අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.2.2.10. දුතිය කථාවත්ථු සුත්තං

10.2.2.10. කථාවන්ට මුල්වන කරුණු ගැන වදාළ දෙවෙනි දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හී පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකී උපස්ථාන ශාලාවෙහි බොහෝ භික්ෂූහු රැස් වූවාහු ය. රැස් ව නොයෙක් නොයෙක් තිරශ්චීන කතාවෙන් කල්ගත කරමින් හුන්නාහු වෙති. ඒ කවර කථාවක් ද යත්; රජුන් පිළිබඳ කථා ය, සොරුන් පිළිබඳ කථා ය, ….(පෙ)…. මෙසේ මෙසේ යන කරුණු පිළිබඳ කථා ය මේ ආදී වශයෙනි.

“මහණෙනි, ප්‍රශංසාවට බඳුන්වන මේ කරුණු දසයකි. කවර දසයක් ද යත්;

1. මහණෙනි, මෙහිලා භික්ෂුව තමා ද අල්පේච්ඡ වූයේ වෙයි. අල්පේච්ඡතාවය පිළිබඳ ව භික්ෂූන් සමඟ කතා කරන්නේ ද වෙයි. ‘අල්පේච්ඡ වූ භික්ෂුව අල්පේච්ඡතාවය පිළිබඳ ව භික්ෂූන් සමඟ කතා කරයි’ යනුවෙන් මෙම කරුණ ප්‍රශංසාවට බඳුන් වෙයි.

2. තමා ද ලද දෙයින් සතුටු වූයේ වෙයි. ලද දෙයින් සතුටු වීම පිළිබඳ ව භික්ෂූන් සමඟ කතා කරන්නේ ද වෙයි. ‘ලද දෙයින් සතුටු වූ භික්ෂුව ලද දෙයින් සතුටු වීම පිළිබඳ ව භික්ෂූන් සමඟ කතා කරයි’ යනුවෙන් මෙම කරුණ ප්‍රශංසාවට බඳුන් වෙයි.

3. තමා ද හුදෙකලා විවේකයෙන් යුතු වූයේ වෙයි. හුදෙකලා විවේකය පිළිබඳ ව භික්ෂූන් සමඟ කතා කරන්නේ ද වෙයි. ‘හුදෙකලා විවේකයෙන් යුතු වූ භික්ෂුව හුදෙකලා විවේකය පිළිබඳ ව භික්ෂූන් සමඟ කතා කරයි’ යනුවෙන් මෙම කරුණ ප්‍රශංසාවට බඳුන් වෙයි.

4. තමා ද පිරිස සමඟ නොඇලීමෙන් යුතු වූයේ වෙයි. පිරිස සමඟ නොඇලීම පිළිබඳ ව භික්ෂූන් සමඟ කතා කරන්නේ ද වෙයි. ‘පිරිස සමඟ නොඇලෙන්නා වූ භික්ෂුව පිරිස සමඟ නොඇලීම පිළිබඳ ව භික්ෂූන් සමඟ කතා කරයි’ යනුවෙන් මෙම කරුණ ප්‍රශංසාවට බඳුන් වෙයි.

5. තමා ද පටන් ගත් වීරියෙන් යුතු වූයේ වෙයි. පටන් ගත් වීරිය පිළිබඳ ව භික්ෂූන් සමඟ කතා කරන්නේ ද වෙයි. ‘පටන් ගත් වීරියෙන් යුතු වූ භික්ෂුව වීරිය පටන් ගැනීම පිළිබඳ ව භික්ෂූන් සමඟ කතා කරයි’ යනුවෙන් මෙම කරුණ ප්‍රශංසාවට බඳුන් වෙයි.

6. තමා ද සිල්වත් වූයේ වෙයි. සීලය පිළිබඳ ව භික්ෂූන් සමඟ කතා කරන්නේ ද වෙයි. ‘සිල්වත් වූ භික්ෂුව සීලය පිළිබඳ ව භික්ෂූන් සමඟ කතා කරයි’ යනුවෙන් මෙම කරුණ ප්‍රශංසාවට බඳුන් වෙයි.

7. තමා ද සමාධිමත් වූයේ වෙයි. සමාධිය පිළිබඳ ව භික්ෂූන් සමඟ කතා කරන්නේ ද වෙයි. ‘සමාධිමත් වූ භික්ෂුව සමාධිය පිළිබඳ ව භික්ෂූන් සමඟ කතා කරයි’ යනුවෙන් මෙම කරුණ ප්‍රශංසාවට බඳුන් වෙයි.

8. තමා ද ප්‍රඥාවන්ත වූයේ වෙයි. ප්‍රඥාව පිළිබඳ ව භික්ෂූන් සමඟ කතා කරන්නේ ද වෙයි. ‘ප්‍රඥාවන්ත වූ භික්ෂුව ප්‍රඥාව පිළිබඳ ව භික්ෂූන් සමඟ කතා කරයි’ යනුවෙන් මෙම කරුණ ප්‍රශංසාවට බඳුන් වෙයි.

9. තමා ද විමුක්තියෙන් යුතු වූයේ වෙයි. විමුක්තිය පිළිබඳ ව භික්ෂූන් සමඟ කතා කරන්නේ ද වෙයි. ‘විමුක්තියෙන් යුතු වූ භික්ෂුව විමුක්තිය පිළිබඳ ව භික්ෂූන් සමඟ කතා කරයි’ යනුවෙන් මෙම කරුණ ප්‍රශංසාවට බඳුන් වෙයි.

10. තමා ද විමුක්ති ඥානදර්ශනයෙන් යුතු වූයේ වෙයි. විමුක්ති ඥානදර්ශනය පිළිබඳව භික්ෂූන් සමඟ කතා කරන්නේ ද වෙයි. ‘විමුක්ති ඥානදර්ශනයෙන් යුතු වූ භික්ෂුව විමුක්ති ඥානදර්ශනය පිළිබඳ ව භික්ෂූන් සමඟ කතා කරයි’ යනුවෙන් මෙම කරුණ ප්‍රශංසාවට බඳුන් වෙයි.

මහණෙනි, මේවා වනාහී ප්‍රශංසාවට බඳුන් වන දස කාරණාවන් ය.”

සාදු! සාදු!! සාදු!!!

දුතිය කථාවත්ථු සූත්‍රය නිමා විය.

දෙවෙනි යමක වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

අවිජ්ජා සූත්‍රය, තණ්හා සූත්‍රය, නිට්ඨා සූත්‍රය, අවෙච්චප්පසන්න සූත්‍රය, සුඛ සූත්‍ර දෙක, නළකපාන සූත්‍ර දෙක, කථාවත්ථු සූත්‍ර දෙක වශයෙන් මෙහි සූත්‍ර දසයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M