අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.2.2.8. දුතිය නලකපාන සුත්තං

10.2.2.8. නලකපාන ගමෙහිදී වදාළ දෙවන දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ නළකපානයෙහි පලාසවනයෙහි වැඩවසන සේක. එසමයෙහි පොහෝ දින ලත් එදින භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරා වැඩසිටි සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝ වේලා ගතවන තෙක් භික්ෂූන් හට දැහැමි කථාවෙන් කරුණු දක්වා, සමාදන් කරවා, උනන්දු කරවා, සතුටු කරවා, නිහඬ නිහඬ ව සිටින භික්ෂු සංඝයා දෙස හාත්පස බලා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ඇමතූ සේක.

“සාරිපුත්තයෙනි, භික්ෂු සංඝයා පහවූ ථීනමිද්ධ ඇත්තේ ය. සාරිපුත්තයෙනි, භික්ෂූන් සඳහා ඔබට ධර්ම කථාව වැටහේවා! මාගේ පිට ස්වල්පයක් ගිලන් ය. මම් එය සංසිඳුවාලන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී”යි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඟල සිවුර සිව්ගුණ කොට නවා දකුණත්පසට හැරී දකුණු පාදයෙහි වම් පාදය මදක් බැහැරින් තබා සිහි නුවණින් යුතු ව නැගිටින සංඥාව මෙනෙහි කොට සිංහ සෙය්‍යාවෙන් සැතැපුණු සේක. එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ “ආයුෂ්මත් මහණෙනි”යි භික්ෂූන් ඇමතූහ. “ආයුෂ්මතුන් වහන්සැ”යි ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙය වදාළහ.

“ආයුෂ්මත්නි, යම් කිසිවෙකු හට කුසල් දහම් පිළිබඳ ව ශ්‍රද්ධාව නැත්තේ ද, පවට ලැජ්ජාව නැත්තේ ද, පවට භය නැත්තේ ද, වීර්යය නැත්තේ ද, ප්‍රඥාව නැත්තේ ද, අවධානයෙන් සවන් දීම නැත්තේ ද, ධර්මය දරාගැනීම නැත්තේ ද, අර්ථ මෙනෙහි කිරීම නැත්තේ ද, ධර්මානුධර්ම ප්‍රතිපදාව නැත්තේ ද, කුසල් දහම් පිළිබඳ ව අප්‍රමාදී බව නැත්තේ ද ඔහුට යම් ම රැයක් හෝ දහවලක් හෝ පැමිණෙයි නම් කුසල් දහම් පිළිබඳ ව පිරිහීම ම කැමති විය යුතු ය. දියුණුව නොවෙයි.

ආයුෂ්මත්නි, එය මෙවැනි දෙයකි. කළුවර පක්ෂයෙහි චන්ද්‍රයාට යම් රැයක් හෝ දහවලක් හෝ පැමිණෙයි නම් ඒ සඳෙහි පැහැය පිරිහෙන්නේ ම ය. වටරවුම පිරිහෙන්නේ ම ය. එළිය පිරිහෙන්නේ ම ය. ආරෝහ පරිණාහය පිරිහෙන්නේ ම ය. එසෙයින් ම ආයුෂ්මත්නි, යම් කිසිවෙකු හට කුසල් දහම් පිළිබඳ ව ශ්‍රද්ධාව නැත්තේ ද, පවට ලැජ්ජාව නැත්තේ ද, පවට භය නැත්තේ ද, වීර්යය නැත්තේ ද, ප්‍රඥාව නැත්තේ ද, අවධානයෙන් සවන් දීම නැත්තේ ද, ධර්මය දරා ගැනීම නැත්තේ ද, අර්ථ මෙනෙහි කිරීම නැත්තේ ද, ධර්මානුධර්ම ප්‍රතිපදාව නැත්තේ ද, කුසල් දහම් පිළිබඳ ව අප්‍රමාදී බව නැත්තේ ද ඔහුට යම් ම රැයක් හෝ දහවලක් හෝ පැමිණෙයි නම් කුසල් දහම් පිළිබඳ ව පිරිහීම ම කැමති විය යුතු ය. දියුණුව නොවෙයි.

ආයුෂ්මත්නි, යම් කිසිවෙකු හට කුසල් දහම් පිළිබඳ ව ශ්‍රද්ධාව ඇත්තේ ද, පවට ලැජ්ජාව ඇත්තේ ද, පවට භය ඇත්තේ ද, වීර්යය ඇත්තේ ද, ප්‍රඥාව ඇත්තේ ද, අවධානයෙන් සවන් දීම ඇත්තේ ද, ධර්මය දරාගැනීම ඇත්තේ ද, අර්ථ මෙනෙහි කිරීම ඇත්තේ ද, ධර්මානුධර්ම ප්‍රතිපදාව ඇත්තේ ද, කුසල් දහම් පිළිබඳව අප්‍රමාදී බව ඇත්තේ ද ඔහුට යම් ම රැයක් හෝ දහවලක් හෝ පැමිණෙයි නම් කුසල් දහම් පිළිබඳ ව දියුණුව ම කැමති විය යුතු ය. පිරිහීම නොවෙයි.

ආයුෂ්මත්නි, එය මෙවැනි දෙයකි. මෝරන පක්ෂයෙහි චන්ද්‍රයාට යම් රැයක් හෝ දහවලක් හෝ පැමිණෙයි නම් ඒ සඳෙහි පැහැය වැඩෙන්නේ ම ය. වටරවුම වැඩෙන්නේ ම ය. එළිය වැඩෙන්නේ ම ය. ආරෝහ පරිණාහය වැඩෙන්නේ ම ය. එසෙයින් ම ආයුෂ්මත්නි, යම් කිසිවෙකු හට කුසල් දහම් පිළිබඳ ව ශ්‍රද්ධාව ඇත්තේ ද, ….(පෙ)…. කුසල් දහම් පිළිබඳව අප්‍රමාදී බව ඇත්තේ ද ඔහුට යම් ම රැයක් හෝ දහවලක් හෝ පැමිණෙයි නම් කුසල් දහම් පිළිබඳ ව දියුණුව ම කැමති විය යුතු ය. පිරිහීම නොවෙයි.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ සිංහසෙය්‍යාවෙන් නැගිට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ අමතා වදාළ සේක.

“සාරිපුත්තයෙනි, සාදු! සාදු! සාරිපුත්තයෙනි, යම් කිසිවෙකු හට කුසල් දහම් පිළිබඳ ව ශ්‍රද්ධාව නැත්තේ ද, පවට ලැජ්ජාව නැත්තේ ද, පවට භය නැත්තේ ද, වීර්යය නැත්තේ ද, ප්‍රඥාව නැත්තේ ද, අවධානයෙන් සවන් දීම නැත්තේ ද, ධර්මය දරාගැනීම නැත්තේ ද, අර්ථ මෙනෙහි කිරීම නැත්තේ ද, ධර්මානුධර්ම ප්‍රතිපදාව නැත්තේ ද, කුසල් දහම් පිළිබඳව අප්‍රමාදී බව නැත්තේ ද ඔහුට යම් ම රැයක් හෝ දහවලක් හෝ පැමිණෙයි නම් කුසල් දහම් පිළිබඳ ව පිරිහීම ම කැමති විය යුතු ය. දියුණුව නොවෙයි.

සාරිපුත්තයෙනි, එය මෙවැනි දෙයකි. කළුවර පක්ෂයෙහි චන්ද්‍රයාට යම් රැයක් හෝ දහවලක් හෝ පැමිණෙයි නම් ඒ සඳෙහි පැහැය පිරිහෙන්නේ ම ය. වටරවුම පිරිහෙන්නේ ම ය. එළිය පිරිහෙන්නේ ම ය. ආරෝහ පරිණාහය පිරිහෙන්නේ ම ය. එසෙයින් ම සාරිපුත්තයෙනි, යම් කිසිවෙකු හට කුසල් දහම් පිළිබඳ ව ශ්‍රද්ධාව නැත්තේ ද, ….(පෙ)…. කුසල් දහම් පිළිබඳව අප්‍රමාදී බව නැත්තේ ද ඔහුට යම් ම රැයක් හෝ දහවලක් හෝ පැමිණෙයි නම් කුසල් දහම් පිළිබඳ ව පිරිහීම ම කැමති විය යුතු ය. දියුණුව නොවෙයි.

සාරිපුත්තයෙනි, යම් කිසිවෙකු හට කුසල් දහම් පිළිබඳ ව ශ්‍රද්ධාව ඇත්තේ ද, පවට ලැජ්ජාව ඇත්තේ ද, පවට භය ඇත්තේ ද, වීර්යය ඇත්තේ ද, ප්‍රඥාව ඇත්තේ ද, අවධානයෙන් සවන් දීම ඇත්තේ ද, ධර්මය දරාගැනීම ඇත්තේ ද, අර්ථ මෙනෙහි කිරීම ඇත්තේ ද, ධර්මානුධර්ම ප්‍රතිපදාව ඇත්තේ ද, කුසල් දහම් පිළිබඳව අප්‍රමාදී බව ඇත්තේ ද ඔහුට යම් ම රැයක් හෝ දහවලක් හෝ පැමිණෙයි නම් කුසල් දහම් පිළිබඳ ව දියුණුව ම කැමති විය යුතු ය. පිරිහීම නොවෙයි.

සාරිපුත්තයෙනි, එය මෙවැනි දෙයකි. මෝරන පක්ෂයෙහි චන්ද්‍රයාට යම් රැයක් හෝ දහවලක් හෝ පැමිණෙයි නම් ඒ සඳෙහි පැහැය වැඩෙන්නේ ම ය. වටරවුම වැඩෙන්නේ ම ය. එළිය වැඩෙන්නේ ම ය. ආරෝහ පරිණාහය වැඩෙන්නේ ම ය. එසෙයින් ම සාරිපුත්තයෙනි, යම් කිසිවෙකු හට කුසල් දහම් පිළිබඳ ව ශ්‍රද්ධාව ඇත්තේ ද, ….(පෙ)…. කුසල් දහම් පිළිබඳව අප්‍රමාදී බව ඇත්තේ ද ඔහුට යම් ම රැයක් හෝ දහවලක් හෝ පැමිණෙයි නම් කුසල් දහම් පිළිබඳ ව දියුණුව ම කැමති විය යුතු ය. පිරිහීම නොවෙයි.”

සාදු! සාදු!! සාදු!!!

දුතිය නළකපාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M