අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.2.3.5. මිගසාලා සුත්තං

10.2.3.5. මිගසාලා උපාසිකාව මුල්කොට වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහු ගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවාගෙන පාත්‍රය හා සිවුර ගෙන මිගසාලා උපාසිකාවගේ නිවස යම් තැනක ඇද්ද, එතැනට වැඩියහ. වැඩමකොට පණවන ලද අසුනෙහි හිඳගත්හ. එකල්හී මිගසාලා උපාසිකාව ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වෙත පැමිණියා ය. පැමිණ ආයුෂ්මත් ආනන්දයන් හට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තා ය. එකත්පස් ව හුන් මිගසාලා උපාසිකාව ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙකරුණ සැළකළා ය.

“ස්වාමීනී, ආනන්දයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද මේ ධර්මය කෙසේ කෙසේ නම් තේරුම් ගන්නේ ද? එනම්, බ්‍රහ්මචාරී කෙනා ත් අබ්‍රහ්මචාරී කෙනා ත් දෙදෙනා ම මරණින් මතු සම සම අයුරින් උපදිත් නම් ඒ කෙසේ ද?

ස්වාමීනී, පුරාණ නම් මපියාණෝ ලාමක දෙයක් වූ මෛථූන සේවනයෙන් වැළකී බ්‍රහ්මචාරී ව වාසය කළෝ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ හේ සකදාගාමී ව සිටියේ කළුරිය කළේ තුසිත දෙව් නිකායෙහි උපන් බව යි. ස්වාමීනී, මාගේ සුළු පියාණන් වන ඉසිදත්ත තෙමේ සිය බිරිඳ සමඟ සතුටු වෙමින් අබ්‍රහ්මචාරී ව වාසය කළේ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ හේ ද සකදාගාමී ව සිටියේ කළුරිය කළේ තුසිත දෙව් නිකායෙහි උපන් බව යි. ස්වාමීනී, ආනන්දයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද මේ ධර්මය කෙසේ කෙසේ නම් තේරුම් ගන්නේ ද? එනම්, බ්‍රහ්මචාරී කෙනා ත් අබ්‍රහ්මචාරී කෙනා ත් දෙදෙනා ම මරණින් මතු සම සම අයුරින් උපදිත් නම් ඒ කෙසේ ද?”

“සොයුරිය, භාග්‍යවතුන් වහන්සේ ඔය කරුණ වදාරණ ලද්දේ ද, එය එපරිදි ම වෙයි.”

ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ මිගසාලා උපාසිකාවගේ නිවසින් පිණ්ඩපාතය ගෙන අසුනෙන් නැගී පිටත් ව ගියහ. එවිට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකී භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළහ.

“ස්වාමීනී, මෙහි මම් පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවාගෙන පාත්‍රය හා සිවුර ගෙන මිගසාලා උපාසිකාවගේ නිවස යම් තැනක ඇද්ද, එතැනට ගියෙමි. ගොස් පණවන ලද අසුනෙහි හිඳගතිමි. ස්වාමීනී, එකල්හී මිගසාලා උපාසිකාව මා වෙත පැමිණියා ය. පැමිණ මා හට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තා ය. එකත්පස් ව හුන් මිගසාලා උපාසිකාව මට මෙකරුණ සැළකළා ය.

‘ස්වාමීනී, ආනන්දයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද මේ ධර්මය කෙසේ කෙසේ නම් තේරුම් ගන්නේ ද? එනම්, බ්‍රහ්මචාරී කෙනා ත් අබ්‍රහ්මචාරී කෙනා ත් දෙදෙනා ම මරණින් මතු සම සම අයුරින් උපදිත් නම් ඒ කෙසේ ද?

ස්වාමීනී, පුරාණ නම් මපියාණෝ ලාමක දෙයක් වූ මෛථූන සේවනයෙන් වැළකී බ්‍රහ්මචාරී ව වාසය කළෝ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ හේ සකදාගාමී ව සිටියේ කළුරිය කළේ තුසිත දෙව් නිකායෙහි උපන් බව යි. ස්වාමීනී, මාගේ සුළු පියාණන් වන ඉසිදත්ත තෙමේ තම බිරිඳ සමඟ සතුටු වෙමින් අබ්‍රහ්මචාරී ව වාසය කළේ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ හේ ද සකදාගාමී ව සිටියේ කළුරිය කළේ තුසිත දෙව් නිකායෙහි උපන් බව යි. ස්වාමීනී, ආනන්දයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද මේ ධර්මය කෙසේ කෙසේ නම් තේරුම් ගන්නේ ද? එනම්, බ්‍රහ්මචාරී කෙනා ත් අබ්‍රහ්මචාරී කෙනා ත් දෙදෙනා ම මරණින් මතු සම සම අයුරින් උපදිත් නම් ඒ කෙසේ ද?’ යි.

ස්වාමීනි, එසේ කී කල්හී මම මිගසාලා උපාසිකාවට මෙසේ පැවසුවෙමි. ‘සොයුරිය, භාග්‍යවතුන් වහන්සේ ඔය කරුණ වදාරණ ලද්දේ ද, එය එපරිදි ම වෙයි.”

“ආනන්දය, බාල වූ, අව්‍යක්ත වූ, බොළඳ වූ, බොළඳ ප්‍රඥා ඇති මිගසාලා උපාසිකාව කවුද? පුරුෂ පුද්ගලයන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රියාත්මක වන අයුරු දකිනා ඥානයෙන් යුතු තැනැත්තා කවරහුද?

ආනන්දයෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ දස දෙනා විද්‍යමාන ව සිටිති. ඒ කවර දස දෙනෙක් ද යත්;

1. ආනන්දයෙනි, මෙහිලා එක්තරා පුද්ගලයෙක් දුසිල් වෙයි. ඒ චිත්ත විමුක්තිය ද, ප්‍රඥා විමුක්තිය ද ඒ වූ සැටියෙන් ම නොදනී. යම් ධර්මයකින් ඔහුගේ ඒ දුසිල් බව ඉතුරු නැති ව නිරුද්ධ වෙයි ද, ඔහු විසින් එය ශ්‍රවණයෙන් නොඅසන ලද්දේ ද වෙයි. බහුශ්‍රැතභාවයකිනුත් නොලැබුවේ වෙයි. දෘෂ්ටියකිනුත් වටහා නොගන්නා ලද්දේ වෙයි. ධර්මය තුළින් ලැබෙන විමුක්තියක් ද නොලබයි. හේ කය බිඳී මරණින් මතු පිරිහීම කරා යයි. විශේෂත්වයක් කරා නොයයි. පිරිහී යන්නෙක් ම වෙයි. විශේෂයක් කරා නොයන්නෙක් වෙයි.

2. ආනන්දයෙනි, මෙහිලා එක්තරා පුද්ගලයෙක් දුසිල් වෙයි. ඒ චිත්ත විමුක්තිය ද, ප්‍රඥා විමුක්තිය ද ඒ වූ සැටියෙන් ම දනියි. යම් ධර්මයකින් ඔහුගේ ඒ දුසිල් බව ඉතුරු නැති ව නිරුද්ධ වෙයි ද, ඔහු විසින් එය ශ්‍රවණයෙන් අසන ලද්දේ ද වෙයි. බහුශ්‍රැතභාවයකිනුත් ලැබුවේ වෙයි. දෘෂ්ටියකිනුත් වටහා ගන්නා ලද්දේ වෙයි. ධර්මය තුළින් ලැබෙන විමුක්තියක් ද ලබයි. හේ කය බිඳී මරණින් මතු විශේෂත්වයක් කරා යයි. පිරිහීමක් කරා නොයයි. විශේෂයක් කරා යන්නෙක් ම වෙයි. පිරිහීමක් කරා නොයන්නෙක් වෙයි.

ආනන්දයෙනි, එහිලා නොයෙක් මිමි වලින් මනින්නෝ මැන බලති. එනම් ‘මොහු තුළ ත් ඒ ධර්මයෝ ම තිබෙත්. අනෙකා තුළ ත් එම ධර්මයෝ ම තිබෙත්. කවර කරුණක් නිසා ද ඔවුන් අතුරෙන් කෙනෙක් පහත් වන්නේ? තව කෙනෙක් උසස් වන්නේ?’ යි. ආනන්දයෙනි, මේ අයුරින් මනින්නට යෑමෙන් ඔවුන්ට එය බොහෝ කල් අහිත පිණිස ත්, දුක් පිණිස ත් පවතියි.

ආනන්දයෙනි, කලින් පැවසූ දෙදෙනාගෙන් යම් මේ පුද්ගලයෙක් දුසිල් වූයේ ද, ඒ චිත්ත විමුක්තිය ද, ප්‍රඥා විමුක්තිය ද ඒ වූ සැටියෙන් ම දනියි ද, යම් ධර්මයකින් ඔහුගේ ඒ දුසිල් බව ඉතුරු නැති ව නිරුද්ධ වෙයි ද, ඔහු විසින් එය ශ්‍රවණයෙන් ද අසන ලද්දේ, බහුශ්‍රැතභාවයකිනුත් ලැබුවේ ද, දෘෂ්ටියකිනුත් වටහා ගන්නා ලද්දේ ද, ධර්මය තුළින් ලැබෙන විමුක්තියක් ලබයි ද, ආනන්දයෙනි, මේ පුද්ගලයා මුලින් ම පැවසූ පුද්ගලයාට වඩා යහපත් වෙයි. උසස් ද වෙයි. එයට හේතුව කුමක් ද? ආනන්දයෙනි, ධර්ම මාර්ගය විසින් ඒ පුද්ගලයා ව යහපතට පමුණුවන ලද්දේ ය. මොවුන්ගේ වෙනස තථාගතයන් හැර වෙන කවුරු නම් දනිත් ද?

එහෙයින් ආනන්දයෙනි, පුද්ගලයන් පිළිබඳ ව මනින්නට යාමෙන් වළකිව්. පුද්ගලයන් පිළිබඳ ව මැනීමක් ගන්නට එපා. ආනන්දයෙනි, පුද්ගලයෙක් අන්‍ය පුද්ගලයන් පිළිබඳ ව මැනීමකින් ගන්නට යන විට ඒ පුද්ගලයන්ගේ ගුණ සාරා දමන්නේ ය. ආනන්දයෙනි, මම හෝ පුද්ගලයන් පිළිබඳ ව මිම්මක් ගන්නෙමි. එසේ නැතිනම් මා වැනි වෙනත් කෙනෙකු හෝ කළ යුත්තේ ය.

3. ආනන්දයෙනි, මෙහිලා එක්තරා පුද්ගලයෙක් සිල්වත් වෙයි. ඒ චිත්ත විමුක්තිය ද, ප්‍රඥා විමුක්තිය ද ඒ වූ සැටියෙන් ම නොදනියි. යම් ධර්මයකින් ඒ සිල්වත් බව ඉතුරු නැති ව නිරුද්ධ වෙයි ද, ඔහු විසින් එය ශ්‍රවණයෙන් නොඅසන ලද්දේ වෙයි. බහුශ්‍රැතභාවයකිනුත් නොලැබුවේ වෙයි. දෘෂ්ටියකිනුත් වටහා නොගන්නා ලද්දේ වෙයි. ධර්මය තුළින් ලැබෙන විමුක්තියක් ද නොලබයි. හේ කය බිඳී මරණින් මතු පිරිහීම කරා යයි. විශේෂත්වයක් කරා නොයයි. පිරිහී යන්නෙක් ම වෙයි. විශේෂයක් කරා නොයන්නෙක් වෙයි.

4. ආනන්දයෙනි, මෙහිලා එක්තරා පුද්ගලයෙක් සිල්වත් වෙයි. ඒ චිත්ත විමුක්තිය ද, ප්‍රඥා විමුක්තිය ද ඒ වූ සැටියෙන් ම දනියි. යම් ධර්මයකින් ඔහුගේ ඒ සිල්වත් බව ඉතුරු නැති ව නිරුද්ධ වෙයි ද, ඔහු විසින් එය ශ්‍රවණයෙන් අසන ලද්දේ ද වෙයි. බහුශ්‍රැතභාවයකිනුත් ලැබුවේ වෙයි. දෘෂ්ටියකිනුත් වටහා ගන්නා ලද්දේ වෙයි. ධර්මය තුළින් ලැබෙන විමුක්තියක් ද ලබයි. හේ කය බිඳී මරණින් මතු විශේෂත්වයක් කරා යයි. පිරිහීමක් කරා නොයයි. විශේෂයක් කරා යන්නෙක් ම වෙයි. පිරිහීමක් කරා නොයන්නෙක් වෙයි.

ආනන්දයෙනි, එහිලා නොයෙක් මිමි වලින් මනින්නෝ මැන බලති. ….(පෙ)…. ආනන්දයෙනි, මම හෝ පුද්ගලයන් පිළිබඳ ව මිම්මක් ගන්නෙමි. එසේ නැතිනම් මා වැනි වෙනත් කෙනෙකු හෝ කළ යුත්තේ ය.

5. ආනන්දයෙනි, මෙහිලා එක්තරා පුද්ගලයෙක් තියුණු රාග ඇත්තේ වෙයි. ඒ චිත්ත විමුක්තිය ද, ප්‍රඥා විමුක්තිය ද ඒ වූ සැටියෙන් ම නොදනියි. යම් ධර්මයකින් ඔහුගේ ඒ රාගය ඉතුරු නැති ව නිරුද්ධ වෙයි ද, ඔහු විසින් එය ශ්‍රවණයෙන් නොඅසන ලද්දේ ද වෙයි. බහුශ්‍රැතභාවයකිනුත් නොලැබුවේ වෙයි. දෘෂ්ටියකිනුත් වටහා නොගන්නා ලද්දේ වෙයි. ධර්මය තුළින් ලැබෙන විමුක්තියක් ද නොලබයි. හේ කය බිඳී මරණින් මතු පිරිහීම කරා යයි. විශේෂත්වයක් කරා නොයයි. පිරිහී යන්නෙක් ම වෙයි. විශේෂයක් කරා නොයන්නෙක් වෙයි.

6. ආනන්දයෙනි, මෙහිලා එක්තරා පුද්ගලයෙක් තියුණු රාග ඇත්තේ වෙයි. ඒ චිත්ත විමුක්තිය ද, ප්‍රඥා විමුක්තිය ද ඒ වූ සැටියෙන් ම දනියි. යම් ධර්මයකින් ඔහුගේ ඒ රාගය ඉතුරු නැති ව නිරුද්ධ වෙයි ද, ඔහු විසින් එය ශ්‍රවණයෙන් අසන ලද්දේ ද වෙයි. බහුශ්‍රැතභාවයකිනුත් ලැබුවේ වෙයි. දෘෂ්ටියකිනුත් වටහා ගන්නා ලද්දේ වෙයි. ධර්මය තුළින් ලැබෙන විමුක්තියක් ද ලබයි. හේ කය බිඳී මරණින් මතු විශේෂත්වයක් කරා යයි. පිරිහීමක් කරා නොයයි. විශේෂයක් කරා යන්නෙක් ම වෙයි. පිරිහීමක් කරා නොයන්නෙක් වෙයි.

ආනන්දයෙනි, එහිලා නොයෙක් මිමි වලින් මනින්නෝ මැන බලති. ….(පෙ)…. ආනන්දයෙනි, මම හෝ පුද්ගලයන් පිළිබඳ ව මිම්මක් ගන්නෙමි. එසේ නැතිනම් මා වැනි වෙනත් කෙනෙකු හෝ කළ යුත්තේ ය.

7. ආනන්දයෙනි, මෙහිලා එක්තරා පුද්ගලයෙක් ක්‍රෝධ සිත් ඇත්තේ වෙයි. ඒ චිත්ත විමුක්තිය ද, ප්‍රඥා විමුක්තිය ද ඒ වූ සැටියෙන් ම නොදනියි. යම් ධර්මයකින් ඔහුගේ ඒ ක්‍රෝධය ඉතුරු නැති ව නිරුද්ධ වෙයි ද, ඔහු විසින් එය ශ්‍රවණයෙන් නොඅසන ලද්දේ ද වෙයි. බහුශ්‍රැතභාවයකිනුත් නොලැබුවේ වෙයි. දෘෂ්ටියකිනුත් වටහා නොගන්නා ලද්දේ වෙයි. ධර්මය තුළින් ලැබෙන විමුක්තියක් ද නොලබයි. හේ කය බිඳී මරණින් මතු පිරිහීම කරා යයි. විශේෂත්වයක් කරා නොයයි. පිරිහී යන්නෙක් ම වෙයි. විශේෂයක් කරා නොයන්නෙක් වෙයි.

8. ආනන්දයෙනි, මෙහිලා එක්තරා පුද්ගලයෙක් ක්‍රෝධ සිත් ඇත්තේ වෙයි. ඒ චිත්ත විමුක්තිය ද, ප්‍රඥා විමුක්තිය ද ඒ වූ සැටියෙන් ම දනියි. යම් ධර්මයකින් ඔහුගේ ඒ ක්‍රෝධය ඉතුරු නැති ව නිරුද්ධ වෙයි ද, ඔහු විසින් එය ශ්‍රවණයෙන් අසන ලද්දේ ද වෙයි. බහුශ්‍රැතභාවයකිනුත් ලැබුවේ වෙයි. දෘෂ්ටියකිනුත් වටහා ගන්නා ලද්දේ වෙයි. ධර්මය තුළින් ලැබෙන විමුක්තියක් ද ලබයි. හේ කය බිඳී මරණින් මතු විශේෂත්වයක් කරා යයි. පිරිහීමක් කරා නොයයි. විශේෂයක් කරා යන්නෙක් ම වෙයි. පිරිහීමක් කරා නොයන්නෙක් වෙයි.

ආනන්දයෙනි, එහිලා නොයෙක් මිමි වලින් මනින්නෝ මැන බලති. ….(පෙ)…. ආනන්දයෙනි, මම හෝ පුද්ගලයන් පිළිබඳ ව මිම්මක් ගන්නෙමි. එසේ නැතිනම් මා වැනි වෙනත් කෙනෙකු හෝ කළ යුත්තේ ය.

9. ආනන්දයෙනි, මෙහිලා එක්තරා පුද්ගලයෙක් නොසංසුන් සිත් ඇත්තේ වෙයි. ඒ චිත්ත විමුක්තිය ද, ප්‍රඥා විමුක්තිය ද ඒ වූ සැටියෙන් ම නොදනියි. යම් ධර්මයකින් ඔහුගේ ඒ නොසංසුන් බව ඉතුරු නැති ව නිරුද්ධ වෙයි ද, ඔහු විසින් එය ශ්‍රවණයෙන් නොඅසන ලද්දේ ද වෙයි. බහුශ්‍රැතභාවයකිනුත් නොලැබුවේ වෙයි. දෘෂ්ටියකිනුත් වටහා නොගන්නා ලද්දේ වෙයි. ධර්මය තුළින් ලැබෙන විමුක්තියක් ද නොලබයි. හේ කය බිඳී මරණින් මතු පිරිහීම කරා යයි. විශේෂත්වයක් කරා නොයයි. පිරිහී යන්නෙක් ම වෙයි. විශේෂයක් කරා නොයන්නෙක් වෙයි.

10. ආනන්දයෙනි, මෙහිලා එක්තරා පුද්ගලයෙක් නොසංසුන් සිත් ඇත්තේ වෙයි. ඒ චිත්ත විමුක්තිය ද, ප්‍රඥා විමුක්තිය ද ඒ වූ සැටියෙන් ම දනියි. යම් ධර්මයකින් ඔහුගේ ඒ නොසංසුන් බව ඉතුරු නැති ව නිරුද්ධ වෙයි ද, ඔහු විසින් එය ශ්‍රවණයෙන් අසන ලද්දේ ද වෙයි. බහුශ්‍රැතභාවයකිනුත් ලැබුවේ වෙයි. දෘෂ්ටියකිනුත් වටහා ගන්නා ලද්දේ වෙයි. ධර්මය තුළින් ලැබෙන විමුක්තියක් ද ලබයි. හේ කය බිඳී මරණින් මතු විශේෂත්වයක් කරා යයි. පිරිහීමක් කරා නොයයි. විශේෂයක් කරා යන්නෙක් ම වෙයි. පිරිහීමක් කරා නොයන්නෙක් වෙයි.

ආනන්දයෙනි, එහිලා නොයෙක් මිමි වලින් මනින්නෝ මැන බලති. එනම් ‘මොහු තුළ ත් ඒ ධර්මයෝ ම තිබෙත්. අනෙකා තුළ ත් එම ධර්මයෝ ම තිබෙත්. කවර කරුණක් නිසා ද ඔවුන් අතුරෙන් කෙනෙක් පහත් වන්නේ? තව කෙනෙක් උසස් වන්නේ?’ යි. ආනන්දයෙනි, මේ අයුරින් මනින්නට යෑමෙන් ඔවුන්ට එය බොහෝ කල් අහිත පිණිස ත්, දුක් පිණිස ත් පවතියි.

ආනන්දයෙනි, කලින් පැවසූ දෙදෙනාගෙන් යම් මේ පුද්ගලයෙක් නොසංසුන් සිත් ඇත්තේ වෙයි ද, ඒ චිත්ත විමුක්තිය ද, ප්‍රඥා විමුක්තිය ද ඒ වූ සැටියෙන් ම දනියි ද, යම් ධර්මයකින් ඔහුගේ ඒ නොසංසුන් බව ඉතුරු නැති ව නිරුද්ධ වෙයි ද, ඔහු විසින් එය ශ්‍රවණයෙන් ද අසන ලද්දේ, බහුශ්‍රැතභාවයකිනුත් ලැබුවේ ද, දෘෂ්ටියකිනුත් වටහා ගන්නා ලද්දේ ද, ධර්මය තුළින් ලැබෙන විමුක්තියක් ලබයි ද, ආනන්දයෙනි, මේ පුද්ගලයා මුලින් ම පැවසූ පුද්ගලයාට වඩා යහපත් වෙයි. උසස් ද වෙයි. එයට හේතුව කුමක් ද? ආනන්දයෙනි, ධර්ම මාර්ගය විසින් ඒ පුද්ගලයා ව යහපතට පමුණුවන ලද්දේ ය. මොවුන්ගේ වෙනස තථාගතයන් හැර වෙන කවුරු නම් දනිත් ද?

එහෙයින් ආනන්දයෙනි, පුද්ගලයන් පිළිබඳ ව මනින්නට යාමෙන් වළකිව්. පුද්ගලයන් පිළිබඳ ව මැනීමක් ගන්නට එපා. ආනන්දයෙනි, පුද්ගලයෙක් අන්‍ය පුද්ගලයන් පිළිබඳ ව මැනීමකින් ගන්නට යන විට ඒ පුද්ගලයන්ගේ ගුණ සාරා දමන්නේ ය. ආනන්දයෙනි, මම හෝ පුද්ගලයන් පිළිබඳ ව මිම්මක් ගන්නෙමි. එසේ නැතිනම් මා වැනි වෙනත් කෙනෙකු හෝ කළ යුත්තේ ය.

ආනන්දයෙනි, බාල වූ, අව්‍යක්ත වූ, බොළඳ වූ, බොළඳ ප්‍රඥා ඇති මිගසාලා උපාසිකාව කවුද? පුරුෂ පුද්ගලයන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රියාත්මක වන අයුරු දකිනා ඥානයෙන් යුතු තැනැත්තා කවරහුද?

ආනන්දයෙනි, ලෝකයේ විද්‍යමාන වූ දස පුද්ගලයෝ මොවුහු ය. ආනන්දයෙනි, යම්බඳු වූ සීලයකින් පුරාණ තෙමේ සමන්විත වූයේ ද, එබඳු වූ සීලයකින් ඉසිදත්තයන් ද සමන්විත වූයේ නම්, මෙහිලා පුරාණ තෙමේ ඉසිදත්තයන් ගිය මග වත් නොදන්නේ ය. ආනන්දයෙනි, යම්බඳු වූ ප්‍රඥාවකින් ඉසිදත්ත තෙමේ සමන්විත වූයේ ද, එබඳු වූ ප්‍රඥාවකින් පුරාණ ද සමන්විත වූයේ නම්, මෙහිලා ඉසිදත්ත තෙමේ මේ අයුරින් පුරාණයන් ගිය මග වත් නොදන්නේ ය. ආනන්දයෙනි, මේ පුද්ගලයන් දෙදෙනා එක් එක් අංගයකින් දුර්වල ව සිටියහ.”

සාදු! සාදු!! සාදු!!!

මිගසාලා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M