සැවැත් නුවර දී ය ………..
“මහණෙනි, රජුගේ අන්තඃපුරයට ඇතුළු වීමෙහි අනතුරු දහයක් තිබේ. කවර දසයෙක් ද යත්;
1. මහණෙනි, මෙහිලා රජු මෙහෙසිය සමඟ වාඩි වී සිටියේ වෙයි. එකල්හී එතැනට භික්ෂුවක් පිවිසෙයි. රාජමහේෂිකාව භික්ෂුව දැක සිනහ පහළ කරන්නී හෝ වෙයි. භික්ෂුව හෝ මෙහෙසිය දැක සිනහ පහළ කරයි. එවිට රජුට මෙසේ සිතෙයි. ‘සැබැවින් ම මොවුන් විසින් නොකළ යුතු දැයක් කරන ලද්දේ හෝ වෙයි ද? කරන්නේ හෝ වෙයි ද?’ යි. මහණෙනි, මෙය රාජ අන්තඃපුර ප්‍රවේශයෙහි ඇති පළමුවෙනි අනතුර යි.
2. තව ද මහණෙනි, රජු බොහෝ කෘත්‍ය ඇති හෙයින්, කළ යුතු බොහෝ දෑ ඇති හෙයින් අන්තඃපුරයෙහි වෙනත් ස්ත්‍රියක ළඟට ගොස් ඒ බව අමතක වෙයි. ඕ එයින් ගර්භනී වෙයි. එකල්හී රජුට මෙසේ සිතෙයි. ‘මෙහි පැවිද්දෙකු හැර අන්‍ය වූ වෙන කෙනෙක් නොපිවිසෙයි. මෙය පැවිද්දෙකුගේ කටයුත්තෙක් දැ’යි. මහණෙනි, මෙය රාජ අන්තඃපුර ප්‍රවේශයෙහි ඇති දෙවෙනි අනතුර යි.
3. තව ද මහණෙනි, රජුගේ අන්තඃපුරයෙහි එක්තරා මාණික්‍යයක් නැති වෙන්නේ ය. එවිට රජුට මෙසේ සිතෙයි. ‘මෙහි පැවිද්දෙකු හැර අන්‍ය වූ වෙන කෙනෙක් නොපිවිසෙයි. මෙය පැවිද්දෙකුගේ කටයුත්තෙක් දැ’යි. මහණෙනි, මෙය රාජ අන්තඃපුර ප්‍රවේශයෙහි ඇති තුන්වෙනි අනතුර යි.
4. තව ද මහණෙනි, රජුගේ අන්තඃපුරයෙහි අභ්‍යන්තර රහස් සාකච්ඡා බාහිර ලෝකයට ත් දැනගන්නට ලැබෙයි. එවිට රජුට මෙසේ සිතෙයි. ‘මෙහි පැවිද්දෙකු හැර අන්‍ය වූ වෙන කෙනෙක් නොපිවිසෙයි. මෙය පැවිද්දෙකුගේ කටයුත්තෙක් දැ’යි. මහණෙනි, මෙය රාජ අන්තඃපුර ප්‍රවේශයෙහි ඇති සිව්වෙනි අනතුර යි.
5. තව ද මහණෙනි, රජුගේ අන්තඃපුරයෙහි පියා හෝ පුතු වැනසීමට සැලසුම් කරයි. පුතු හෝ පියා වැනසීමට සැළසුම් කරයි. එවිට ඔවුන්ට මෙසේ සිතෙයි. ‘මෙහි පැවිද්දෙකු හැර අන්‍ය වූ වෙන කෙනෙක් නොපිවිසෙයි. මෙය පැවිද්දෙකුගේ කටයුත්තෙක් දැ’යි. මහණෙනි, මෙය රාජ අන්තඃපුර ප්‍රවේශයෙහි ඇති පස්වෙනි අනතුර යි.
6. තව ද මහණෙනි, රජු පහළ තැනක සිටි කෙනෙක් ඉහළ තැනක තබවයි. යම් කෙනෙකුන් තුළ ඒ ගැන අමනාපයක් ඇතිවෙයි ද, ඔවුන්ට මෙසේ සිතෙයි. ‘රජු පැවිද්දහු සමඟ ඉතා සමීපව සිටී. මෙය පැවිද්දෙකුගේ කටයුත්තෙක් දැ’යි. මහණෙනි, මෙය රාජ අන්තඃපුර ප්‍රවේශයෙහි ඇති හයවෙනි අනතුර යි.
7. තව ද මහණෙනි, රජු ඉහළ තැනක සිටි කෙනෙක් පහළ තැනක තබවයි. යම් කෙනෙකුන් තුළ ඒ ගැන අමනාපයක් ඇතිවෙයි ද, ඔවුන්ට මෙසේ සිතෙයි. ‘රජු පැවිද්දහු සමඟ ඉතා සමීපව සිටී. මෙය පැවිද්දෙකුගේ කටයුත්තෙක් දැ’යි. මහණෙනි, මෙය රාජ අන්තඃපුර ප්‍රවේශයෙහි ඇති හත්වෙනි අනතුර යි.
8. තව ද මහණෙනි, රජු නුසුදුසු කාලයෙහි යුද්ධය පිණිස සේනාව මෙහෙයවයි. යම් කෙනෙකුන් තුළ ඒ ගැන අමනාපයක් ඇතිවෙයි ද, ඔවුන්ට මෙසේ සිතෙයි. ‘රජු පැවිද්දහු සමඟ ඉතා සමීප ව සිටී. මෙය පැවිද්දෙකුගේ කටයුත්තෙක් දැ’යි. මහණෙනි, මෙය රාජ අන්තඃපුර ප්‍රවේශයෙහි ඇති අටවෙනි අනතුර යි.
9. තව ද මහණෙනි, රජු සුදුසු කාලයෙහි යුද්ධය පිණිස සේනාව මෙහෙයවා අතරමගින් එය නවත්වාලයි. යම් කෙනෙකුන් තුළ ඒ ගැන අමනාපයක් ඇතිවෙයි ද, ඔවුන්ට මෙසේ සිතෙයි. ‘රජු පැවිද්දහු සමඟ ඉතා සමීප ව සිටී. මෙය පැවිද්දෙකුගේ කටයුත්තෙක් දැ’යි. මහණෙනි, මෙය රාජ අන්තඃපුර ප්‍රවේශයෙහි ඇති නවවෙනි අනතුර යි.
10. තව ද මහණෙනි, රජුගේ අන්තඃපුරයෙහි ඇතුන්ගේ ඝෝෂාව ද, අශ්වයින්ගේ ඝෝෂාව ද, රථයන්ගේ ඝෝෂාව ද ඇත්තේ ය. එමෙන් ම පැවිද්දන්ට අගෝචර වූ කෙලෙස් හටගන්නා යම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයෝ ඇත්තාහු ය. මහණෙනි, මෙය රාජ අන්තඃපුර ප්‍රවේශයෙහි ඇති දසවෙනි අනතුර යි.
මහණෙනි, රජුගේ අන්තඃපුරයට ඇතුළු වීමෙහි මේ අනතුරු දහය තිබෙන්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
රාජන්තේපුරප්පවේසන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-5-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M