සැවැත් නුවර දී ය ………..
1. මහණෙනි, කාසි කෝසල දෙරටෙහි යම්තාක් ජනපදවාසීහු වෙත් ද, පසේනදී කෝසල මහරජහුගේ විජිතයෙහි යම්තාක් ප්‍රාදේශීය රජවරු වෙත් ද, ඔවුන් අතුරෙන් පසේනදී කෝසල මහරජු අග්‍ර යැයි කියනු ලැබේ. මහණෙනි, එබඳු වූ පසේනදී කෝසල රජහුගේ ද අනිත්‍ය බවට පත්වීමක් ඇත. විපරිණාමයක් ඇත. මහණෙනි, ශ්‍රැතවත් ආර්යශ්රාවකයා ඔය අයුරින් දකින විට එබඳු වූ රජසැප පිළිබඳ ව ත් අවබෝධයෙන් ම එපා වෙයි. එබඳු දෙයක් පිළිබඳ ව ද අවබෝධයෙන් ම එපා වන විට නොඇලී යන්නේ අග්‍ර වූ සැපයක් පිළිබඳ ව යි. ඉන් බැහැර ලාමක වූ ගිහි සැප ගැන කවර කථා ද?
2. මහණෙනි, යම්තාක් හිරු සඳු හැසිර යත් ද, දිශාවන් බබලත් ද, රැස් විහිදුවත් ද, ඒ තාක් ම සහශ්‍රී ලෝක ධාතුවයි. ඒ සහශ්‍රී ලෝක ධාතුයෙහි සඳහු දහසක් ඇත. සූර්යයෝ දහසක් ඇත. සිනේරු පර්වත රාජයෝ දහසක් ඇත. ජම්බුද්වීපයෝ දහසක් ඇත. අපරගෝයානයෝ දහසක් ඇත. උතුරු කුරු දහසක් ඇත. පූර්ව විදේහයෝ දහසක් ඇත. සිව් මහා සමුද්‍රයෝ දහසක් ඇත. සිව්වරම් රජ දරුවෝ දහසක් ඇත. චාතුම්මහාරාජික දෙව් ලෝ දහසක් ඇත. තාවතිංස දෙව් ලෝ දහසක් ඇත. යාම දෙව් ලෝ දහසක් ඇත. තුසිත දෙව් ලෝ දහසක් ඇත. නිම්මාණරතී දෙව් ලෝ දහසක් ඇත. පරනිම්මිත වසවත්තී දෙව් ලෝ දහසක් ඇත. බඹ ලෝ දහසක් ඇත. මහණෙනි, සහශ්‍රී ලෝක ධාතුව යම්තාක් ද එහි අග්‍ර යැයි කියනු ලබන්නේ මහා බ්‍රහ්මයා ය. මහණෙනි, එබඳු වූ මහා බ්‍රහ්මරාජයාගේ ද අනිත්‍ය බවට පත්වීමක් ඇත. විපරිණාමයක් ඇත. මහණෙනි, ශ්‍රැතවත් ආර්යශ්රාවකයා ඔය අයුරින් දකින විට එබඳු වූ බ්‍රහ්මරාජ සැපය පිළිබඳ ව ත් අවබෝධයෙන් ම එපා වෙයි. එබඳු දෙයක් පිළිබඳ ව ද අවබෝධයෙන් ම එපා වන විට නොඇලී යන්නේ අග්‍ර වූ සැපයක් පිළිබඳ ව ය. ඉන් බැහැර ලාමක වූ කාම ලෝකය ගැන කවර කථා ද?
3. මහණෙනි, යම් හෙයකින් මේ ලෝකය වැනසෙන්නේ ද, එබඳු කාලයක් එන්නේ ම ය. මහණෙනි, ලෝ වැනසෙන කල්හී සත්වයෝ බොහෝ සෙයින් ම ආභස්සර දෙව් ලොව උපදිති. ඔවුහු එහි මනෝමය සිරුරෙන් යුතුව ප්‍රීතිය අනුභව කරමින් ස්වකීය ප්‍රභායෙන් යුක්ත ව අහසෙහි හැසිරෙමින් සුභ අරමුණු ඇති ව චිරාත් කාලයක් වාසය කරත්. මහණෙනි, ලොව වැනසෙන කල්හී අග්‍ර යැයි කියනු ලබන්නේ ඒ ආභස්සර දෙවියෝ ය. මහණෙනි, එබඳු වූ ආභස්සර දෙවියන්ගේ ද අනිත්‍ය බවට පත්වීමක් ඇත. විපරිණාමයක් ඇත. මහණෙනි, ශ්‍රැතවත් ආර්යශ්රාවකයා ඔය අයුරින් දකින විට එබඳු වූ ආභස්සර දෙව් සැප පිළිබඳ ව ත් අවබෝධයෙන් ම එපා වෙයි. එබඳු දෙයක් පිළිබඳ ව ද අවබෝධයෙන් ම එපා වන විට නොඇලී යන්නේ අග්‍ර වූ සැපයක් පිළිබඳ ව ය. ඉන් බැහැර ලාමක වූ කාම ලෝකය ගැන කවර කථා ද?
4. මහණෙනි, මේ කසිණ නම් වූ ආයතන දහයක් තිබේ. ඒ කවර දහයක් ද යත්; කෙනෙක් උඩ යට සරස දෙවෙනි දෙයක් නැති ව ප්‍රමාණ රහිත වූ පඨවි කසිණය හඳුනාගනියි. කෙනෙක් ….(පෙ)…. ආපෝ කසිණය හඳුනාගනියි. කෙනෙක් ….(පෙ)…. තේජෝ කසිණය හඳුනාගනියි. කෙනෙක් ….(පෙ)…. වායෝ කසිණය හඳුනාගනියි. කෙනෙක් ….(පෙ)…. නිල් පැහැයෙන් යුතු කසිණය හඳුනාගනියි. කෙනෙක් ….(පෙ)…. කහ පැහැයෙන් යුතු කසිණය හඳුනාගනියි. කෙනෙක් ….(පෙ)…. රතු පැහැයෙන් යුතු කසිණය හඳුනාගනියි. කෙනෙක් ….(පෙ)…. සුදු පැහැයෙන් යුතු කසිණය හඳුනාගනියි. කෙනෙක් ….(පෙ)…. ආකාස කසිණය හඳුනාගනියි. කෙනෙක් උඩ යට සරස දෙවෙනි දෙයක් නැති ව ප්‍රමාණ රහිත වූ විඤ්ඤාණ කසිණය හඳුනාගනියි. මහණෙනි, මේවා වනාහී දසයක් වූ කසිණයෝ ය. මහණෙනි, මේ දස කසිණායතනයන් අතුරින් කෙනෙක් උඩ යට සරසට දෙවැන්නක් නැති ව අප්‍රමාණ ව විඤ්ඤාණ කසිණය හඳුනාගන්නේ වෙයි ද, මෙය අග්‍ර යැයි කියනු ලැබේ. මහණෙනි, මෙබඳු හැඳිනීම් සහිත වූ සත්වයෝ ද සිටිති. මහණෙනි, එබඳු වූ හැඳිනීම් ඇති සත්වයන්ගේ ද අනිත්‍ය බවට පත්වීමක් ඇත. විපරිණාමයක් ඇත. මහණෙනි, ශ්‍රැතවත් ආර්යශ්රාවකයා ඔය අයුරින් දකින විට එබඳු වූ හැඳිනීම් ඇති සත්වයන් පිළිබඳ ව ත් අවබෝධයෙන් ම එපා වෙයි. එබඳු දෙයක් පිළිබඳ ව ද අවබෝධයෙන් ම එපා වන විට නොඇලී යන්නේ අග්‍ර වූ සැපයක් පිළිබඳ ව ය. ඉන් බැහැර ලාමක වූ කාම සැපය ගැන කවර කථා ද?
5. මහණෙනි, මේ අභිභූ නම් වූ ආයතන අටකි. කවර අටක් ද යත්, කෙනෙක් තමා තුළ රූප සංඥා ඇතිව බාහිර අල්ප වූ ත්, වර්ණවත් වූ ත්, දුර්වර්ණ වූ ත් රූප දකියි. ඒ රූපයන් අබිභවා දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාවෙන් යුක්ත වූයේ වෙයි. මෙය පළමුවෙනි අභිභූ ආයතනය යි.
කෙනෙක් තමා තුළ රූප සංඥා ඇති ව බාහිර අප්‍රමාණ වූ ත්, වර්ණවත් වූ ත්, දුර්වර්ණ වූ ත් රූප දකියි. ඒ රූපයන් අබිභවා දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාවෙන් යුක්ත වූයේ වෙයි. මෙය දෙවෙනි අභිභූ ආයතනය යි.
කෙනෙක් තමා තුළ අරූප සංඥා ඇති ව බාහිර අල්ප වූ ත්, වර්ණවත් වූ ත්, දුර්වර්ණ වූත් රූප දකියි. ඒ රූපයන් අබිභවා දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාවෙන් යුක්ත වූයේ වෙයි. මෙය තුන්වෙනි අභිභූ ආයතනය යි.
කෙනෙක් තමා තුළ අරූප සංඥා ඇතිව බාහිර අප්‍රමාණ වූ ත්, වර්ණවත් වූ ත්, දුර්වර්ණ වූ ත් රූප දකියි. ඒ රූපයන් අබිභවා දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාවෙන් යුක්ත වූයේ වෙයි. මෙය සතරවෙනි අභිභූ ආයතනය යි.
කෙනෙක් තමා තුළ අරූප සංඥා ඇති ව බාහිර රූප දකියි. එනම් නිල් වූ, නිල් පැහැයෙන් යුතු, නීල නිදර්ශන ඇති, නිල් බැබලීම් ඇති රූපයෝ ය. නිල් වූ, නිල් පැහැ ඇති, නිල් දැකුම් ඇති, නිල් බැබලීම් ඇති දියබෙරලිය මල යම් සේ ද එසේ ය. එමෙන් ම නිල් වූ, නිල් පැහැ ඇති, නිල් දැකුම් ඇති, නිල් බැබලීම් ඇති දෙපසින් ම සිනිදු වූ බරණැස කසී සළුව යම් සේ ද එසේ ය. මේ අයුරින් ම කෙනෙක් තමා තුළ අරූප සංඥා ඇතිව බාහිර රූප දකියි. එනම් නිල් වූ, නිල් පැහැයෙන් යුතු, නීල නිදර්ශන ඇති, නිල් බැබලීම් ඇති රූපයෝ ය. ඒ රූපයන් අබිභවා දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාවෙන් යුක්ත වූයේ වෙයි. මෙය පස්වෙනි අභිභූ ආයතනය යි.
කෙනෙක් තමා තුළ අරූප සංඥා ඇති ව බාහිර රූප දකියි. එනම් කහ වූ, කහ පැහැයෙන් යුතු, කහ නිදර්ශන ඇති, කහ බැබලීම් ඇති රූපයෝ ය. කහ වූ, කහ පැහැ ඇති, කහ දැකුම් ඇති, කහ බැබලීම් ඇති කිණිහිරි මල යම් සේ ද එසේ ය. එමෙන් ම කහ වූ, කහ පැහැ ඇති, කහ දැකුම් ඇති, කහ බැබලීම් ඇති දෙපසින් ම සිනිදු වූ බරණැස කසී සළුව යම් සේ ද එසේ ය. මේ අයුරින් ම කෙනෙක් තමා තුළ අරූප සංඥා ඇති ව බාහිර රූප දකියි. එනම් කහ වූ, කහ පැහැයෙන් යුතු, කහ නිදර්ශන ඇති, කහ බැබලීම් ඇති රූපයෝ ය. ඒ රූපයන් අබිභවා දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාවෙන් යුක්ත වූයේ වෙයි. මෙය හයවෙනි අභිභූ ආයතනය යි.
කෙනෙක් තමා තුළ අරූප සංඥා ඇති ව බාහිර රූප දකියි. එනම් රතු වූ, රත් පැහැයෙන් යුතු, රතු නිදර්ශන ඇති, රතු බැබලීම් ඇති රූපයෝ ය. රතු වූ, රත් පැහැ ඇති, රතු දැකුම් ඇති, රතු බැබලීම් ඇති බඳුවද මල යම් සේ ද එසේ ය. එමෙන් ම රතු වූ, රත් පැහැ ඇති, රතු දැකුම් ඇති, රතු බැබලීම් ඇති දෙපසින් ම සිනිදු වූ බරණැස කසී සළුව යම් සේ ද එසේ ය. මේ අයුරින් ම කෙනෙක් තමා තුළ අරූප සංඥා ඇති ව බාහිර රූප දකියි. එනම් රතු වූ, රත් පැහැයෙන් යුතු, රතු නිදර්ශන ඇති, රතු බැබලීම් ඇති රූපයෝ ය. ඒ රූපයන් අබිභවා දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාවෙන් යුක්ත වූයේ වෙයි. මෙය සත්වෙනි අභිභූ ආයතනය යි.
කෙනෙක් තමා තුළ අරූප සංඥා ඇති ව බාහිර රූප දකියි. එනම් සුදු වූ, සුදු පැහැයෙන් යුතු, සුදු නිදර්ශන ඇති, සුදු බැබලීම් ඇති රූපයෝ ය. සුදු වූ, සුදු පැහැ ඇති, සුදු දැකුම් ඇති, සුදු බැබලීම් ඇති ඕෂධී තාරුකාව යම් සේ ද එසේ ය. එමෙන් ම සුදු වූ, සුදු පැහැ ඇති, සුදු දැකුම් ඇති, සුදු බැබලීම් ඇති දෙපසින් ම සිනිදු වූ බරණැස කසී සළුව යම් සේ ද එසේ ය. මේ අයුරින් ම කෙනෙක් තමා තුළ අරූප සංඥා ඇති ව බාහිර රූප දකියි. එනම් සුදු වූ, සුදු පැහැයෙන් යුතු, සුදු නිදර්ශන ඇති, සුදු බැබලීම් ඇති රූපයෝ ය. ඒ රූපයන් අබිභවා දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාවෙන් යුක්ත වූයේ වෙයි. මෙය අටවෙනි අභිභූ ආයතනය යි.
මහණෙනි, අභිභූ ආයතන අට යනු මේවා ය. මහණෙනි, මේ අභිභූ ආයතන අට අතුරින් කෙනෙක් තමා තුළ අරූප සංඥා ඇති ව බාහිර රූප දකියි නම්, එනම් සුදු වූ, සුදු පැහැයෙන් යුතු, සුදු නිදර්ශන ඇති, සුදු බැබලීම් ඇති රූපයෝ ය. ඒ රූපයන් අබිභවා දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාවෙන් යුක්ත වූයේ වෙයි. මෙය අග්‍ර යැයි කියනු ලැබේ. මහණෙනි, මෙබඳු සංඥාවෙන් යුතු සත්වයෝ ද ඇත්තාහ. මහණෙනි, එබඳු වූ හැඳිනීම් ඇති සත්වයන්ගේ ද අනිත්‍ය බවට පත්වීමක් ඇත. විපරිණාමයක් ඇත. මහණෙනි, ශ්‍රැතවත් ආර්යශ්රාවකයා ඔය අයුරින් දකින විට එබඳු වූ හැඳිනීම් ඇති සත්වයන් පිළිබඳ ව ත් අවබෝධයෙන් ම එපා වෙයි. එබඳු දෙයක් පිළිබඳ ව ද අවබෝධයෙන් ම එපා වන විට නොඇලී යන්නේ අග්‍ර වූ සැපයක් පිළිබඳ ව යි. ඉන් බැහැර ලාමක වූ කාම සැපය ගැන කවර කථා ද?
6. මහණෙනි, මේ ප්‍රතිපදාවෝ සතරකි. කවර සතරක් ද යත්; අමාරුවෙන් ලබන අවබෝධය ඇති දුක් වූ ප්‍රතිපදාව ය. සැණෙකින් ලබන අවබෝධය ඇති දුක් වූ ප්‍රතිපදාව ය. අමාරුවෙන් ලබන අවබෝධය ඇති සැප වූ ප්‍රතිපදාව ය. සැණෙකින් ලබන අවබෝධය ඇති සැප වූ ප්‍රතිපදාව ය. මහණෙනි, මේ වනාහී සතරක් වූ ප්‍රතිපදාවෝ ය. මහණෙනි, සැණෙකින් ලබන අවබෝධය ඇති සැප වූ ප්‍රතිපදාව යන මෙය මේ සතර ප්රතිපදාවන් අතුරෙන් අග්‍ර වේ. මහණෙනි, මෙබඳු අග්‍ර වූ ප්‍රතිපදාවෙහි බැසගත් සත්වයෝ ද සිටිති. මහණෙනි, එබඳු වූ ප්‍රතිපදාවෙහි බැසගත් සත්වයන්ගේ ද අනිත්‍ය බවට පත්වීමක් ඇත. විපරිණාමයක් ඇත. මහණෙනි, ශ්‍රැතවත් ආර්යශ්රාවකයා ඔය අයුරින් දකින විට එබඳු වූ ප්‍රතිපදාවෙහි බැසගත් සත්වයන් පිළිබඳ ව ත් අවබෝධයෙන් ම එපා වෙයි. එබඳු දෙයක් පිළිබඳ ව ද අවබෝධයෙන් ම එපා වන විට නොඇලී යන්නේ අග්‍ර වූ ප්‍රතිපදාවක් පිළිබඳ ව යි. ඉන් බැහැර වූ ලාමක ප්රතිපදාවන් ගැන කවර කථා ද?
7. මහණෙනි, මේ හඳුනාගැනීම් සතරකි. ඒ කවර සතරක් ද යත්; කෙනෙක් ස්වල්ප වූ දෙයක් හඳුනාගන්නේ ය. කෙනෙක් මහග්ගත වූ දෙයක් හඳුනාගන්නේ ය. කෙනෙක් අප්‍රමාණ වූ දෙයක් හඳුනාගන්නේ ය. කෙනෙක් කිසිවක් නැත්තේ ය යනුවෙන් ආකිඤ්චඤ්ඤායතනය හඳුනාගන්නේ ය. මහණෙනි, මේ වනාහී හඳුනාගැනීම් සතර ය. මහණෙනි, මේ හඳුනාගැනීම් සතරෙන් යම් මේ කිසිවක් නැත්තේ ය යනුවෙන් ආකිඤ්චඤ්ඤායතනය හඳුනාගන්නේ වේ ද, මෙය අග්‍ර යැයි කියනු ලැබේ. මහණෙනි, මෙබඳු සංඥාවෙන් යුතු සත්වයෝ ද ඇත්තාහ. මහණෙනි, එබඳු වූ හැඳිනීම් ඇති සත්වයන්ගේ ද අනිත්‍ය බවට පත්වීමක් ඇත. විපරිණාමයක් ඇත. මහණෙනි, ශ්‍රැතවත් ආර්යශ්රාවකයා ඔය අයුරින් දකින විට එබඳු වූ හැඳිනීම් ඇති සත්වයන් පිළිබඳ ව ත් අවබෝධයෙන් ම එපා වෙයි. එබඳු දෙයක් පිළිබඳ ව ද අවබෝධයෙන් ම එපා වන විට නොඇලී යන්නේ අග්‍ර වූ හඳුනාගැනීමක් පිළිබඳ ව යි. ඉන් බැහැර ලාමක වූ හඳුනා ගැනීම් ගැන කවර කථා ද?
8. මහණෙනි, බාහිර ධර්මයන්හි දෘෂ්ටිගතිකයින්ගේ මෙබඳු දෘෂ්ටියක් ඇත්තේ ය. එනම් ‘පෙර මම නොවූයෙම් නම්, වර්තමානයෙහි මට උපතක් නැත. මතුයෙහි මම් නොවන්නෙම් නම්, මට අනාගත උපතක් ද නැත’ යනුවෙනි. මෙය බාහිර දෘෂ්ටීන් අතර අග්‍ර ය. මහණෙනි, මෙබඳු දෘෂ්ටි ඇති තැනැත්තා මෙය කැමති විය යුතුය. ‘භව නිරෝධය පිළිබඳ ව යම් මේ පිළිකුල් නැති බවක් ඇද්ද, එය ද ඔහුට නොවන්නේ ය. භවය පිළිබඳ ව යම් මේ පිළිකුලක් ඇද්ද, එය ද ඔහුට නොවන්නේ යැ’යි. මහණෙනි, මෙබඳු දෘෂ්ටියෙන් යුතු සත්වයෝ ද ඇත්තාහ. මහණෙනි, එබඳු වූ දෘෂ්ටි ඇති සත්වයන්ගේ ද අනිත්‍ය බවට පත්වීමක් ඇත. විපරිණාමයක් ඇත. මහණෙනි, ශ්‍රැතවත් ආර්යශ්රාවකයා ඔය අයුරින් දකින විට එබඳු වූ දෘෂ්ටි ඇති සත්වයන් පිළිබඳ ව ත් අවබෝධයෙන් ම එපා වෙයි. එබඳු දෙයක් පිළිබඳ ව ද අවබෝධයෙන් ම එපා වන විට නොඇලී යන්නේ අග්‍ර වූ දෘෂ්ටියක් පිළිබඳ ව යි. ඉන් බැහැර ලාමක වූ දෘෂ්ටීන් ගැන කවර කථා ද?
9. මහණෙනි, ඇතැම් ශ්‍රමණ බ්රාහ්මණවරු පරමාර්ථ විශුද්ධිය වශයෙන් කරුණු පණවත්. මහණෙනි, පරමාර්ථ විශුද්ධිය වශයෙන් කරුණු පණවන්නා වූ ශ්‍රමණබ්‍රාහ්මණයන් අතුරින් යම් මේ සියළු අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤා නාසඤ්ඤායතනයට සමවැදී වාසය කිරීමක් ඇද්ද, මෙය අග්‍ර යැයි කියනු ලැබේ. ඔවුහු එය නුවණින් දැන එය අත්දැකීම පිණිස දහම් දෙසත්. මහණෙනි, මෙබඳු දහම් කථාවෙන් යුතු සත්වයෝ ද ඇත්තාහ. මහණෙනි, එබඳු වූ දහම් කථා ඇති සත්වයන්ගේ ද අනිත්‍ය බවට පත්වීමක් ඇත. විපරිණාමයක් ඇත. මහණෙනි, ශ්‍රැතවත් ආර්යශ්රාවකයා ඔය අයුරින් දකින විට එබඳු වූ දහම් කථා ඇති සත්වයන් පිළිබඳ ව ත් අවබෝධයෙන් ම එපා වෙයි. එබඳු දෙයක් පිළිබඳ ව ද අවබෝධයෙන් ම එපා වන විට නොඇලී යන්නේ අග්‍ර වූ දහම් කථාවක් පිළිබඳ ව යි. ඉන් බැහැර ලාමක වූ දෙතිස් කථා ගැන කවර කථා ද?
10. මහණෙනි, ඇතැම් ශ්‍රමණ බ්රාහ්මණවරු මෙලොව දී ම උතුම් නිවන සාක්ෂාත් කිරීම ගැන කරුණු කියත්. ඔවුහු මෙලොව දී ම උතුම් නිවන් අවබෝධය පණවත්. මහණෙනි, මෙලොව දී ම උතුම් නිවන සාක්ෂාත් කිරීම ගැන කරුණු පවසන ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතර යම් මේ සයක් වූ ස්පර්ශ ආයතනයන්ගේ හටගැනීම ත්, නැසී යාම ත්, ආශ්වාදය ත්, ආදීනවය ත්, නිස්සරණය ත්, ඒ වූ සැටියෙන් මැ දැන උපාදාන රහිත ව විමුක්තියට පත්වෙයි ද එය අග්‍ර යැයි කියනු ලැබේ. මහණෙනි, මෙබඳු දහම් කථාවක් පවසන, මෙබඳු දෙයක් පවසන මා හට ත් ඇතැම් ශ්‍රමණ බ්රාහ්මණවරු අසත්‍ය වූ, තුච්ඡ වූ, මුසා වූ අභූතයෙන් චෝදනා කරත්. එනම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ කාමයන්ගේ පිරිසිඳ දැනීම නොපණවයි. රූපයන්ගේ පිරිසිඳ දැනීම නොපණවයි. වේදනාවන්ගේ පිරිසිඳ දැනීම නොපණවයි’ යනුවෙනි. මහණෙනි, මම කාමයන්ගේ පිරිසිඳ දැනීම ත් පණවමි. රූපයන්ගේ පිරිසිඳ දැනීම ත් පණවමි. වේදනාවන්ගේ පිරිසිඳ දැනීම ත් පණවමි. මෙලොව දී ම තෘෂ්ණා රහිත ව නිවී සිහිල් වී උපාදාන රහිත ව පිරිනිවන් පෑම ත් පණවමි.
සාදු! සාදු!! සාදු!!!
පඨම කෝසල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M