අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.1.5.4. කුසිනාරා සුත්තං

10.1.5.4. කුසිනාරායෙහිදී වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කුසිනාරායෙහි බලිහරණ නම් වන ලැහැබෙහි වැඩවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. ‘පින්වතුන් වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, අනුන්ට චෝදනා කරනු කැමති චෝදක භික්ෂුව විසින් පස් කරුණක් තමා තුළ ඇත්දැයි නුවණින් විමසා පස් කරුණක් තමා තුළ පිහිටුවා ගෙන අන්‍යයන් හට චෝදනා කළ යුතුය. ඒ කවර පස් කරුණක් තමා තුළ ඇත්දැයි නුවණින් විමසිය යුතු ද?

“මහණෙනි, අනුන්ට චෝදනා කරනු කැමති චෝදක භික්ෂුව විසින් නුවණින් විමසිය යුත්තේ මේ අයුරිනි. ‘මම් වනාහී පිරිසිදු වූ කායික ක්‍රියාවන් ඇති කෙනෙක් වෙම් ද? පිරිසිදු කායික ක්‍රියාවෙන් යුක්ත වූ මා තුළ සිදුරු නැත්තේ වෙයි ද? කෙනෙකුට චෝදනා කළ හැකි වරදින් තොර වූයේ වෙයි ද? මේ කරුණ මා තුළ තිබේ ද? නොතිබේදැ’යි නුවණින් විමසිය යුතු ය. ඉදින් මහණෙනි, ඒ භික්ෂුව පිරිසිදු කායික ක්‍රියාවෙන් නොසිටියේ නම්, සිදුරු රහිත වූ, අන්‍යයන්ගේ චෝදනාවට පාත්‍ර නොවන්නා වූ පිරිසිදු කායික ක්‍රියාවෙන් යුක්ත ව නොසිටියේ නම් ඔහුට මෙලෙස පවසන්නෝ සිටිති. ‘එම්බා ආයුෂ්මත, තමන් පළමුව කායික ව සංවර වෙනු’යි මෙලෙස ඔහු හට පවසන්නෝ වෙත් ම ය.

තව ද මහණෙනි, අනුන්ට චෝදනා කරනු කැමති චෝදක භික්ෂුව විසින් නුවණින් විමසිය යුත්තේ මේ අයුරිනි. ‘මම් වනාහී පිරිසිදු වූ වාචසික ක්‍රියාවන් ඇති කෙනෙක් වෙම් ද? පිරිසිදු වාචසික ක්‍රියාවෙන් යුක්ත වූ මා තුළ සිදුරු නැත්තේ වෙයි ද? කෙනෙකුට චෝදනා කළ හැකි වරදින් තොර වූයේ වෙයි ද? මේ කරුණ මා තුළ තිබේ ද? නොතිබේදැ’යි නුවණින් විමසිය යුතුය. ඉදින් මහණෙනි, ඒ භික්ෂුව පිරිසිදු වාචසික ක්‍රියාවෙන් නොසිටියේ නම්, සිදුරු රහිත වූ, අන්‍යයන්ගේ චෝදනාවට පාත්‍ර නොවන්නා වූ පිරිසිදු වාචසික ක්‍රියාවෙන් යුක්ත ව නොසිටියේ නම් ඔහුට මෙලෙස පවසන්නෝ සිටිති. ‘එම්බා ආයුෂ්මත, තමන් පළමුව වචනයෙන් සංවර වෙනු’යි මෙලෙස ඔහු හට පවසන්නෝ වෙත් ම ය.

තව ද මහණෙනි, අනුන්ට චෝදනා කරනු කැමති චෝදක භික්ෂුව විසින් නුවණින් විමසිය යුත්තේ මේ අයුරිනි. ‘මාගේ මෛත්‍රී චිත්තය සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි වෛර රහිත ව පවතින්නේ වෙයි ද, මේ මෛත්‍රී ධර්මය මා තුළ තිබේ ද? නොතිබේදැ’යි නුවණින් විමසිය යුතු ය. ඉදින් මහණෙනි, ඒ භික්ෂුවගේ මෛත්‍රී චිත්තය සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි වෛර රහිත ව පිහිටා නැත්නම් ඔහුට මෙලෙස පවසන්නෝ සිටිති. ‘එම්බා ආයුෂ්මත, පළමුව සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි මෛත්‍රී චිත්තය පිහිටුවා ගනු’ යි මෙලෙස ඔහු හට පවසන්නෝ වෙත් ම ය.

තව ද මහණෙනි, අනුන්ට චෝදනා කරනු කැමති චෝදක භික්ෂුව විසින් නුවණින් විමසිය යුත්තේ මේ අයුරිනි. ‘මම් බහුශ්‍රැත වූ කෙනෙක් ද? ඇසූ ධර්මය දරන්නා වූ ත්, ධර්මය සිතෙහි රැස් කරගත්තා වූ ත් කෙනෙක් වෙම් ද? යම් ධර්මයක් මුල කල්‍යාණ වූ ත්, මැද කල්‍යාණ වූ ත්, අවසානය කල්‍යාණ වූ ත්, අර්ථ සහිත වූ ත්, ව්‍යංජන සහිත වූ ත්, මුළුමනින් ම පිරිපුන්, පිරිසිදු නිවන් මග පවසන්නේ වෙයි ද, එබඳු වූ ධර්මය මා විසින් බොහෝ සෙයින් අසන ලද්දේ ය. දරන ලද්දේ ය. වචනයෙන් පිරිවහන ලද්දේ ය. මනසින් තේරුම් ගන්නා ලද්දේ ය. නුවණින් අවබෝධ කරගන්නා ලද්දේ ය යන මේ කරුණ මා තුළ තිබේද? නොතිබේදැ’යි නුවණින් විමසිය යුතු ය. මහණෙනි, ඉදින් යම්හෙයකින් ඒ භික්ෂුව බහුශ්‍රැත නොවේ නම්, සුතධර, සුත සන්නිචය නොවේ නම් මුල, මැද, අග කල්‍යාණ වූ, අර්ථ ව්‍යංජන සහිත වූ, මුළුමනින් ම පිරිපුන්, පිරිසිදු නිවන් මග විස්තර වන යම් ධර්මයක් ඇද්ද, ඒ ධර්මය බොහෝ කොට නොඅසන ලද්දේ නම් එබඳු වූ ධර්මය ඔහු විසින් නොදරා ගන්නා ලද්දේ නම්, වචනයෙන් නුපුහුණු කරන ලද්දේ නම්, මනසින් නොවිමසන ලද්දේ නම්, නුවණින් අවබෝධ නොකරන ලද්දේ නම්, ඔහුට මෙලෙස පවසන්නෝ සිටිති. ‘එම්බා ආයුෂ්මත, පළමුව ධර්මය ඉගෙන ගනු’ යි මේ අයුරින් ඔහුට පවසන්නෝ වෙත් ම ය.

තව ද මහණෙනි, අනුන්ට චෝදනා කරනු කැමති චෝදක භික්ෂුව විසින් නුවණින් විමසිය යුත්තේ මේ අයුරිනි. ‘උභය ප්‍රාතිමෝක්ෂයෝ මා විසින් විස්තර වශයෙන් යහපත් ලෙස පිළිගන්නා ලද්දාහු ද? සූත්‍ර වශයෙන් ද, අනුව්‍යංජන වශයෙන් ද මනාකොට බෙදා මනාකොට පවත්වා මනාකොට සුනිශිත කරන ලද්දාහු ද, මේ ධර්මය මා තුළ තිබේ ද? නොතිබේ දැ’යි මහණෙනි, ඉදින් යම් හෙයකින් භික්ෂුව උභය ප්‍රාතිමෝක්ෂයෝ විස්තර වශයෙන් යහපත් ලෙස නොපිළිගන්නා ලද්දාහු, සූත්‍ර වශයෙන් ද, අනුව්‍යංජන වශයෙන් ද මනාකොට බෙදා මනාකොට පවත්වා මනාකොට සුනිශිත නොකරන ලද්දාහු, එකල්හී ‘ආයුෂ්මතුනි, මෙකරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් කොතැනදී වදාරණ ලද්දේ ද?’ මෙසේ ඇසූ කල්හී කරුණු සපයා ගත නොහැකි වන්නේ ය. එවිට ඔහුට මෙසේ පවසන්නෝ සිටිති. ‘එම්බා ආයුෂ්මත, පළමුව විනයෙහි හික්මෙනු’ යි මේ අයුරින් ඔහු හට පවසන්නෝ වෙත් ම ය. මහණෙනි, තමා තුළින් නුවණින් විමසා බැලිය යුතු පස් කරුණ මෙය යි.

මහණෙනි, තමා තුළ පිහිටුවා ගත යුතු පස් කරුණ කුමක් ද? එනම් ‘මම් සුදුසු කාලය බලා කියමි, නොකල්හී නොකියමි. සත්‍ය කරුණකින් කියමි, අසත්‍ය කරුණකින් නොකියමි. මොලොක් වචනයෙන් කියමි, දරුණු වචනයෙන් නොකියමි. යහපත සළසනු පිණිස කියමි, අයහපත සළසනු පිණිස නොකියමි. මෛත්‍රී සිතින් කියමි, ද්වේෂ සිතින් නොකියමි’ යි මේ පස් කරුණ තමා තුළ පිහිටුවා ගත යුත්තේ ය.

මහණෙනි, අනුන්ට චෝදනා කරනු කැමති චෝදක භික්ෂුව තමා තුළ පස් කරුණ ප්‍රත්‍යවෙක්ෂා කරමින් ද, තමා තුළ මේ පස් කරුණ පිහිටුවා ගනිමින් ද අනුන්ට චෝදනා කළ යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

කුසිනාරා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M