන් තුන ප්‍රහාණය කොට ඉපදීම ප්‍රහාණය කිරීමට, ජරාව ප්‍රහාණය කිරීමට, මරණය ප්‍රහාණය කිරීමට හැක්කේ ම ය.

2. මහණෙනි, මේ ධර්මයන් තුනක් ප්‍රහාණය කොට රාගය ප්‍රහාණය කිරීමට, ද්වේෂය ප්‍රහාණය කිරීමට, මෝහය ප්‍රහාණය කිරීමට හැක්කේ ම ය. ඒ කවර ධර්මයන් තුනක් ද යත්; සක්කාය දිට්ඨිය ප්‍රහාණය කොට, විචිකිච්ඡාව ප්‍රහාණය කොට, සීලබ්බත පරාමාසය ප්‍රහාණය කොට ය. මහණෙනි, මේ ධර්මයන් තුන ප්‍රහාණය කොට රාගය ප්‍රහාණය කිරීමට, ද්වේෂය ප්‍රහාණය කිරීමට, මෝහය ප්‍රහාණය කිරීමට හැක්කේ ම ය.

3. මහණෙනි, මේ ධර්මයන් තුනක් ප්‍රහාණය කොට සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමට, විචිකිච්ඡාව ප්‍රහාණය කිරීමට, සීලබ්බත පරාමාසය ප්‍රහාණය කිරීමට හැක්කේ ම ය. ඒ කවර ධර්මයන් තුනක් ද යත්; නුවණින් තොර ව මෙනෙහි කිරීම ප්‍රහාණය කොට, නොමග සේවනය කිරීම ප්‍රහාණය කොට, සිතෙහි හැකිළුණු බව ප්‍රහාණය කොට ය. මහණෙනි, මේ ධර්මයන් තුන ප්‍රහාණය කොට සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමට, විචිකිච්ඡාව ප්‍රහාණය කිරීමට, සීලබ්බත පරාමාසය ප්‍රහාණය කිරීමට හැක්කේ ම ය.

4. මහණෙනි, මේ ධර්මයන් තුනක් ප්‍රහාණය කොට නුවණින් තොර ව මෙනෙහි කිරීම ප්‍රහාණය කිරීමට, නොමග සේවනය කිරීම ප්‍රහාණය කිරීමට, සිතෙහි හැකිළුණු බව ප්‍රහාණය කිරීමට හැක්කේ ම ය. ඒ කවර ධර්මයන් තුනක් ද යත්; සිහි මුළා වීම ප්‍රහාණය කොට, නුවණ නැතිකම ප්‍රහාණය කොට, සිතෙහි කලබලය ප්‍රහාණය කොට ය. මහණෙනි, මේ ධර්මයන් තුන ප්‍රහාණය කොට නුවණින් තොර ව මෙනෙහි කිරීම ප්‍රහාණය කිරීමට, නොමග සේවනය කිරීම ප්‍රහාණය කිරීමට, සිතෙහි හැකිළුණු බව ප්‍රහාණය කිරීමට හැක්කේ ම ය.

5. මහණෙනි, මේ ධර්මයන් තුනක් ප්‍රහාණය කොට සිහි මුළා වීම ප්‍රහාණය කිරීමට, නුවණ නැතිකම ප්‍රහාණය කිරීමට, සිතෙහි කලබලය ප්‍රහාණය කිරීමට හැක්කේ ම ය. ඒ කවර ධර්මයන් තුනක් ද යත්; ආර්යයන් දැක්මට අකමැති බව ප්‍රහාණය කොට, ආර්යයන්ගේ ධර්මය අසනු අකමැති බව ප්‍රහාණය කොට, ගැටී දොස් කියන සිත් ඇති බව ප්‍රහාණය කොට ය. මහණෙනි, මේ ධර්මයන් තුන ප්‍රහාණය කොට සිහි මුළා වීම ප්‍රහාණය කිරීමට, නුවණ නැතිකම ප්‍රහාණය කිරීමට, සිතෙහි කලබලය ප්‍රහාණය කිරීමට හැක්කේ ම ය.

6. මහණෙනි, මේ ධර්මයන් තුනක් ප්‍රහාණය කොට ආර්යයන් දැක්මට අකමැති බව ප්‍රහාණය කිරීමට, ආර්යයන්ගේ ධර්මය අසනු අකමැති බව ප්‍රහාණය කිරීමට, ගැටී දොස් කියන සිත් ඇති බව ප්‍රහාණය කිරීමට හැක්කේ ම ය. ඒ කවර ධර්මයන් තුනක් ද යත්; සිතෙහි විසිරුණු බව ප්‍රහාණය කොට, අසංවර බව ප්‍රහාණය කොට, දුස්සීල බව ප්‍රහාණය කොට ය. මහණෙනි, මේ ධර්මයන් තුන ප්‍රහාණය කොට ආර්යයන් දැක්මට අකමැති බව ප්‍රහාණය කිරීමට, ආර්යයන්ගේ ධර්මය අසනු අකමැති බව ප්‍රහාණය කිරීමට, ගැටී දොස් කියන සිත් ඇති බව ප්‍රහාණය කිරීමට හැක්කේ ම ය.

7. මහණෙනි, මේ ධර්මයන් තුනක් ප්‍රහාණය කොට සිතෙහි විසිරුණු බව ප්‍රහාණය කිරීමට, අසංවර බව ප්‍රහාණය කිරීමට, දුස්සීල බව ප්‍රහාණය කිරීමට හැක්කේ ම ය. ඒ කවර ධර්මයන් තුනක් ද යත්; ශ්‍රද්ධාව නැතිබව ප්‍රහාණය කොට, පවසන කරුණෙහි අරුත් නොදන්නා බව ප්‍රහාණය කොට, කුසීත බව ප්‍රහාණය කොට ය. මහණෙනි, මේ ධර්මයන් තුන ප්‍රහාණය කොට සිතෙහි විසිරුණු බව ප්‍රහාණය කිරීමට, අසංවර බව ප්‍රහාණය කිරීමට, දුස්සීල බව ප්‍රහාණය කිරීමට හැක්කේ ම ය.

8. මහණෙනි, මේ ධර්මයන් තුනක් ප්‍රහාණය කොට අශ්‍රද්ධාව ප්‍රහාණය කිරීමට, පවසන කරුණෙහි අරුත් නොදන්නා බව ප්‍රහාණය කිරීමට, කුසීත බව ප්‍රහාණය කිරීමට හැක්කේ ම ය. ඒ කවර ධර්මයන් තුනක් ද යත්; අගෞරවය ප්‍රහාණය කොට, අකීකරු බව ප්‍රහාණය කොට, පවිටු මිතුරන් ඇසුර ප්‍රහාණය කොට ය. මහණෙනි, මේ ධර්මයන් තුන ප්‍රහාණය කොට අශ්‍රද්ධාව ප්‍රහාණය කිරීමට, පවසන කරුණෙහි අරුත් නොදන්නා බව ප්‍රහාණය කිරීමට, කුසීත බව ප්‍රහාණය කිරීමට හැක්කේ ම ය.

9. මහණෙනි, මේ ධර්මයන් තුනක් ප්‍රහාණය කොට අගෞරවය ප්‍රහාණය කිරීමට, අකීකරු බව ප්‍රහාණය කිරීමට, පවිටු මිතුරන් ඇසුර ප්‍රහාණය කිරීමට හැක්කේ ම ය. ඒ කවර ධර්මයන් තුනක් ද යත්; පවට ලැජ්ජා නැති බව ප්‍රහාණය කොට, පවට භය නැති බව ප්‍රහාණය කොට, ප්‍රමාදය ප්‍රහාණය කොට ය. මහණෙනි, මේ ධර්මයන් තුන ප්‍රහාණය කොට අගෞරවය ප්‍රහාණය කිරීමට, අකීකරු බව ප්‍රහාණය කිරීමට, පවිටු මිතුරන් ඇසුර ප්‍රහාණය කිරීමට හැක්කේ ම ය.

10. මහණෙනි, මේ පවට ලැජ්ජා ඇති, පවට භය ඇති තැනැත්තා අප්‍රමාදී වූයේ වෙයි. ඔහු අප්‍රමාදී වූයේ ම අගෞරවය ප්‍රහාණය කිරීමට, අකීකරුකම ප්‍රහාණය කිරීමට, පවිටු මිතුරන් ඇසුර ප්‍රහාණය කිරීමට හැක්කේ වෙයි. ඔහු කළණ මිතුරු ඇසුර ඇත්තේ ම ශ්‍රද්ධාව නැති බව ප්‍රහාණය කිරීමට, පවසන කරුණෙහි අරුත් නොදන්නා බව ප්‍රහාණය කිරීමට, කුසීත බව ප්‍රහාණය කිරීමට හැක්කේ වෙයි. ඔහු අරඹන ලද වීරිය ඇති වූයේ ම සිතෙහි විසිරුණු බව ප්‍රහාණය කිරීමට, අසංවරය ප්‍රහාණය කිරීමට, දුසිල් බව ප්‍රහාණය කිරීමට හැක්කේ වෙයි. ඔහු සිල්වත් වූයේ ම ආර්යයන් දැක්මට අකමැති බව ප්‍රහාණය කිරීමට, ආර්යයන්ගේ ධර්මය අසනු අකමැති බව ප්‍රහාණය කිරීමට, ගැටී දොස් කියන සිත් ඇති බව ප්‍රහාණය කිරීමට හැකි වූයේ වෙයි. ඔහු ගැටී දොස් කියන සිතින් තොර වූයේ ම සිහි මුලා බව ප්‍රහාණය කිරීමට, නුවණ නැති බව ප්‍රහාණය කිරීමට, සිතෙහි කලබලය ප්‍රහාණය කිරීමට හැකි වූයේ වෙයි. ඔහු කලබල නොවූ සිත් ඇත්තේ ම නුවණින් තොර ව මෙනෙහි කිරීම ප්‍රහාණය කිරීමට, නොමග සේවනය කිරීම ප්‍රහාණය කිරීමට, සිතෙහි හැකිළුණු බව ප්‍රහාණය කිරීමට හැකි වූයේ වෙයි. ඔහු නොහැකිළුණු සිතින් යුතු වූයේ ම සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමට, විචිකිච්ඡාව ප්‍රහාණය කිරීමට, සීලබ්බත පරාමාසය ප්‍රහාණය කිරීමට හැකි වූයේ වෙයි. ඔහු විචිකිච්ඡාවෙන් තොර වූයේ ම රාගය ප්‍රහාණය කිරීමට, ද්වේෂය ප්‍රහාණය කිරීමට, මෝහය ප්‍රහාණය කිරීමට හැකි වූයේ වෙයි. ඔහු රාගය ප්‍රහාණය කොට, ද්වේෂය ප්‍රහාණය කොට, මෝහය ප්‍රහාණය කොට ඉපදීම ප්‍රහාණය කිරීමට, ජරාව ප්‍රහාණය කිරීමට, මරණය ප්‍රහාණය කිරීමට හැකි වූයේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

තයෝධම්ම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M