අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.1.5.7. මහාලි සුත්තං

10.1.5.7. මහාලි ලිච්ඡවි රජුට වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ විශාලායෙහි මහා වනයෙහි කූටගාර ශාලාවෙහි වැඩවසන සේක. එකල්හී මහාලි ලිච්ඡවී රජු භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස්ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් මහාලි ලිච්ඡවී රජු භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවේ ය.

“ස්වාමීනී, පාප කර්මයක් කිරීමට හෝ වේවා, පාප කර්මයක් පැවැත්වීමට හෝ වේවා හේතුවන දෙය කුමක් ද? ප්‍රත්‍යය වන දෙය කුමක් ද?”

“මහාලි, පාප කර්මයක් කිරීමට හෝ වේවා, පාප කර්මයක් පැවැත්වීමට හෝ වේවා ලෝභය හේතු වන්නේ ය. ලෝභය ප්‍රත්‍යය වන්නේ ය. මහාලි, පාප කර්මයක් කිරීමට හෝ වේවා, පාප කර්මයක් පැවැත්වීමට හෝ වේවා ද්වේෂය හේතු වන්නේ ය. ද්වේෂය ප්‍රත්‍යය වන්නේ ය. මහාලි, පාප කර්මයක් කිරීමට හෝ වේවා, පාප කර්මයක් පැවැත්වීමට හෝ වේවා මෝහය හේතු වන්නේ ය. මෝහය ප්‍රත්‍යය වන්නේ ය. මහාලි, පාප කර්මයක් කිරීමට හෝ වේවා, පාප කර්මයක් පැවැත්වීමට හෝ වේවා නුවණින් තොර ව මෙනෙහි කිරීම හේතු වන්නේ ය. නුවණින් තොර ව මෙනෙහි කිරීම ප්‍රත්‍යය වන්නේ ය. මහාලි, පාප කර්මයක් කිරීමට හෝ වේවා, පාප කර්මයක් පැවැත්වීමට හෝ වේවා වැරදි ලෙස සිත පිහිටුවා තිබීම හේතු වන්නේ ය. වැරදි ලෙස සිත පිහිටුවා තිබීම ප්‍රත්‍යය වන්නේ ය. මහාලි, පාප කර්මයක් කිරීමට හෝ වේවා, පාප කර්මයක් පැවැත්වීමට හෝ වේවා හේතු වන්නේ මෙයයි. ප්‍රත්‍යය වන්නේ මෙය යි.”

“ස්වාමීනී, කල්‍යාණ කර්මයක් කිරීමට හෝ වේවා, කල්‍යාණ කර්මයක් පැවැත්වීමට හෝ වේවා හේතුවන දෙය කුමක් ද? ප්‍රත්‍යය වන දෙය කුමක් ද?”

“මහාලි, කල්‍යාණ කර්මයක් කිරීමට හෝ වේවා, කල්‍යාණ කර්මයක් පැවැත්වීමට හෝ වේවා අලෝභය හේතු වන්නේ ය. අලෝභය ප්‍රත්‍යය වන්නේ ය. මහාලි, කල්‍යාණ කර්මයක් කිරීමට හෝ වේවා, කල්‍යාණ කර්මයක් පැවැත්වීමට හෝ වේවා අද්වේෂය හේතු වන්නේ ය. අද්වේෂය ප්‍රත්‍යය වන්නේ ය. මහාලි, කල්‍යාණ කර්මයක් කිරීමට හෝ වේවා, කල්‍යාණ කර්මයක් පැවැත්වීමට හෝ වේවා අමෝහය හේතු වන්නේ ය. අමෝහය ප්‍රත්‍යය වන්නේ ය. මහාලි, කල්‍යාණ කර්මයක් කිරීමට හෝ වේවා, කල්‍යාණ කර්මයක් පැවැත්වීමට හෝ වේවා නුවණින් යුක්ත ව මෙනෙහි කිරීම හේතු වන්නේ ය. නුවණින් යුක්ත ව මෙනෙහි කිරීම ප්‍රත්‍යය වන්නේ ය. මහාලි, කල්‍යාණ කර්මයක් කිරීමට හෝ වේවා, කල්‍යාණ කර්මයක් පැවැත්වීමට හෝ වේවා නිවැරදි ලෙස සිත පිහිටුවා තිබීම හේතු වන්නේ ය. නිවැරදි ලෙස සිත පිහිටුවා තිබීම ප්‍රත්‍යය වන්නේ ය.

මහාලි, කල්‍යාණ කර්මයක් කිරීමට හෝ වේවා, කල්‍යාණ කර්මයක් පැවැත්වීමට හෝ වේවා හේතු වන්නේ මෙය යි. ප්‍රත්‍යය වන්නේ මෙය යි.

මහාලි, ලොවෙහි මෙම දස ධර්මයෝ නොතිබුණාහු නම් අධර්ම චරියා, විසම චරියා හෝ දක්නට නොලැබෙන්නේ ය. ධර්ම චරියා, සම චරියා හෝ දක්නට නොලැබෙන්නේ ය. මහාලි, යම් හෙයකින් මේ දස ධර්මයෝ ලෝකයෙහි තිබෙත් ද, එහෙයින් ම අධර්ම චරියා, විසම චරියා දක්නට ලැබෙන්නේ ය. ධර්ම චරියා, සම චරියා ද දක්නට ලැබෙන්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

මහාලි සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-5-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M