සැවැත් නුවර දී ය ………..
“මහණෙනි, මෙම දස කරුණ පැවිද්දහු විසින් නිතර මෙනෙහි කළ යුත්තේ ය. ඒ කවර දස කරුණක් ද යත්;
1. ‘මම් දුර්වර්ණභාවයට පැමිණියෙම් වෙමි’ යි පැවිද්දහු විසින් නිතර මෙනෙහි කළ යුත්තේ ය.
2. ‘මාගේ ජීවත්වීම අන්‍යයන්ගේ සිව්පසය හා බැඳී තිබෙන්නේ’ යැයි පැවිද්දහු විසින් නිතර මෙනෙහි කළ යුත්තේ ය.
3. ‘මා විසින් පැවිද්දන්ට ගැලපෙන අන්‍ය වූ ආකල්පයක් ඇතිව සිටිය යුතු’ යැයි පැවිද්දහු විසින් නිතර මෙනෙහි කළ යුත්තේ ය.
4. ‘කිම? මාගේ සිත සීලය හේතුවෙන් මට චෝදනා නොකරන්නේ දැ’යි පැවිද්දහු විසින් නිතර මෙනෙහි කළ යුත්තේ ය.
5. ‘කිම? නුවණැති සබ්‍රහ්මචාරීහු කරුණු සහිත ව මා හට සීලයෙන් චෝදනා නොකරන්නාහු දැ’යි පැවිද්දහු විසින් නිතර මෙනෙහි කළ යුත්තේ ය.
6. ‘මා හට ප්‍රිය වූ මනාප වූ සියළු දැයෙහි වෙනස් වෙනස් ස්වභාවයන්ට පත් වීම, විනාශයට පත්වීම තිබෙන්නේ යැ’යි පැවිද්දහු විසින් නිතර මෙනෙහි කළ යුත්තේ ය.
7. ‘මා කරන ලද දෙයින් ඇතිවන විපාකය මා සතු දේ වශයෙන් ඇති ව සිටින කෙනෙක්මි. මා කරන ක්‍රියාව ම දායාදය කොට සිටින කෙනෙක්මි. මාගේ ක්‍රියාව මා උපදින තැන තීරණය කරන ස්වභාවයෙන් යුතු වෙමි. මාගේ ක්‍රියාව ම ඥාතියා කොට වසමි. කර්මය පිළිසරණ කොට වසමි. කල්‍යාණ වූ හෝ පාපී වූ හෝ යම් ක්‍රියාවක් කරන්නෙම් ද, එහි ඵලය දායාදය කරගන්නෙක් වෙමි’ යි පැවිද්දහු විසින් නිතර මෙනෙහි කළ යුත්තේ ය.
8. ‘කෙබඳු අයුරින් ගත කරන මට රාත්‍රිය ත්, දහවල ත් ඉක්ම යන්නේ දැ’යි පැවිද්දහු විසින් නිතර මෙනෙහි කළ යුත්තේ ය.
9. ‘කිම? මම් ධර්මයේ හැසිරීමට යෝග්‍ය වූ ජනශූන්‍ය තැනක සිත් අලවා වසන්නෙක් වෙම් දැ’යි පැවිද්දහු විසින් නිතර මෙනෙහි කළ යුත්තේ ය.
10. ‘මා විසින් සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවා ගිය ආර්ය වූ ඥානදර්ශන විශේෂයක් අත්පත් කරගෙන ඇත්තේ දැයි ඒ මම් අවසාන කාලයෙහි සබ්‍රහ්මචාරීන් වහන්සේලා විසින් විමසන ලද්දෙම් නම් තේජස් රහිත ව මුව යටට හරවා නොසිටින්නෙමි යි පැවිද්දහු විසින් නිතර මෙනෙහි කළ යුත්තේ ය.
මහණෙනි, පැවිද්දහු විසින් නිතර මෙනෙහි කළ යුතු දස කරුණ නම් මේවා ය.
සාදු! සාදු!! සාදු!!!
දසධම්ම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M