සැවැත් නුවර දී ය ………..
එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ‘ආයුෂ්මත් මහණෙනි’යි භික්ෂූන් ඇමතූහ. ‘ආයුෂ්මතුන් වහන්සැ’යි ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙය වදාළ සේක.
“පිරිහෙන ස්වභාව ඇති පුද්ගලයා, පිරිහෙන ස්වභාව ඇති පුද්ගලයා’ යැයි ආයුෂ්මත්නි, කියනු ලැබේ. ආයුෂ්මත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් පිරිහෙන සුළු පුද්ගලයා ගැන වදාරණ ලද්දේ කවර කරුණු මත ද? එමෙන් ම නොපිරිහෙන ස්වභාවයෙන් යුතු පුද්ගලයා ගැන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ කවර කරුණු මත ද?”
“ආයුෂ්මතුන් වහන්ස, දුර සිට නමුත් අපි ආයුෂ්මත් සාරිපුත්තයන් සමීපයට ඔය පැවසූ කරුණෙහි අර්ථය දැනගැනීමට එන්නෙමු. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට ම ඔය පැවසූ කරුණෙහි අර්ථය වැටහේ නම් මැනැවි. ආයුෂ්මත් සාරිපුත්තයන්ගෙන් අසා භික්ෂූහු දරා ගන්නාහු ය.”
“එසේ වී නම් ආයුෂ්මත්නි, අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.”
“එසේ ය, ආයුෂ්මත්නි” යි ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරිපුත්තයන් හට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙය වදාළහ.
“ආයුෂ්මත්නි, කොතෙක් කරුණකින් පුද්ගලයා පිරිහෙන ස්වභාවයෙන් යුක්ත යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ද? ආයුෂ්මත්නි, මෙහිලා භික්ෂුව නොඇසූ ධර්මයන් ද නොඅසයි. ඔහු විසින් අසන ලද ධර්මයන් ද අමතක වී යයි. යම් ධර්මයක් ඔහු විසින් කලින් සිතින් ස්පර්ශ කරන ලද්දේ වී ද, ඒ ධර්මයනුත් සිහි නොවෙයි. නොදැන ගත් දේ ත් දැන නොගනියි. ආයුෂ්මත්නි, මෙපමණකින් පුද්ගලයා පිරිහෙන ස්වභාව ඇත්තේ යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය.
ආයුෂ්මත්නි, කොතෙක් කරුණකින් පුද්ගලයා නොපිරිහෙන ස්වභාවයෙන් යුක්ත යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ද? ආයුෂ්මත්නි, මෙහිලා භික්ෂුව නොඇසූ ධර්මයන් ද අසයි. ඔහු විසින් අසන ලද ධර්මයන් ද අමතක නොවෙයි. යම් ධර්මයක් කලින් සිතින් ස්පර්ශ කරන ලද්දේ වී ද, ඒ ධර්මයනුත් යළි යළි සිහි වෙයි. දැන නොගත් දේ ත්, දැන ගනියි. ආයුෂ්මත්නි, මෙපමණකින් පුද්ගලයා නොපිරිහෙන ස්වභාව ඇත්තේ යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය.
ඉදින් ආයුෂ්මත්නි, භික්ෂුවක් අනුන්ගේ සිත දකින්නට දක්ෂ නොවෙයි නම්, එකල තමන්ගේ සිත දකින්නට දක්ෂ වන්නෙමි’යි ආයුෂ්මත්නි, මේ අයුරින් ඔබ හික්මිය යුත්තේ ය.
ආයුෂ්මත්නි, භික්ෂුවක් තමන්ගේ සිත දකින්නට දක්ෂ වන්නේ කෙසේ ද? ආයුෂ්මත්නි, එය මෙබඳු දෙයකි. යොවුන් වූ තරුණ වූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සැරසෙනු කැමති ව පිරිසිදු කැඩපතක් ළඟට යයි. නැත්නම් පිරිසිදු දිය බඳුනක් ළඟට යයි. තමාගේ මුව මඬල හොඳින් විමසා බලයි. ඉදින් තමාගේ මුවෙහි කිසියම් කිළුටක් හෝ කැළලක් හෝ තිබේ නම් ඒ කිළුට හෝ කැළල හෝ නැති කර දැමීමට වෑයම් කරයි. ඉදින් තමාගේ මුවෙහි කිළුටක් හෝ කැළලක් හෝ නොදකී නම් ඒ හේතුවෙන් සතුටු සිත් ඇත්තේ වෙයි. පිරිපුන් සංකල්ප ඇත්තේ වෙයි. ‘සැබැවින් ම මට ලාභයකි. සැබැවින් ම මගේ මුව මඬල පිරිසිදු ය’ වශයෙනි.
ඔය අයුරින් ම ආයුෂ්මත්නි, කුසල් දහම් පිළිබඳ ව නුවණින් විමසන්නා වූ භික්ෂුවට බොහෝ උපකාර ලැබෙන්නේ ය.
‘මම් බහුල ව වාසය කරන්නේ ලෝභයෙන් තොර ව වාසය කරන්නෙම් ද? මේ ධර්මය මා තුළ දකින්නට ලැබෙයි ද? නැත්නම් නොලැබෙයි ද? මම් බහුල ව වාසය කරන්නේ කෝපයෙන් තොර ව වාසය කරන්නෙම් ද? මේ ධර්මය මා තුළ දකින්නට ලැබෙයි ද? නැත්නම් නොලැබෙයි ද? මම් බහුල ව වාසය කරන්නේ ථීනමිද්ධයෙන් තොර ව වාසය කරන්නෙම් ද? මේ ධර්මය මා තුළ දකින්නට ලැබෙයි ද? නැත්නම් නොලැබෙයි ද? මම් බහුල ව වාසය කරන්නේ සිතේ ඇවිස්සීමෙන් තොර ව වාසය කරන්නෙම් ද? මේ ධර්මය මා තුළ දකින්නට ලැබෙයි ද? නැත්නම් නොලැබෙයි ද? මම් බහුල ව වාසය කරන්නේ පහවූ සැක ඇතිව වාසය කරන්නෙම් ද? මේ ධර්මය මා තුළ දකින්නට ලැබෙයි ද? නැත්නම් නොලැබෙයි ද? මම් බහුල ව වාසය කරන්නේ ක්‍රෝධයෙන් තොර ව වාසය කරන්නෙම් ද? මේ ධර්මය මා තුළ දකින්නට ලැබෙයි ද? නැත්නම් නොලැබෙයි ද? මම් බහුල ව වාසය කරන්නේ නොකිලිටි සිතින් යුතුව වාසය කරන්නෙම් ද? මේ ධර්මය මා තුළ දකින්නට ලැබෙයි ද? නැත්නම් නොලැබෙයි ද? මම් බහුල ව වාසය කරන්නේ ආධ්‍යාත්මයෙහි ධර්මයෙන් ලත් ප්‍රමුදිත බව ලබන්නෙම් ද? මේ ධර්මය මා තුළ දකින්නට ලැබෙයි ද? නැත්නම් නොලැබෙයි ද? මම් බහුල ව වාසය කරන්නේ ආධ්‍යාත්මයෙහි චිත්ත සමථය ලබන්නෙම් ද? මේ ධර්මය මා තුළ දකින්නට ලැබෙයි ද? නැත්නම් නොලැබෙයි ද? මම් බහුල ව වාසය කරන්නේ අධිපඤ්ඤා ධම්ම විපස්සනාව ලබන්නෙම් ද? මේ ධර්මය මා තුළ දකින්නට ලැබෙයි ද? නැත්නම් නොලැබෙයි ද?
ඉදින් ආයුෂ්මත්නි, භික්ෂුව නුවණින් විමසද්දී මේ සියළු කුසල් දහම් තමා තුළ දකින්නට නොලැබෙයි ද, ආයුෂ්මත්නි, ඒ භික්ෂුව විසින් ඒ සියළු ම කුසල ධර්මයන්ගේ ප්‍රතිලාභය පිණිස අධිමාත්‍ර වූ කැමත්තකුත්, වෙහෙසකුත්, උත්සාහයකුත්, අධිකතර උත්සාහයකුත්, නොපසුබස්නා උත්සාහයකුත්, සිහිය ත්, නුවණ ත් ඇති කරගත යුත්තේ ය.
ආයුෂ්මත්නි, වස්ත්‍රය ගිනි ගත් කෙනෙක් හෝ හිස ගිනි ගත් කෙනෙක් හෝ ඔහුගේ ගිනි ඇවිලෙන වස්ත්‍රය හෝ ගිනි ඇවිලෙන හිස හෝ නිවා ගැනීම පිණිස අධිමාත්‍ර වූ කැමැත්තකුත්, වීර්යයකුත්, උත්සාහයකුත්, බලවත් උත්සාහයකුත්, නොපසුබස්නා උත්සාහයකුත්, සිහියකුත්, නුවණකුත් ඇති කරගන්නේ වෙයි ද, ඒ අයුරින් ම ඒ භික්ෂුව විසින් මේ සියළුම කුසල ධර්මයන්ගේ ප්‍රතිලාභය පිණිස ඉතා බලවත් වූ කැමැත්තක් ද, වීර්යයක් ද, උත්සාහයක් ද, බලවත් උත්සාහයක් ද, නොපසුබස්නා උත්සාහයක් ද, සිහියක් ද, නුවණක් ද පැවැත්වීමට කටයුතු කළ යුත්තේ ය.
ඉදින් ආයුෂ්මත්නි, ඒ භික්ෂුව තමා පිළිබඳව එසේ නුවණින් විමසන කල්හී ඇතැම් කුසල් දහම් තමා තුළ ඇති බව දකියි. ඇතැම් කුසල් දහම් තමා තුළ නැතැයි දකියි. එවිට ආයුෂ්මතුනි, ඒ භික්ෂුව විසින් තමා තුළ යම් කුසල් දහම් ඇති බව දකියි ද, ඒ කුසල් දහම් මත පිහිටා, යම් කුසල් දහම් තමා තුළ නැති බව දකියි ද, ඒ කුසල් දහම් උපදවා ගැනීම පිණිස ඉතා බලවත් වූ කැමැත්තක් ද, වීර්යයක් ද, උත්සාහයක් ද, බලවත් උත්සාහයක් ද, නොපසුබස්නා උත්සාහයක් ද, සිහියක් ද, නුවණක් ද පැවැත්වීමට කටයුතු කළ යුත්තේ ය.
ආයුෂ්මත්නි, වස්ත්‍රය ගිනි ගත් කෙනෙක් හෝ හිස ගිනි ගත් කෙනෙක් හෝ ඔහුගේ ගිනි ඇවිලෙන වස්ත්‍රය හෝ ගිනි ඇවිලෙන හිස හෝ නිවා ගැනීම පිණිස අධිමාත්‍ර වූ කැමැත්තකුත්, වීර්යයකුත්, උත්සාහයකුත්, බලවත් උත්සාහයකුත්, නොපසුබස්නා උත්සාහයකුත්, සිහියකුත්, නුවණකුත් ඇති කරගන්නේ යම් සේ ද, ඒ අයුරින් ම ආයුෂ්මතුනි, ඒ භික්ෂුව විසින් තමා තුළ යම් කුසල් දහම් ඇති බව දකියි ද, ඒ කුසල් දහම් මත පිහිටා යම් කුසල් දහම් තමා තුළ නැති බව දකියි ද, ඒ කුසල් දහම් උපදවා ගැනීම පිණිස ඉතා බලවත් වූ කැමැත්තක් ද, වීර්යයක් ද, උත්සාහයක් ද, බලවත් උත්සාහයක් ද, නොපසුබස්නා උත්සාහයක් ද, සිහියක් ද, නුවණක් ද පැවැත්වීමට කටයුතු කළ යුත්තේ ය.
ඉදින් ආයුෂ්මත්නි, භික්ෂුව නුවණින් විමසන විට මේ සියළු කුසල් දහම් තමා තුළ ඇතැයි දකින්නේ ද, එවිට ආයුෂ්මත්නි, ඒ භික්ෂුව විසින් තමා තුළ ඇති මේ සියළු කුසල් දහම් මත පිහිටා තවදුරටත් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිණිස උත්සාහ කළ යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
පරිහාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M