අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.2.1.3. ඨිති සුත්තං

10.2.1.3. කුසල් දහම් තිබීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය…….

“මහණෙනි, මම් කුසල් දහම් පිළිබඳ ව හුදෙක් තිබීම මම වර්ණනා නොකරමි. පරිහානිය ගැන කවර කථා ද? මහණෙනි, මම් කුසල් දහම් හි දියුණුව වර්ණනා කරමි. තිබීම හෝ පරිහානිය හෝ වර්ණනා නොකරමි.

මහණෙනි, කුසල් දහම් පිළිබඳ ව තිබීමකුත් නොවී, දියුණුවකුත් නොවී හානිය වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් සහ වැටහෙන නුවණින් යම් පමණකින් යුක්ත වෙයි ද, ඔහු තුළ ඒ කුසල් දහම් නොපිහිටා තිබෙයි ද, නොදියුණු වෙයි ද, මහණෙනි, මෙය ඒ කුසල් දහම්වල හානිය යැයි කියමි. තිබීමකුත් නොවෙයි. දියුණුවකුත් නොවෙයි.

මහණෙනි, කුසල් දහම් පිළිබඳ ව හානියකුත් නොවී, දියුණුවකුත් නොවී තිබීම වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් සහ වැටහෙන නුවණින් යම් පමණකින් යුක්ත වෙයි ද, ඔහු තුළ ඒ කුසල් දහම්වලට හානි නොවී තිබෙයි. නමුත් නොදියුණු වෙයි. මහණෙනි, මෙය ඒ කුසල් දහම්වල තිබීම යැයි කියමි. හානියකුත් නොවෙයි. දියුණුවකුත් නොවෙයි. මහණෙනි, මේ අයුරිනුයි කුසල් දහම්හි තිබීම වන්නේ. දියුණුවකුත් නොවෙයි. හානියකුත් නොවෙයි.

මහණෙනි, කුසල් දහම් පිළිබඳ ව තිබීමකුත් නොවී, හානියකුත් නොවී දියුණුවකට පත්වන්නේ කෙසේද? මහණෙනි, මෙහිලා භික්ෂුව ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් සහ වැටහෙන නුවණින් යම් පමණකින් යුක්ත වෙයි ද, ඔහු තුළ ඒ කුසල් දහම් එකතැන පිහිටා නොතිබෙයි. හානි ද නොවෙයි. මහණෙනි, මෙය ඒ කුසල් දහම්වල දියුණුව යැයි කියමි. තිබීමකුත් නොවේ. හානියකුත් නොවේ. මහණෙනි, මේ අයුරිනුයි කුසල් දහම් හි දියුණුව වන්නේ. තිබීමකුත් නොවෙයි. හානියකුත් නොවෙයි.

ඉදින් මහණෙනි, භික්ෂුවක් අනුන්ගේ සිත දකින්නට දක්ෂ නොවෙයි නම්, එකල තමන්ගේ සිත දකින්නට දක්ෂ වන්නෙමි’යි මහණෙනි, මේ අයුරින් ඔබ හික්මිය යුත්තේ ය.

මහණෙනි, භික්ෂුවක් තමන්ගේ සිත දකින්නට දක්ෂ වන්නේ කෙසේ ද? මහණෙනි, එය මෙබඳු දෙයකි. යොවුන් වූ තරුණ වූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සැරසෙනු කැමති ව පිරිසිදු කැඩපතක් ළඟට යයි. නැත්නම් පිරිසිදු දිය බඳුනක් ළඟට යයි. තමාගේ මුව මඬල හොඳින් විමසා බලයි. ඉදින් තමාගේ මුවෙහි කිසියම් කිළුටක් හෝ කැළලක් හෝ තිබේ නම් ඒ කිළුට හෝ කැළල හෝ නැති කර දැමීමට වෑයම් කරයි. ඉදින් තමාගේ මුවෙහි කිළුටක් හෝ කැළලක් හෝ නොදකියි නම් ඒ හේතුවෙන් සතුටු සිත් ඇත්තේ වේ. පිරිපුන් සංකල්ප ඇත්තේ වෙයි. ‘සැබැවින් ම මට ලාභයකි. සැබැවින් ම මගේ මුව මඬල පිරිසිදු ය’ වශයෙනි.

ඔය අයුරින් ම මහණෙනි, කුසල් දහම් පිළිබඳ ව නුවණින් විමසන්නා වූ භික්ෂුවට බොහෝ උපකාර ලැබෙන්නේ ය. ‘මම් බහුල ව ලෝභයෙන් යුතු ව වාසය කරන්නෙම් ද? මම් බහුල ව ලෝභ රහිත ව වාසය කරන්නෙම් ද? මම් ද්වේෂ සිතින් බහුල ව වසන්නෙම් ද? මම් ද්වේෂ රහිත සිතින් බහුල ව වසන්නෙම් ද? මම් බහුල ව ථීනමිද්ධයට යට වී වසන්නෙම් ද? මම් බහුල ව ථීනමිද්ධ රහිත ව වසන්නෙම් ද? මම් බහුල ව උද්ධච්චයෙන් වසන්නෙම් ද? මම් බහුල ව උද්ධච්ච රහිත ව වසන්නෙම් ද? මම් බහුල ව සැකයෙන් වසන්නෙම් ද? මම් බහුල ව සැකයෙන් තොර ව වසන්නෙම් ද? මම් බහුල ව ක්‍රෝධයෙන් වසන්නෙම් ද? මම් බහුල ව ක්‍රෝධ රහිත ව වසන්නෙම් ද? මම් බහුල ව කිළුටු සිතින් වසන්නෙම් ද? මම් බහුල ව නොකිලිටි සිතින් වසන්නෙම් ද? මම් බහුල ව කායික පීඩායෙන් වසන්නෙම් ද? මම් බහුල ව කාය පීඩා රහිත ව වසන්නෙම් ද? මම් බහුල ව කුසීතව වසන්නෙම් ද? මම් බහුල ව පටන්ගත් වීර්යයෙන් යුතුව වසන්නෙම් ද? මම් බහුල ව එකඟ නොවූ සිතින් වසන්නෙම් ද? මම් බහුල ව සමාධිමත් සිතින් වසන්නෙම් දැයි.

ඉදින් මහණෙනි, භික්ෂුව නුවණින් විමසද්දී මෙසේ දැනගන්නේ නම්, එනම් ‘මම් බහුල ව වාසය කරන්නේ ලෝභයෙන් යුතු ව යි. මම් ද්වේෂ සිතින් බහුල ව වසන්නෙමි. මම් බහුලව ථීනමිද්ධයට යට වී වසන්නෙමි. මම් බහුල ව උද්ධච්චයෙන් වසන්නෙමි. මම් බහුල ව සැකයෙන් වසන්නෙමි. මම් බහුල ව ක්‍රෝධයෙන් වසන්නෙමි. මම් බහුල ව කිළුටු සිතින් වසන්නෙමි. මම් බහුල ව කායික පීඩායෙන් වසන්නෙමි. මම් බහුල ව කුසීතව වසන්නෙමි. මම් බහුල ව එකඟ නොවූ සිතින් වසන්නෙමි’යි. මහණෙනි, එවිට ඒ භික්ෂුව විසින් තමා තුළ ඇති ඒ පාපී අකුසල් දහම් ප්‍රහාණය කිරීම පිණිස ඉතා බලවත් වූ කැමැත්තක් ද, වීර්යයක් ද, උත්සාහයක් ද, බලවත් උත්සාහයක් ද, නොපසුබස්නා උත්සාහයක් ද, සිහියක් ද, නුවණක් ද පැවැත්වීමට කටයුතු කළ යුත්තේ ය. මහණෙනි, වස්ත්‍රය ගිනි ගත් කෙනෙක් හෝ හිස ගිනි ගත් කෙනෙක් හෝ ඔහුගේ ගිනි ඇවිලෙන වස්ත්‍රය හෝ ගිනි ඇවිලෙන හිස හෝ නිවා ගැනීම පිණිස අධිමාත්‍ර වූ කැමැත්තකුත්, වීර්යයකුත්, උත්සාහයකුත්, බලවත් උත්සාහයකුත්, නොපසුබස්නා උත්සාහයකුත්, සිහියකුත්, නුවණකුත් ඇති කරගන්නේ යම් සේ ද, ඒ අයුරින් ම මහණෙනි, ඒ භික්ෂුව විසින් තමා තුළ ඇති ඒ පාපී අකුසල් දහම් ප්‍රහාණය කිරීම පිණිස ඉතා බලවත් වූ කැමැත්තක් ද, වීර්යයක් ද, උත්සාහයක් ද, බලවත් උත්සාහයක් ද, නොපසුබස්නා උත්සාහයක් ද, සිහියක් ද, නුවණක් ද පැවැත්වීමට කටයුතු කළ යුත්තේ ය.

ඉදින් මහණෙනි, ඒ භික්ෂුව තමා පිළිබඳව එසේ නුවණින් විමසන කල්හී මෙලෙස දන්නේ නම්, ‘මම් ලෝභයෙන් තොර ව බහුල ව වසමි. තරහ නැති සිතින් බහුල ව වසමි. ථීනමිද්ධයෙන් තොර ව බහුල ව වසමි. උද්ධච්චයෙන් තොර ව බහුල ව වසමි. එතෙර වූ සැකයෙන් යුතු ව බහුල ව වසමි. ක්‍රෝධ නැති ව බහුල ව වසමි. නොකිලිටි සිතින් බහුල ව වසමි. පීඩා රහිත කයෙන් බහුල ව වසමි. පටන් ගත් වීර්යයෙන් බහුල ව වසමි. සමාධිමත් සිතින් බහුල ව වසමි’යි. එවිට මහණෙනි, ඒ භික්ෂුව විසින් තමා තුළ ඇති ඒ කුසල් දහම් මත පිහිටා තවදුරටත් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිණිස උත්සාහ කළ යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

ඨිති සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M