අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.2.2.7. පඨම නළකපාන සුත්තං

10.2.2.7. නළකපාන ගමෙහි දී වදාළ පළමු දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කොසොල් රටෙහි චාරිකාවෙහි වඩිනා සේක් මහත් භික්ෂුසංඝයා සමඟ කෝසලවාසීන්ගේ නළකපාන නම් නියම් ගමෙහි කල් ගෙවූ සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ නළකපානයෙහි පලාසවනයෙහි වැඩවසන සේක. එසමයෙහි පොහෝ දින ලත් එදින භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරා වැඩසිටි සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝ වේලා ගතවන තෙක් භික්ෂූන් හට දැහැමි කථාවෙන් කරුණු දක්වා, සමාදන් කරවා, උනන්දු කරවා, සතුටු කරවා, නිහඬ ව සිටින භික්ෂු සංඝයා දෙස හාත්පස බලා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ඇමතූ සේක.

“සාරිපුත්තයෙනි, භික්ෂු සංඝයා පහවූ ථීනමිද්ධ ඇත්තේ ය. සාරිපුත්තයෙනි, භික්ෂූන් සඳහා ඔබට ධර්ම කථාව වැටහේවා! මාගේ පිට ස්වල්පයක් ගිලන් ය. මම් එය සංසිඳුවාලන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී”යි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඟල සිවුර සිව්ගුණ කොට නවා දකුණත්පසට හැරී දකුණු පාදයෙහි වම් පාදය මදක් බැහැරින් තබා සිහි නුවණින් යුතුව නැගිටින සංඥාව මෙනෙහි කොට සිංහ සෙය්‍යාවෙන් සැතැපුණු සේක. එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ “ආයුෂ්මත් මහණෙනි”යි භික්ෂූන් ඇමතූහ. “ආයුෂ්මතුන් වහන්සැ”යි ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙය වදාළහ.

“ආයුෂ්මත්නි, යම් කිසිවෙකු හට කුසල් දහම් පිළිබඳ ව ශ්‍රද්ධාව නැත්තේ ද, ලැජ්ජාව නැත්තේ ද, භය නැත්තේ ද, වීර්යය නැත්තේ ද, කුසල් දහම් පිළිබඳ ව ප්‍රඥාව නැත්තේ ද ඔහුට යම් ම රැයක් හෝ දහවලක් හෝ පැමිණෙයි නම් කුසල් දහම් පිළිබඳ ව පිරිහීම ම කැමති විය යුතු ය. දියුණුව නොවෙයි.

ආයුෂ්මත්නි, එය මෙවැනි දෙයකි. කළුවර පක්ෂයෙහි චන්ද්‍රයාට යම් රැයක් හෝ දහවලක් හෝ පැමිණෙයි නම් ඒ සඳෙහි පැහැය පිරිහෙන්නේ ම ය. වටරවුම පිරිහෙන්නේ ම ය. එළිය පිරිහෙන්නේ ම ය. ආරෝහ පරිණාහය පිරිහෙන්නේ ම ය. එසෙයින් ම ආයුෂ්මත්නි, යම් කිසිවෙකු හට කුසල් දහම් පිළිබඳ ව ශ්‍රද්ධාව නැත්තේ ද, ලැජ්ජාව නැත්තේ ද, භය නැත්තේ ද, වීර්යය නැත්තේ ද, කුසල් දහම් පිළිබඳ ව ප්‍රඥාව නැත්තේ ද ඔහුට යම් ම රැයක් හෝ දහවලක් හෝ පැමිණෙයි නම් කුසල් දහම් පිළිබඳ ව පිරිහීම ම කැමති විය යුතු ය. දියුණුව නොවෙයි.

ආයුෂ්මත්නි, ශ්‍රද්ධා රහිත පුරුෂ පුද්ගලයා යනු මෙය පරිහානියකි. ආයුෂ්මත්නි, පවට ලැජ්ජා නැති පුරුෂ පුද්ගලයා යනු මෙය පරිහානියකි. ආයුෂ්මත්නි, පවට භය නැති පුරුෂ පුද්ගලයා යනු මෙය පරිහානියකි. ආයුෂ්මත්නි, කුසීත පුරුෂ පුද්ගලයා යනු මෙය පරිහානියකි. ආයුෂ්මත්නි, දුෂ්ප්‍රාඥ පුරුෂ පුද්ගලයා යනු මෙය පරිහානියකි. ආයුෂ්මත්නි, ක්‍රෝධ කරන පුරුෂ පුද්ගලයා යනු මෙය පරිහානියකි. ආයුෂ්මත්නි, බද්ධ වෛර ඇති පුරුෂ පුද්ගලයා යනු මෙය පරිහානියකි. ආයුෂ්මත්නි, පවිටු ආශා ඇති පුරුෂ පුද්ගලයා යනු මෙය පරිහානියකි. ආයුෂ්මත්නි, පවිටු මිතුරන් ඇති පුරුෂ පුද්ගලයා යනු මෙය පරිහානියකි. ආයුෂ්මත්නි, මිසදිටු ගත් පුරුෂ පුද්ගලයා යනු මෙය පරිහානියකි.

ආයුෂ්මත්නි, යම් කිසිවෙකු හට කුසල් දහම් පිළිබඳ ව ශ්‍රද්ධාව ඇත්තේ ද, ලැජ්ජාව ඇත්තේ ද, භය ඇත්තේ ද, වීර්යය ඇත්තේ ද, කුසල් දහම් පිළිබඳ ව ප්‍රඥාව ඇත්තේ ද ඔහුට යම් ම රැයක් හෝ දහවලක් හෝ පැමිණෙයි නම් කුසල් දහම් පිළිබඳ ව දියුණුව ම කැමති විය යුතු ය. පිරිහීම නොවෙයි.

ආයුෂ්මත්නි, එය මෙවැනි දෙයකි. මෝරන පක්ෂයෙහි චන්ද්‍රයාට යම් රැයක් හෝ දහවලක් හෝ පැමිණෙයි නම් ඒ සඳෙහි පැහැය වැඩෙන්නේ ම ය. වටරවුම වැඩෙන්නේ ම ය. එළිය වැඩෙන්නේ ම ය. ආරෝහ පරිණාහය වැඩෙන්නේ ම ය. එසෙයින් ම ආයුෂ්මත්නි, යම් කිසිවෙකු හට කුසල් දහම් පිළිබඳ ව ශ්‍රද්ධාව ඇත්තේ ද, ලැජ්ජාව ඇත්තේ ද, භය ඇත්තේ ද, වීර්යය ඇත්තේ ද, කුසල් දහම් පිළිබඳ ව ප්‍රඥාව ඇත්තේ ද ඔහුට යම් ම රැයක් හෝ දහවලක් හෝ පැමිණෙයි නම් කුසල් දහම් පිළිබඳ ව දියුණුව ම කැමති විය යුතු ය. පිරිහීම නොවෙයි.

ආයුෂ්මත්නි, ශ්‍රද්ධාව ඇති පුරුෂ පුද්ගලයා යනු මෙය අපරිහානියකි. ආයුෂ්මත්නි, පවට ලැජ්ජා ඇති පුරුෂ පුද්ගලයා යනු මෙය අපරිහානියකි. ආයුෂ්මත්නි, පවට භය ඇති පුරුෂ පුද්ගලයා යනු මෙය අපරිහානියකි. ආයුෂ්මත්නි, පටන් ගත් වීරිය ඇති පුරුෂ පුද්ගලයා යනු මෙය අපරිහානියකි. ආයුෂ්මත්නි, ප්‍රඥාව ඇති පුරුෂ පුද්ගලයා යනු මෙය අපරිහානියකි. ආයුෂ්මත්නි, නොකිපෙන පුරුෂ පුද්ගලයා යනු මෙය අපරිහානියකි. ආයුෂ්මත්නි, බද්ධ වෛර නැති පුරුෂ පුද්ගලයා යනු මෙය අපරිහානියකි. ආයුෂ්මත්නි, අඩු ආශා ඇති පුරුෂ පුද්ගලයා යනු මෙය අපරිහානියකි. ආයුෂ්මත්නි, කලණ මිතුරන් ඇති පුරුෂ පුද්ගලයා යනු මෙය අපරිහානියකි. ආයුෂ්මත්නි, සම්දිටු ගත් පුරුෂ පුද්ගලයා යනු මෙය අපරිහානියකි.”

එකල්හී භාග්‍යවතුන් වහන්සේ සිංහසෙය්‍යාවෙන් නැගිට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ අමතා වදාළ සේක.

“සාරිපුත්තයෙනි, සාදු! සාදු! සාරිපුත්තයෙනි, යම් කිසිවෙකු හට කුසල් දහම් පිළිබඳ ව ශ්‍රද්ධාව නැත්තේ ද, පවට ලැජ්ජාව නැත්තේ ද, පවට භය නැත්තේ ද, වීර්යය නැත්තේ ද, කුසල් දහම් පිළිබඳ ව ප්‍රඥාව නැත්තේ ද ඔහුට යම් ම රැයක් හෝ දහවලක් හෝ පැමිණෙයි නම් කුසල් දහම් පිළිබඳ ව පිරිහීම ම කැමති විය යුතු ය. දියුණුව නොවෙයි.

සාරිපුත්තයෙනි, එය මෙවැනි දෙයකි. කළුවර පක්ෂයෙහි චන්ද්‍රයාට යම් රැයක් හෝ දහවලක් හෝ පැමිණෙයි නම් ඒ සඳෙහි පැහැය පිරිහෙන්නේ ම ය. වටරවුම පිරිහෙන්නේ ම ය. එළිය පිරිහෙන්නේ ම ය. ආරෝහ පරිණාහය පිරිහෙන්නේ ම ය. එසෙයින් ම සාරිපුත්තයෙනි, යම් කිසිවෙකු හට කුසල් දහම් පිළිබඳ ව ශ්‍රද්ධාව නැත්තේ ද, පවට ලැජ්ජාව නැත්තේ ද, පවට භය නැත්තේ ද, වීර්යය නැත්තේ ද, කුසල් දහම් පිළිබඳ ව ප්‍රඥාව නැත්තේ ද ඔහුට යම් ම රැයක් හෝ දහවලක් හෝ පැමිණෙයි නම් කුසල් දහම් පිළිබඳ ව පිරිහීම ම කැමති විය යුතු ය. දියුණුව නොවෙයි.

සාරිපුත්තයෙනි, ශ්‍රද්ධා රහිත පුරුෂ පුද්ගලයා යනු මෙය පරිහානියකි. සාරිපුත්තයෙනි, පවට ලැජ්ජා නැති පුරුෂ පුද්ගලයා ….(පෙ)…. පවට භය නැති පුරුෂ පුද්ගලයා ….(පෙ)…. කුසීත පුරුෂ පුද්ගලයා ….(පෙ)…. දුෂ්ප්‍රාඥ පුරුෂ පුද්ගලයා ….(පෙ)…. ක්‍රෝධ කරන පුරුෂ පුද්ගලයා ….(පෙ)…. බද්ධ වෛර ඇති පුරුෂ පුද්ගලයා ….(පෙ)…. පවිටු ආශා ඇති පුරුෂ පුද්ගලයා ….(පෙ)…. පවිටු මිතුරන් ඇති පුරුෂ පුද්ගලයා ….(පෙ)…. මිසදිටු ගත් පුරුෂ පුද්ගලයා යනු මෙය පරිහානියකි.

සාරිපුත්තයෙනි, යම් කිසිවෙකු හට කුසල් දහම් පිළිබඳ ව ශ්‍රද්ධාව ඇත්තේ ද, ලැජ්ජාව ඇත්තේ ද, භය ඇත්තේ ද, වීර්යය ඇත්තේ ද, කුසල් දහම් පිළිබඳ ව ප්‍රඥාව ඇත්තේ ද ඔහුට යම් ම රැයක් හෝ දහවලක් හෝ පැමිණෙයි නම් කුසල් දහම් පිළිබඳ ව දියුණුව ම කැමති විය යුතු ය. පිරිහීම නොවෙයි.

සාරිපුත්තයෙනි, එය මෙවැනි දෙයකි. මෝරන පක්ෂයෙහි චන්ද්‍රයාට යම් රැයක් හෝ දහවලක් හෝ පැමිණෙයි නම් ඒ සඳෙහි පැහැය වැඩෙන්නේ ම ය. වටරවුම වැඩෙන්නේ ම ය. එළිය වැඩෙන්නේ ම ය. ආරෝහ පරිණාහය වැඩෙන්නේ ම ය. එසෙයින් ම සාරිපුත්තයෙනි, යම් කිසිවෙකු හට කුසල් දහම් පිළිබඳ ව ශ්‍රද්ධාව ඇත්තේ ද, පවට ලැජ්ජාව ඇත්තේ ද, පවට භය ඇත්තේ ද, වීර්යය ඇත්තේ ද, කුසල් දහම් පිළිබඳ ව ප්‍රඥාව ඇත්තේ ද ඔහුට යම් ම රැයක් හෝ දහවලක් හෝ පැමිණෙයි නම් කුසල් දහම් පිළිබඳ ව දියුණුව ම කැමති විය යුතු ය. පිරිහීම නොවෙයි.

සාරිපුත්තයෙනි, ශ්‍රද්ධාව ඇති පුරුෂ පුද්ගලයා යනු මෙය අපරිහානියකි. සාරිපුත්තයෙනි, පවට ලැජ්ජා ඇති පුරුෂ පුද්ගලයා ….(පෙ)…. පවට භය ඇති පුරුෂ පුද්ගලයා ….(පෙ)…. පටන් ගත් වීරිය ඇති පුරුෂ පුද්ගලයා ….(පෙ)…. ප්‍රඥාව ඇති පුරුෂ පුද්ගලයා ….(පෙ)…. නොකිපෙන පුරුෂ පුද්ගලයා ….(පෙ)…. බද්ධ වෛර නැති පුරුෂ පුද්ගලයා ….(පෙ)…. අඩු ආශා ඇති පුරුෂ පුද්ගලයා ….(පෙ)…. කලණ මිතුරන් ඇති පුරුෂ පුද්ගලයා ….(පෙ)…. සාරිපුත්තයෙනි, සම්දිටු ගත් පුරුෂ පුද්ගලයා යනු මෙය අපරිහානියකි.”

සාදු! සාදු!! සාදු!!!

පඨම නළකපාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-2-7-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M