අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.1.4.9. පඨම ආනන්ද සුත්තං

10.1.4.9. ආනන්ද තෙරුන්ට වදාළ පළමු දෙසුම

සැවැත් නුවර දී ය ………..

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළහ.

“ස්වාමීනී, ‘සංඝභේදය, සංඝභේදය’ යැයි කියනු ලැබේ. කවර කරුණු මත සංඝයා බිඳී යන්නේ වෙයිද?”

“ආනන්දය, මෙහිලා භික්ෂුව (1) අධර්මය ධර්මය වශයෙන් පෙන්වයි. (2) ධර්මය අධර්මය වශයෙන් පෙන්වයි. (3) අවිනය විනය වශයෙන් පෙන්වයි. (4) විනය අවිනය වශයෙන් පෙන්වයි. (5) තථාගතයන් විසින් නොපැවසූ, නොකියූ දෙය තථාගතයන් විසින් පවසන ලද්දේ ය, කියන ලද්දේ ය වශයෙන් පෙන්වයි. (6) තථාගතයන් විසින් පැවසූ, කියූ දෙය තථාගතයන් විසින් නොපවසන ලද්දේ ය, නොකියන ලද්දේ ය වශයෙන් පෙන්වයි. (7) තථාගතයන් විසින් පුරුදු නොකරන ලද දෙය තථාගතයන් විසින් පුරුදු කරන ලද්දේ ය වශයෙන් පෙන්වයි. (8) තථාගතයන් විසින් පුරුදු කරන ලද දෙය තථාගතයන් විසින් පුරුදු නොකරන ලද්දේ ය වශයෙන් පෙන්වයි. (9) තථාගතයන් විසින් නොපණවන ලද දෙය තථාගතයන් විසින් පණවන ලද්දේ ය වශයෙන් පෙන්වයි. (10) තථාගතයන් විසින් පණවන ලද දෙය තථාගතයන් විසින් නොපණවන ලද්දේ ය වශයෙන් පෙන්වයි.

ඔවුහු මෙම දස කරුණෙන් සංඝයා තමා වටා රැස් කරත්. විශේෂයෙන් රැස් කරත්. වෙන් වෙන් ව කර්ම කරත්. වෙන් වෙන් ව ප්‍රාතිමෝක්ෂය උදෙසත්. ආනන්දය, මෙපමණකින් සංඝභේදය වූයේ වෙයි.”

“ස්වාමීනී, සමගි වූ සංඝයා භේදභින්න කොට ඔහු තමා තුළ බිහි කරගන්නේ කුමක්ද?”

“ආනන්දය, කල්පයක් ම විඳවන පාපී විපාකය තමා තුළින් බිහි කරයි.”

“ස්වාමීනී, කල්පයක් විඳවන පවිටු විපාකය යනු කුමක් ද?”

“ආනන්දය, නිරයෙහි කල්පයක් පැසෙන්නේ ය.”

(ගාථාවකි:)

1. සංඝයා කෙටවීමෙහි ඇළුණු, අධර්මයෙහි පිහිටි, මාර්ගඵලාවබෝධය නසාගත්, ඒ සංඝයා භේද කළ තැනැත්තා අපායෙහි උපදින්නේ වෙයි. නිරයෙහි උපදින්නේ වෙයි. කල්පයක් ආයු ඇත්තේ වෙයි. සංඝ සාමග්‍රිය වනසාලූ හේ කල්පයක් නිරයෙහි පැසෙන්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

පඨම ආනන්ද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M