අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.1.4.4. උපසම්පදා සුත්තං

10.1.4.4. උපසම්පදා කිරීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය ………..

“ස්වාමීනී, උපසම්පදාව දෙනු ලබන භික්ෂුව කොතෙක් ධර්මයන්ගෙන් සමන්විත විය යුතුද?”

“උපාලි, දස ධර්මයකින් සමන්විත වූ භික්ෂුව විසින් උපසම්පදාව කළ යුත්තේ ය. ඒ කවර දස ධර්මයක් ද යත්;

1. උපාලි, මෙහිලා භික්ෂුව සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර ව වාසය කරයි. මනා ඇවැතුම් පැවතුම් වලින් යුක්ත වෙයි. අණුමාත්‍ර වරදෙහි ද බිය දකින්නේ වේ. ශික්ෂාපදයන්හි සමාදන් ව හික්මෙයි.

2. බොහෝ ඇසූ පිරූ ධර්මය ඇත්තේ වෙයි. ඇසූ දහම් දරන්නේ ද වෙයි. ඒ ඇසූ දහම් සිත්හිලා රැස් කරගත්තේ ද වෙයි. යම් ධර්මයක් ආදි කල්‍යාණ වූ ත්, මධ්‍ය කල්‍යාණ වූ ත්, නිමාව කල්‍යාණ වූ ත් වෙයිද, අර්ථ සහිත වූ ත්, පැහැදිලි වචනයෙනුත් යුක්ත වෙයි ද, මුළුමනින් ම පිරිපුන්, පිරිසිදු, නිවන් මග පවසයි ද, එබඳු වූ ධර්මයන් ඔහු විසින් බොහෝ සෙයින් අසන ලද්දේ වෙයි. සිතෙහි දරාගන්නා ලද්දේ වෙයි. වචනයෙන් පිරිවහන ලද්දේ වෙයි. මනසින් වටහාගන්නා ලද්දේ වෙයි. අවබෝධය ඇති කරගන්නා ලද්දේ වෙයි.

3. ඔහු විසින් ප්‍රාතිමෝක්ෂය විස්තර වශයෙන් මැනැවින් ගන්නා ලද්දේ වෙයි. එහිලා සූත්‍ර වශයෙන් ද, අනුව්‍යංජන වශයෙන් ද මැනැවින් බෙදන ලද්දේ වෙයි. මැනැවින් පවත්වන ලද්දේ වෙයි. මැනැවින් විනිශ්චය කරන ලද්දේ වෙයි.

4. ගිලනුන් හට උවටැන් කිරීමට හෝ උවටැන් කැරවීමට හෝ ප්‍රතිබල සම්පන්න වූයේ වෙයි.

5. තම අන්තේවාසිකයාගේ සිතෙහි හටගන්නා අරතිය දුරු කිරීමට හෝ දුරු කැරවීමට හෝ ප්‍රතිබල සම්පන්න වූයේ වෙයි.

6. තම අන්තේවාසිකයාගේ සිතෙහි හටගන්නා සැකය ධර්මය තුළින් දුරු කිරීමට ප්‍රතිබල සම්පන්න වූයේ වෙයි.

7. තම අන්තේවාසිකයාගේ සිතෙහි හටගන්නා දෘෂ්ටීන් ධර්මය තුළින් ඉවත් කිරීමට ප්‍රතිබල සම්පන්න වූයේ වෙයි.

8. අධිසීලයෙහි සමාදන් කරවන්නට ප්‍රතිබල සම්පන්න වූයේ වෙයි.

9. අධිචිත්තයෙහි සමාදන් කරවන්නට ප්‍රතිබල සම්පන්න වූයේ වෙයි.

10. අධිප්‍රඥායෙහි සමාදන් කරවන්නට ප්‍රතිබල සම්පන්න වූයේ වෙයි.

උපාලි, මෙම දස කරුණෙන් සමන්විත වූ භික්ෂුව විසින් උපසම්පදාව කළ යුත්තේ ය.”

සාදු! සාදු!! සාදු!!!

උපසම්පදා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M