අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.1.4.3. උබ්බාහිකා සුත්තං

10.1.4.3. අධිකරණ විනිශ්චයට භික්ෂුවක් පත්කර ගැනීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය ………..

“ස්වාමීනී, අධිකරණ විනිශ්චයට සම්මත කරගත යුතු භික්ෂුව කොතෙක් ධර්මයන්ගෙන් සමන්විත විය යුතු ද?”

“උපාලි, දස ධර්මයකින් සමන්විත වූ භික්ෂුව අධිකරණ විනිශ්චයෙහිලා සම්මත කළ යුත්තේ ය. ඒ කවර දස ධර්මයක් ද යත්;

1. උපාලි, මෙහිලා භික්ෂුව සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර ව වාසය කරයි. මනා ඇවැතුම් පැවතුම් වලින් යුක්ත වෙයි. අණුමාත්‍ර වරදෙහි ද බිය දකින්නේ වේ. ශික්ෂාපදයන්හි සමාදන් ව සමාදන් ව හික්මෙයි.

2. බොහෝ ඇසූ පිරූ ධර්මය ඇත්තේ වෙයි. ඇසූ දහම් දරන්නේ ද වෙයි. ඒ ඇසූ දහම් සිත්හිලා රැස් කරගත්තේ ද වෙයි. යම් ධර්මයක් ආදි කල්‍යාණ වූ ත්, මධ්‍ය කල්‍යාණ වූ ත්, නිමාව කල්‍යාණ වූ ත් වෙයිද, අර්ථ සහිත වූ ත්, පැහැදිලි වචනයෙනුත් යුක්ත වෙයි ද, මුළුමනින් ම පිරිපුන්, පිරිසිදු, නිවන් මග පවසයි ද, එබඳු වූ ධර්මයන් ඔහු විසින් බොහෝ සෙයින් අසන ලද්දේ වෙයි. සිතෙහි දරාගන්නා ලද්දේ වෙයි. වචනයෙන් පිරිවහන ලද්දේ වෙයි. මනසින් වටහාගන්නා ලද්දේ වෙයි. අවබෝධය ඇති කරගන්නා ලද්දේ වෙයි.

3. ඔහු විසින් භික්ෂු, භික්ෂුණී උභය ප්‍රාතිමෝක්ෂයෝ විස්තර වශයෙන් මැනැවින් ගන්නා ලද්දාහු වෙති. එහිලා සූත්‍ර වශයෙන් ද, අනුව්‍යංජන වශයෙන් ද මැනැවින් බෙදන ලද්දාහු වෙති. මැනැවින් පවත්වන ලද්දාහු වෙති. මැනැවින් විනිශ්චය කරන ලද්දාහු වෙති.

4. විනයෙහි මනාකොට පිහිටියේ වෙයි. බාහිර බලපෑම්වලින් පසුබැස්විය නොහැකි වෙයි.

5. දෙපක්ෂයට ම කරුණු හඟවන්නට, පණවන්නට, පෙන්වා දෙන්නට, බලගන්වන්නට, පහදවන්නට ප්‍රතිබල සම්පන්න වෙයි.

6. හටගන්නා වූ අර්බුදයන් සංසිඳවීමෙහි දක්ෂ වෙයි.

7. අර්බුදය ද දන්නේ වෙයි.

8. අර්බුද හටගැනීම ද දන්නේ වෙයි.

9. අර්බුද සංසිඳීම ද දන්නේ වෙයි.

10. අර්බුද සංසිඳුවන්නා වූ ප්‍රතිපදාව ද දන්නේ වෙයි.

උපාලි, මෙම දස කරුණෙන් සමන්විත වූ භික්ෂුව අධිකරණ විනිශ්චයෙහිලා සම්මත කරගත යුත්තේ ය.”

සාදු! සාදු!! සාදු!!!

උබ්බාහිකා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M