එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හී පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකී උපස්ථාන ශාලාවෙහි බොහෝ භික්ෂූහු රැස් වූවාහු ය. රැස් ව නොයෙක් නොයෙක් තිරශ්චීන කථාවෙන් කල්ගත කරමින් හුන්නාහු වෙති. ඒ කවර කථාවක් ද යත්; රජුන් පිළිබඳ කථා ය, සොරුන් පිළිබඳ කථා ය, මහාමාත්‍ය පිළිබඳ කථා ය, සේනා පිළිබඳ කථා ය, භය පිළිබඳ කථා ය, යුද්ධ පිළිබඳ කථා ය, ආහාර පිළිබඳ කථා ය, පානය කරන දෑ පිළිබඳ කථා ය, වස්ත්‍ර පිළිබඳ කථා ය, නිදන තැන් පිළිබඳ කථා ය, මල් පිළිබඳ කථා ය, සුවඳ වර්ග පිළිබඳ කථා ය, ඥාතීන් පිළිබඳ කථා ය, වාහන පිළිබඳ කථා ය, ගම් පිළිබඳ කථා ය, නියම්ගම් පිළිබඳ කථා ය, නගර පිළිබඳ කථා ය, ජනපද පිළිබඳ කථා ය, ස්ත්‍රීන් පිළිබඳ කථා ය, වීරයන් පිළිබඳ කථා ය, පාර තොටෙහි ඇති දේ පිළිබඳ කථා ය, නාන තොටේ ඇති වූ කථා ය, පූර්ව ප්‍රේතයන් පිළිබඳ කථා ය, නා නා ආත්මයන් පිළිබඳ කථා ය, ලෝකයෙහි අගමුල පිළිබඳ කථා ය, සමුද්‍රයෙහි අගමුල පිළිබඳ කථා ය, මෙසේ මෙසේ යන කරුණු පිළිබඳ කථා ය මේ ආදී වශයෙනි.
එකල්හී භාග්‍යවතුන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට උපස්ථාන ශාලාව යම් තැනක ඇද්ද, එතැනට වැඩි සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.
“මහණෙනි, දැන් ඔබ මෙහි රැස් ව කවර නම් කථාවකින් හුන්නාහු ද? ඔබගේ කවර නම් කථාවක් අඩාල වූයේ ද?”
“ස්වාමීනී, මෙහි අපි පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකී උපස්ථාන ශාලාවෙහි රැස් වී සිටියෙමු. රැස් ව නොයෙක් නොයෙක් තිරශ්චීන කතාවෙන් කල්ගත කරමින් සිටියෙමු. ඒ කවර කථාවක් ද යත්; රජුන් පිළිබඳ කථා ය, ….(පෙ)…. මෙසේ මෙසේ යන කරුණු පිළිබඳ කථා ය මේ ආදී වශයෙනි.”
“මහණෙනි, ගිහි ගෙය අත්හැර අනගාරික වූ සසුනෙහි ශ්‍රද්ධාවෙන් පැවිදි වූ කුලපුත්‍රයන් වන ඔබට මෙය කිසිසේත් සුදුසු නැත. ඔබ යම් අනේක ප්‍රකාර වූ තිරශ්චීන කථාවෙන් යුක්ත ව සිටියාහු ද, එනම්; රජුන් පිළිබඳ කථා ය, සොරුන් පිළිබඳ කථා ය, මහාමාත්‍ය පිළිබඳ කථා ය, සේනා පිළිබඳ කථා ය, භය පිළිබඳ කථා ය, යුද්ධ පිළිබඳ කථා ය, ආහාර පිළිබඳ කථා ය, පානය කරන දෑ පිළිබඳ කථා ය, වස්ත්‍ර පිළිබඳ කථා ය, නිදන තැන් පිළිබඳ කථා ය, මල් පිළිබඳ කථා ය, සුවඳ වර්ග පිළිබඳ කථා ය, ඥාතීන් පිළිබඳ කථා ය, වාහන පිළිබඳ කථා ය, ගම් පිළිබඳ කථා ය, නියම්ගම් පිළිබඳ කථා ය, නගර පිළිබඳ කථා ය, ජනපද පිළිබඳ කථා ය, ස්ත්‍රීන් පිළිබඳ කථා ය, වීරයන් පිළිබඳ කථා ය, පාර තොටෙහි ඇති දේ පිළිබඳ කථා ය, නාන තොටේ ඇති වූ කථා ය, පූර්ව ප්‍රේතයන් පිළිබඳ කථා ය, නා නා ආත්මයන් පිළිබඳ කථා ය, ලෝකයෙහි අගමුල පිළිබඳ කථා ය, සමුද්‍රයෙහි අගමුල පිළිබඳ කථා ය, මෙසේ මෙසේ යන කරුණු පිළිබඳ කථා ය මේ ආදී වශයෙනි.
මහණෙනි, කථාවන්ට මුල්වන මේ කරුණු දසයකි. කවර දසයක් ද යත්; අල්පේච්ඡ බව පිළිබඳ කථාව ය, ලද දෙයින් සතුටු වීම පිළිබඳ කථාව ය, හුදෙකලාවෙහි වාසය පිළිබඳ කථාව ය, පිරිස සමඟ නොඇලී සිටීම පිළිබඳ කථාව ය, පටන් ගත් වීරිය පිළිබඳ කථාව ය, සීලය පිළිබඳ කථාව ය, සමාධිය පිළිබඳ කථාව ය, ප්‍රඥාව පිළිබඳ කථාව ය, විමුක්තිය පිළිබඳ කථාව ය, විමුක්ති ඥාන දර්ශනය පිළිබඳ කථාව ය යන මේවා ය. මහණෙනි, මේ කථාවන්ට මුල් වන කරුණු දසය යි.
ඉදින් මහණෙනි, ඔබ මෙබඳු වූ දස කථාවන් නැවත නැවත කතාබස් කරන්නහු නම් මේ සා මහත් ඉර්ධි ඇති මේ සා මහානුභාව සම්පන්න වූ මේ චන්ද්‍ර සූර්යයාගේ තේජස පවා දහම් තෙදින් යට වී යන්නේ ය. අන්‍ය තීර්ථක වූ පරිබ්‍රාජකයන් ගැන කවර කතා ද?”
සාදු! සාදු!! සාදු!!!
පඨම කථාවත්ථු සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M