අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.2.1.8. මූලක සුත්තං

10.2.1.8. මුල්වන කරුණ ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය ………..

“ඉදින් මහණෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකවරු මෙසේ විමසන්නාහු නම් ‘ආයුෂ්මත්නි, සියළු ධර්මයෝ කුමක් මුල්කොට ඇත්තාහු ද? සියළු ධර්මයෝ කුමකින් හටගන්නාහු ද? සියළු ධර්මයෝ කුමකින් උපදින්නාහු ද? සියළු ධර්මයෝ කුමක් එකතුවීම කොට ඇත්තාහු ද? සියළු ධර්මයෝ කුමක් ප්‍රමුඛ කොට ඇත්තාහු ද? සියළු ධර්මයෝ කුමක් අධිපති කොට ඇත්තාහු ද? සියළු ධර්මයෝ කුමක් පෙරටු කොට ඇත්තාහු ද? සියළු ධර්මයෝ කුමක් සාර කොට ඇත්තාහු ද? සියළු ධර්මයෝ කුමකට බැසගෙන ඇත්තාහු ද? සියළු ධර්මයෝ කුමකින් අවසන් වන්නාහු දැ’යි. මහණෙනි, මෙසේ විමසන ලද්දාහු නම් ඔබ ඒ අන්‍ය තීර්ථක පිරිවැජියන් හට කුමක් පවසව් ද?”

“ස්වාමීනී, අපගේ මේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහු ය. භාග්‍යවතුන් වහන්සේ පෙරටු කොට ඇත්තාහු ය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහු ය. ස්වාමීනී, ඔය වදාළ කරුණෙහි අර්ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහෙන සේක් නම් මැනැවි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහු ය.”

“එසේ වී නම් මහණෙනි, අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි”

“එසේ ය, ස්වාමීනී”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“ඉදින් මහණෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකවරු මෙසේ විමසන්නාහු නම් ‘ආයුෂ්මත්නි, සියළු ධර්මයෝ කුමක් මුල්කොට ඇත්තාහු ද? සියළු ධර්මයෝ කුමකින් හටගන්නාහු ද? සියළු ධර්මයෝ කුමකින් උපදින්නාහු ද? සියළු ධර්මයෝ කුමක් එකතුවීම් කොට ඇත්තාහු ද? සියළු ධර්මයෝ කුමක් ප්‍රමුඛ කොට ඇත්තාහු ද? සියළු ධර්මයෝ කුමක් අධිපති කොට ඇත්තාහු ද? සියළු ධර්මයෝ කුමක් පෙරටු කොට ඇත්තාහු ද? සියළු ධර්මයෝ කුමක් සාර කොට ඇත්තාහු ද? සියළු ධර්මයෝ කුමකට බැසගෙන ඇත්තාහු ද? සියළු ධර්මයෝ කුමකින් අවසන් වන්නාහු දැ’යි. මහණෙනි, මෙසේ විමසන ලද්දාහු නම් ඔබ ඒ අන්‍ය තීර්ථක පිරිවැජියන් හට මෙසේ පවසව්.

ආයුෂ්මත්නි, සියළු ධර්මයෝ ඡන්දය මුල් කොට ඇත්තාහු ය. සියළු ධර්මයෝ මෙනෙහි කිරීම සම්භව කොට ඇත්තාහු ය. සියළු ධර්මයෝ ස්පර්ශය හටගැනීම කොට ඇත්තාහු ය. සියළු ධර්මයෝ විඳීම එකතුවීම කොට ඇත්තාහු ය. සියළු ධර්මයෝ සමාධිය ප්‍රමුඛ කොට ඇත්තාහු ය. සියළු ධර්මයෝ සිහිය අධිපති කොට ඇත්තාහු ය. සියළු ධර්මයෝ ප්‍රඥාව පෙරටු කොට ඇත්තාහු ය. සියළු ධර්මයෝ විමුක්තිය සාර කොට ඇත්තාහු ය. සියළු ධර්මයෝ නිවනට බැසගෙන ඇත්තාහු ය. සියළු ධර්මයෝ නිවන අවසන් කොට ඇත්තාහු ය. මහණෙනි, මෙසේ විමසන ලද්දාහු නම් ඔබ ඒ අන්‍ය තීර්ථක පිරිවැජියන් හට මෙසේ පවසව්.”

සාදු! සාදු!! සාදු!!!

මූලක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M