අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.1.4.10. දුතිය ආනන්ද සුත්තං

10.1.4.10. ආනන්ද තෙරුන්ට වදාළ දෙවෙනි දෙසුම

සැවැත් නුවර දී ය ………..

“ස්වාමීනී, ‘සංඝසාමග්‍රිය, සංඝසාමග්‍රිය’ යැයි කියනු ලැබේ. කවර කරුණු මත සංඝයා සමගි වන්නේ වෙයිද?”

“ආනන්දය, මෙහිලා භික්ෂුව (1) අධර්මය අධර්මය වශයෙන් පෙන්වයි. (2) ධර්මය ධර්මය වශයෙන් පෙන්වයි. (3) අවිනය අවිනය වශයෙන් පෙන්වයි. (4) විනය විනය වශයෙන් පෙන්වයි. (5) තථාගතයන් විසින් නොපැවසූ, නොකියූ දෙය තථාගතයන් විසින් නොපවසන ලද්දේ ය, නොකියන ලද්දේ ය වශයෙන් පෙන්වයි. (6) තථාගතයන් විසින් පැවසූ, කියූ දෙය තථාගතයන් විසින් පවසන ලද්දේ ය, කියන ලද්දේ ය වශයෙන් පෙන්වයි. (7) තථාගතයන් විසින් පුරුදු නොකරන ලද දෙය තථාගතයන් විසින් නොපුරුදු කරන ලද්දේ ය වශයෙන් පෙන්වයි. (8) තථාගතයන් විසින් පුරුදු කරන ලද දෙය තථාගතයන් විසින් පුරුදු කරන ලද්දේ ය වශයෙන් පෙන්වයි. (9) තථාගතයන් විසින් නොපණවන ලද දෙය තථාගතයන් විසින් නොපණවන ලද්දේ ය වශයෙන් පෙන්වයි. (10) තථාගතයන් විසින් පණවන ලද දෙය තථාගතයන් විසින් පණවන ලද්දේ ය වශයෙන් පෙන්වයි.

ඔවුහු මෙම දස කරුණෙන් සංඝයා තමා වටා රැස් නොකරත්. විශේෂයෙන් රැස් නොකරත්. වෙන් වෙන් ව කර්ම නොකරත්. වෙන් වෙන් ව ප්‍රාතිමෝක්ෂය නොඋදෙසත්. ආනන්දය, මෙපමණකින් සංඝසාමග්‍රිය වූයේ වෙයි.”

“ස්වාමීනී, භේදභින්න වූ සංඝයා සමගි කොට ඔහු තමා තුළ බිහි කරගන්නේ කුමක් ද?”

“ආනන්දය, බ්‍රහ්ම පුණ්‍යය තමා තුළින් බිහි කරයි.”

“ස්වාමීනී, බ්‍රහ්ම පුණ්‍යය යනු කුමක් ද?”

“ආනන්දය, කල්පයක් සුගතියෙහි සතුටු වන්නේ ය.”

(ගාථාවකි:)

1. සංඝයාගේ සමගිය සැපයකි. සංඝයා සමගි කිරීමෙහි ඇළුණු, ධර්මයෙහි පිහිටි ඒ සංඝයාගේ සමගියට අනුග්‍රහ කළ තැනැත්තා මාර්ගඵලාවබෝධය නොනසාගත්තේ වෙයි. සංඝයා සමගි කොට ස්වර්ගයෙහි කල්පයක් සතුටු වන්නේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය ආනන්ද සූත්‍රය නිමා විය.

හතරවෙනි උපාලි වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

උපාලි සූත්‍රය, පාතිමොක්ඛට්ඨපන සූත්‍රය, උබ්බාහිකා සූත්‍රය, උපසම්පදා සූත්‍රය, නිස්සය සූත්‍රය, සාමණේර සූත්‍රය, සංඝභේද සූත්‍රය, සංඝ සාමග්ගී සූත්‍රය, ආනන්ද සූත්‍ර දෙක වශයෙන් මෙහි සූත්‍ර දසයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M