අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.2.1.4. සමථ සුත්තං

10.2.1.4. සමථය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය…….

ඉදින් මහණෙනි, භික්ෂුවක් අනුන්ගේ සිත දකින්නට දක්ෂ නොවෙයි නම්, එකල තමන්ගේ සිත දකින්නට දක්ෂ වන්නෙමි’යි මහණෙනි, මේ අයුරින් ඔබ හික්මිය යුත්තේ ය.

මහණෙනි, භික්ෂුවක් තමන්ගේ සිත දකින්නට දක්ෂ වන්නේ කෙසේ ද? මහණෙනි, එය මෙබඳු දෙයකි. යොවුන් වූ තරුණ වූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සැරසෙනු කැමති ව පිරිසිදු කැඩපතක් ළඟට යයි. නැත්නම් පිරිසිදු දිය බඳුනක් ළඟට යයි. තමාගේ මුව මඬල හොඳින් විමසා බලයි. ඉදින් තමාගේ මුවෙහි කිසියම් කිළුටක් හෝ කැළලක් හෝ තිබේ නම් ඒ කිළුට හෝ කැළල හෝ නැති කර දැමීමට වෑයම් කරයි. ඉදින් තමාගේ මුවෙහි කිළුටක් හෝ කැළලක් හෝ නොදකියි නම් ඒ හේතුවෙන් සතුටු සිත් ඇත්තේ වේ. පිරිපුන් සංකල්ප ඇත්තේ වෙයි. ‘සැබැවින් ම මට ලාභයකි. සැබැවින් ම මගේ මුව මඬල පිරිසිදු ය’ වශයෙනි.

ඔය අයුරින් ම මහණෙනි, කුසල් දහම් පිළිබඳ ව නුවණින් විමසන්නා වූ භික්ෂුවට බොහෝ උපකාර ලැබෙන්නේ ය. ‘මම් තමා තුළ චිත්ත සමාධිය ලබා ඇත්තෙක් වෙම් ද? මම් චිත්ත සමාධිය තමා තුළ නොලබා සිටින්නෙම් ද? මම් ගැඹුරු නුවණින් යුතුව ධර්මයන් විදර්ශනා කිරීම ලබා සිටින කෙනෙක් වෙම් ද? මම් ගැඹුරු නුවණින් යුතු ව ධර්මයන් විදර්ශනා කිරීම නොලබා සිටින කෙනෙක් වෙම් ද?’

ඉදින් මහණෙනි, භික්ෂුව නුවණින් විමසන කල්හී මෙසේ දැනගන්නේ ද, එනම් ‘මම් තමා තුළ චිත්ත සමාධිය ලබන සුළු කෙනෙක් වෙමි. එනමුදු මා තුළ ගැඹුරු ප්‍රඥාවෙන් යුතු ව ධර්මයන් විදර්ශනා කිරීම නොලබා සිටින කෙනෙක් වෙමි’යි. එවිට මහණෙනි, ඒ භික්ෂුව විසින් කළ යුත්තේ තමා තුළ ඇති චිත්ත සමාධියෙහි පිහිටා ගැඹුරු ප්‍රඥාවෙන් යුතුව ධර්මයන් විදර්ශනා කිරීමට උත්සාහ කිරීම යි. එවිට ඔහු පසු කලෙක තමා තුළ චිත්ත සමාධිය ද ලබන්නෙක් වෙයි. අධිපඤ්ඤාධම්ම විපස්සනාව ද ලබන්නෙක් වෙයි.

ඉදින් මහණෙනි, භික්ෂුව නුවණින් විමසන කල්හී මෙසේ දැනගන්නේ ද, එනම් ‘මම් ගැඹුරු ප්‍රඥාවෙන් යුතු ව ධර්මයන් විදර්ශනා කිරීම ලබන සුළු කෙනෙක් වෙමි. එනමුදු තමා තුළ චිත්ත සමාධිය නොලබා සිටින කෙනෙක් වෙමි’යි. එවිට මහණෙනි, ඒ භික්ෂුව කළ යුත්තේ ගැඹුරු ප්‍රඥාවෙන් යුතු ව ධර්මයන් විදර්ශනා කිරීම මත පිහිටා තමා තුළ චිත්ත සමාධිය ලැබීමට උත්සාහ කිරීමයි. එවිට ඔහු පසු කලෙක අධිපඤ්ඤාධම්ම විපස්සනාව ද ලබන්නෙක් වෙයි. තමා තුළ චිත්ත සමාධිය ද ලබන්නෙක් වෙයි.

ඉදින් මහණෙනි, භික්ෂුව නුවණින් විමසන කල්හී මෙසේ දැනගන්නේ ද, එනම් ‘මම් තමා තුළ චිත්ත සමාධිය නොලබන සුළු කෙනෙක් වෙමි. එසේ ම ගැඹුරු ප්‍රඥාවෙන් යුතුව ධර්මයන් විදර්ශනා කිරීම නොලබා සිටින කෙනෙක් වෙමි’යි. එවිට මහණෙනි, ඒ භික්ෂුව විසින් කළ යුත්තේ ඒ කුසල් දහම් තමා තුළ උපදවා ගැනීම පිණිස අධිමාත්‍ර වූ කැමැත්තක් ද, වීර්යයක් ද, උත්සාහයක් ද, බලවත් උත්සාහයක් ද, නොපසුබස්නා උත්සාහයක් ද, සිහියක් ද, නුවණක් ද ඇති කරගැනීම යි.

මහණෙනි, වස්ත්‍රය ගිනි ගත් කෙනෙක් හෝ හිස ගිනි ගත් කෙනෙක් හෝ ඔහුගේ ගිනි ඇවිලෙන වස්ත්‍රය හෝ ගිනි ඇවිලෙන හිස හෝ නිවා ගැනීම පිණිස අධිමාත්‍ර වූ කැමැත්තකුත්, වීර්යයකුත්, උත්සාහයකුත්, බලවත් උත්සාහයකුත්, නොපසුබස්නා උත්සාහයකුත්, සිහියකුත්, නුවණකුත් ඇති කරගන්නේ යම් සේ ද, ඒ අයුරින් ම මහණෙනි, ඒ භික්ෂුව විසින් කළ යුත්තේ ඒ කුසල් දහම් තමා තුළ උපදවා ගැනීම පිණිස අධිමාත්‍ර වූ කැමැත්තක් ද, වීර්යයක් ද, උත්සාහයක් ද, බලවත් උත්සාහයක් ද, නොපසුබස්නා උත්සාහයක් ද, සිහියක් ද, නුවණක් ද ඇති කරගැනීම යි. හෙතෙම පසු කාලයෙහි ආධ්‍යාත්ම චිත්ත සමථය ලබන්නේ ත් වෙයි. අධිපඤ්ඤා ධම්ම විපස්සනාව ලබන්නේ ත් වෙයි.

ඉදින් මහණෙනි, භික්ෂුව නුවණින් විමසන කල්හී මෙසේ දැනගන්නේ ද, එනම් ‘මම් තමා තුළ චිත්ත සමාධිය ලබන සුළු කෙනෙක් වෙමි. එසෙයින් ම ගැඹුරු ප්‍රඥාවෙන් යුතු ව ධර්මයන් විදර්ශනා කිරීම ලබා සිටින කෙනෙක් වෙමි’යි. එවිට මහණෙනි, ඒ භික්ෂුව විසින් කළ යුත්තේ ඒ කුසල ධර්මයන් මත පිහිටා තවදුරටත් ආශ්‍රවයන් ක්ෂය කිරීම පිණිස උත්සාහ කිරීම යි.

මහණෙනි, මම් සිවුර ද දෙවැදෑරුම් යැයි පවසමි. එනම් සේවනය කළ යුතු සිවුරකුත් තිබේ. සේවනය නොකළ යුතු සිවුරකුත් තිබේ. මහණෙනි, මම් පිණ්ඩපාතය ද දෙවැදෑරුම් යැයි පවසමි. එනම් සේවනය කළ යුතු පිණ්ඩපාතයකුත් තිබේ. සේවනය නොකළ යුතු පිණ්ඩපාතයකුත් තිබේ. මහණෙනි. මම් සෙනසුන ද දෙවැදෑරුම් යැයි පවසමි. එනම් සේවනය කළ යුතු සෙනසුනකුත් තිබේ. සේවනය නොකළ යුතු සෙනසුනකුත් තිබේ. මහණෙනි, මම් ගම් නියම්ගම් ද දෙවැදෑරුම් යැයි පවසමි. එනම් සේවනය කළ යුතු ගම් නියම්ගම් ද තිබේ. සේවනය නොකළ යුතු ගම් නියම්ගම් ද තිබේ. මහණෙනි, මම් ජනපද ප්‍රදේශ ද දෙවැදෑරුම් යැයි පවසමි. එනම් සේවනය කළ යුතු ජනපද ප්‍රදේශත් තිබේ. සේවනය නොකළ යුතු ජනපද ප්‍රදේශත් තිබේ. මහණෙනි, මම් පුද්ගලයා ද දෙවැදෑරුම් යැයි පවසමි. එනම් සේවනය කළ යුතු පුද්ගලයෙකුත් සිටියි. සේවනය නොකළ යුතු පුද්ගලයෙකුත් සිටියි.

‘මහණෙනි, මම් සිවුර ද දෙවැදෑරුම් යැයි පවසමි. එනම් සේවනය කළ යුතු සිවුරකුත් තිබේ. සේවනය නොකළ යුතු සිවුරකුත් තිබේ’ වශයෙන් යමක් පවසන ලද්දේ නම් එය කුමක් සඳහා පවසන ලද්දේ ද? මෙහිලා ‘මවිසින් මේ චීවරය සේවනය කරන කල්හී අකුසල් දහම් වැඩෙයි. කුසල් දහම් පිරිහෙයි’ කියා යම් සිවුරක් ගැන දන්නේ නම් එබඳු වූ සිවුර සේවනය නොකළ යුතු ය. මෙහිලා ‘මවිසින් මේ චීවරය සේවනය කරන කල්හී කුසල් දහම් වැඩෙයි. අකුසල් දහම් පිරිහෙයි’ කියා යම් සිවුරක් ගැන දන්නේ නම් එබඳු වූ සිවුර සේවනය කළ යුතු ය. ‘මහණෙනි, මම් සිවුර ද දෙවැදෑරුම් යැයි පවසමි. එනම් සේවනය කළ යුතු සිවුරකුත් තිබේ. සේවනය නොකළ යුතු සිවුරකුත් තිබේ’ වශයෙන් යමක් පවසන ලද්දේ නම් එය පවසන ලද්දේ මේ සඳහා ය.

‘මහණෙනි, මම් පිණ්ඩපාතය ද දෙවැදෑරුම් යැයි පවසමි. එනම් සේවනය කළ යුතු පිණ්ඩපාතයකුත් තිබේ. සේවනය නොකළ යුතු පිණ්ඩපාතයකුත් තිබේ’ වශයෙන් යමක් පවසන ලද්දේ නම් එය කුමක් සඳහා පවසන ලද්දේ ද? මෙහිලා ‘මවිසින් මේ පිණ්ඩපාතය සේවනය කරන කල්හී අකුසල් දහම් වැඩෙයි. කුසල් දහම් පිරිහෙයි’ කියා යම් පිණ්ඩපාතයක් ගැන දන්නේ නම් එබඳු වූ පිණ්ඩපාතය සේවනය නොකළ යුතු ය. මෙහිලා ‘මවිසින් මේ පිණ්ඩපාතය සේවනය කරන කල්හී කුසල් දහම් වැඩෙයි. අකුසල් දහම් පිරිහෙයි’ කියා යම් පිණ්ඩපාතයක් ගැන දන්නේ නම් එබඳු වූ පිණ්ඩපාතය සේවනය කළ යුතු ය. ‘මහණෙනි, මම් පිණ්ඩපාතය ද දෙවැදෑරුම් යැයි පවසමි. එනම් සේවනය කළ යුතු පිණ්ඩපාතයකුත් තිබේ. සේවනය නොකළ යුතු පිණ්ඩපාතයකුත් තිබේ’ වශයෙන් යමක් පවසන ලද්දේ නම් එය පවසන ලද්දේ මේ සඳහා ය.

‘මහණෙනි, මම් සේනාසනය ද දෙවැදෑරුම් යැයි පවසමි. එනම් සේවනය කළ යුතු සේනාසනයකුත් තිබේ. සේවනය නොකළ යුතු සේනාසනයකුත් තිබේ’ වශයෙන් යමක් පවසන ලද්දේ නම් එය කුමක් සඳහා පවසන ලද්දේ ද? මෙහිලා ‘මවිසින් මේ සේනාසනය සේවනය කරන කල්හී අකුසල් දහම් වැඩෙයි. කුසල් දහම් පිරිහෙයි’ කියා යම් සේනාසනයක් ගැන දන්නේ නම් එබඳු වූ සේනාසනය සේවනය නොකළ යුතු ය. මෙහිලා ‘මවිසින් මේ සේනාසනය සේවනය කරන කල්හී කුසල් දහම් වැඩෙයි. අකුසල් දහම් පිරිහෙයි’ කියා යම් සේනාසනයක් ගැන දන්නේ නම් එබඳු වූ සේනාසනය සේවනය කළ යුතු ය. ‘මහණෙනි, මම් සේනාසනය ද දෙවැදෑරුම් යැයි පවසමි. එනම් සේවනය කළ යුතු සේනාසනයකුත් තිබේ. සේවනය නොකළ යුතු සේනාසනයකුත් තිබේ’ වශයෙන් යමක් පවසන ලද්දේ නම් එය පවසන ලද්දේ මේ සඳහා ය.

‘මහණෙනි, මම් ගම් නියම්ගම් ද දෙවැදෑරුම් යැයි පවසමි. එනම් සේවනය කළ යුතු ගම් නියම්ගම් ද තිබේ. සේවනය නොකළ යුතු ගම් නියම්ගම් ද තිබේ’ වශයෙන් යමක් පවසන ලද්දේ නම් එය කුමක් සඳහා පවසන ලද්දේ ද? මෙහිලා ‘මවිසින් මේ ගම් නියම්ගම් සේවනය කරන කල්හී අකුසල් දහම් වැඩෙයි. කුසල් දහම් පිරිහෙයි’ කියා යම් ගම් නියම්ගමක් ගැන දන්නේ නම් එබඳු වූ ගම් නියම්ගම් සේවනය නොකළ යුතු ය. මෙහිලා ‘මවිසින් මේ ගම් නියම්ගම් සේවනය කරන කල්හී කුසල් දහම් වැඩෙයි. අකුසල් දහම් පිරිහෙයි’ කියා යම් ගම් නියම්ගමක් ගැන දන්නේ නම් එබඳු වූ ගම් නියම්ගම් සේවනය කළ යුතු ය. ‘මහණෙනි, මම් ගම් නියම්ගම් ද දෙවැදෑරුම් යැයි පවසමි. එනම් සේවනය කළ යුතු ගම් නියම්ගම් ද තිබේ. සේවනය නොකළ යුතු ගම් නියම් ගම් ද තිබේ’ වශයෙන් යමක් පවසන ලද්දේ නම් එය පවසන ලද්දේ මේ සඳහා ය.

‘මහණෙනි, මම් ජනපද ප්‍රදේශ ද දෙවැදෑරුම් යැයි පවසමි. එනම් සේවනය කළ යුතු ජනපද ප්‍රදේශත් තිබේ. සේවනය නොකළ යුතු ජනපද ප්‍රදේශත් තිබේ’ වශයෙන් යමක් පවසන ලද්දේ නම් එය කුමක් සඳහා පවසන ලද්දේ ද? මෙහිලා ‘මවිසින් මේ ජනපද ප්‍රදේශය සේවනය කරන කල්හී අකුසල් දහම් වැඩෙයි. කුසල් දහම් පිරිහෙයි’ කියා යම් ජනපද ප්‍රදේශයක් ගැන දන්නේ නම් එබඳු වූ ජනපද ප්‍රදේශය සේවනය නොකළ යුතු ය. මෙහිලා ‘මවිසින් මේ ජනපද ප්‍රදේශය සේවනය කරන කල්හී කුසල් දහම් වැඩෙයි. අකුසල් දහම් පිරිහෙයි’ කියා යම් ජනපද ප්‍රදේශයක් ගැන දන්නේ නම් එබඳු වූ ජනපද ප්‍රදේශ ය සේවනය කළ යුතු ය. ‘මහණෙනි, මම් ජනපද ප්‍රදේශය ද දෙවැදෑරුම් යැයි පවසමි. එනම් සේවනය කළ යුතු ජනපද ප්‍රදේශත් තිබේ. සේවනය නොකළ යුතු ජනපද ප්‍රදේශත් තිබේ’ වශයෙන් යමක් පවසන ලද්දේ නම් එය පවසන ලද්දේ මේ සඳහා ය.

‘මහණෙනි, මම් පුද්ගලයා ද දෙවැදෑරුම් යැයි පවසමි. එනම් සේවනය කළ යුතු පුද්ගලයෙක් ද සිටියි. සේවනය නොකළ යුතු පුද්ගලයෙක් ද සිටියි’ වශයෙන් යමක් පවසන ලද්දේ නම් එය කුමක් සඳහා පවසන ලද්දේ ද? මෙහිලා ‘මවිසින් මේ පුද්ගලයා සේවනය කරන කල්හී අකුසල් දහම් වැඩෙයි. කුසල් දහම් පිරිහෙයි’ කියා යම් පුද්ගලයෙක් ගැන දන්නේ නම් එබඳු වූ පුද්ගලයා සේවනය නොකළ යුතු ය. මෙහිලා ‘මවිසින් මේ පුද්ගලයා සේවනය කරන කල්හී කුසල් දහම් වැඩෙයි. අකුසල් දහම් පිරිහෙයි’ කියා යම් පුද්ගලයෙක් ගැන දන්නේ නම් එබඳු වූ පුද්ගලයා සේවනය කළ යුතු ය. ‘මහණෙනි, මම් පුද්ගලයා ද දෙවැදෑරුම් යැයි පවසමි. එනම් සේවනය කළ යුතු පුද්ගලයෙක් සිටියි. සේවනය නොකළ යුතු පුද්ගලයෙකුත් සිටියි’ වශයෙන් යමක් පවසන ලද්දේ නම් එය පවසන ලද්දේ මේ සඳහා ය.

සාදු! සාදු!! සාදු!!!

සමථ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M