එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයේ වැඩවසන සේක. එසමයෙහි පසේනදී කෝසල රජ තෙමේ දිනන ලද යුද්ධය ඇති ව, ජයග්‍රහණය ඇති ව යුද්ධය නවතා සිටියේ වෙයි. ඉක්බිති ඒ පසේනදී කොසොල් රජ තෙමේ යම් තැනක ආරාමය ඇද්ද, එතැනට ගියේ ය. යම්තාක් යානයෙන් යා හැකි භූමිය ඇද්ද, ඒ තාක් යානයෙන් ගොස් යානයෙන් බැස පා ගමනින් ම ආරාමයට පිවිසියේ ය. එසමයෙහි බොහෝ භික්ෂූහු එළිමහනෙහි සක්මන් කරමින් සිටියහ. ඉක්බිති පසේනදී කෝසල රජු ඒ භික්ෂූන් කරා එළැඹියේ ය. එළැඹ ඒ භික්ෂූන්ගෙන් මෙය ඇසුවේ ය.
“ස්වාමීනී, දැන් ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජහු කොහි වැඩසිටිනා සේක් ද? ස්වාමීනී, අපි ඒ අරහත් සම්මා සම්බුදු භගවත්හු දක්නට කැමැත්තෙමු.”
“මහාරාජයෙනි, ඔය විහාරය යි. එහි දොර වසා ඇත. එහෙයින් නිශ්ශබ්ද ව එළැඹ හෙමිහිට ආලින්දයට පිවිස උගුර පාදා දොරගුලට තට්ටු කරන්න. භාග්‍යවතුන් වහන්සේ ඔබට දොර හරින සේක් ම ය.”
එකල්හී පසේනදී කෝසල රජ තෙමේ දොර වසන ලද විහාරයක් යම් තැනක ඇද්ද, එතැනට නිශ්ශබ්ද ව ගොස් කලබල නොවී ආලින්දයට පිවිස උගුර පාදා දොර අගුලට තට්ටු කළේ ය. භාග්‍යවතුන් වහන්සේ දොර හැරි සේක. එවිට පසේනදී කෝසල රජ තෙමේ විහාරයට පිවිස භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයන් මත සිරසින් වැටී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයන් මුවින් ද සිඹින්නේ ය. දෑතින් ද පිරිමදින්නේ ය. තම නම ද පවසන්නේ ය. ‘ස්වාමීනී, මම් වනාහී පසේනදී කෝසල රාජා වෙමි. ස්වාමීනී, මම් වනාහී පසේනදී කෝසල රාජා වෙමි’යි.
“මහාරාජයෙනි, ඔබ කුමන කරුණක් දකිමින් මේ ශරීරය කෙරෙහි මෙබඳු වූ උදාර ගෞරවයක් කරන්නෙහි ද? මෛත්‍රී උපහාරයක් දක්වන්නෙහි ද?”
“ස්වාමීනී, මම කළගුණ දනිමින්, කළගුණ දකිමින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු වූ උදාර ගෞරවයක් කරමි. මෛත්‍රී උපහාරයක් දක්වමි.
1. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැපය පිණිස පිළිපන් සේක. යම් මේ කල්‍යාණ ධර්මතාවෙන්, කුසල ධර්මතාවෙන්, බොහෝ ජනයා ආර්ය න්‍යායෙහි පිහිට වූ සේක. ස්වාමීනී, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැපය පිණිස පිළිපන් සේක් ද, යම් මේ කල්‍යාණ ධර්මතාවෙන්, කුසල ධර්මතාවෙන්, බොහෝ ජනයා ආර්ය න්‍යායෙහි පිහිට වූ සේක් ද ස්වාමීනී, මම මෙකරුණ ද දකිමින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු වූ උදාර ගෞරවයක් කරමි. මෛත්‍රී උපහාරයක් දක්වමි.
2. තව ද ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ සිල්වත් වන සේක. දියුණු කළ සිල් ඇති සේක. ආර්ය සීලයෙන් යුතු සේක. කුසල සීලයෙන් යුතු සේක. කුසල් සීලයෙන් සමන්විත වන සේක. ස්වාමීනි, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ සිල්වත් වන සේක් ද, දියුණු කළ සිල් ඇති සේක් ද, ආර්ය සීලයෙන් යුතු සේක් ද, කුසල සීලයෙන් යුතු සේක් ද, කුසල් සීලයෙන් සමන්විත වන සේක් ද ස්වාමීනී, මම් මෙකරුණ ද දකිමින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු වූ උදාර ගෞරවයක් කරමි. මෛත්‍රී උපහාරයක් දක්වමි.
3. තව ද ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ බොහෝ කාලයක් වනවාසී ව වැඩසිටින සේක. ආරණ්‍ය, දුර ඈත වන සෙනසුන් සේවනය කරන සේක. ස්වාමීනී, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ බොහෝ කාලයක් වනවාසී ව වැඩසිටින සේක් ද, ආරණ්‍ය, දුර ඈත වන සෙනසුන් සේවනය කරන සේක් ද ස්වාමීනී, මම් මෙකරුණ ද දකිමින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු වූ උදාර ගෞරවයක් කරමි. මෛත්‍රී උපහාරයක් දක්වමි.
4. තව ද ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ලද දෙයින් සතුටු වන සේක. ලද සිවුරකින්, ලද පිණ්ඩපාතයකින්, ලද සෙනසුනකින්, ලද ගිලන්පස බෙහෙත් පිරිකරකින් සතුටු වන සේක. ස්වාමීනී, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ ලද දෙයින් සතුටු වන සේක් ද, ලද සිවුරකින්, ලද පිණ්ඩපාතයකින්, ලද සෙනසුනකින්, ලද ගිලන්පස බෙහෙත් පිරිකරකින් සතුටු වන සේක් ද ස්වාමීනී, මම මෙකරුණ ද දකිමින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු වූ උදාර ගෞරවයක් කරමිමි. මෛත්‍රී උපහාරයක් දක්වමි.
5. තව ද ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ආහුනෙය්‍ය වන සේක. පාහුනෙය්‍ය වන සේක. දක්ඛිණෙය්‍ය වන සේක. අංජලිකරණීය වන සේක. ලොවෙහි අනුත්තර පින්කෙත වන සේක. ස්වාමීනී, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ ආහුනෙය්‍ය වන සේක් ද, පාහුනෙය්‍ය වන සේක් ද, දක්ඛිණෙය්‍ය වන සේක් ද, අංජලිකරණීය වන සේක ද, ලොවෙහි අනුත්තර පින්කෙත වන සේක් ද ස්වාමීනී, මම මෙකරුණ ද දකිමින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු වූ උදාර ගෞරවයක් කරමි. මෛත්‍රී උපහාරයක් දක්වමි.
6. තව ද ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මැනැවින් කෙලෙස් ගැලවී යන සුළු සිතෙහි දියුණුවට උපකාරී වන යම් කථායෙක් ඇද්ද, එනම් අල්පේච්ඡතාවය පිළිබඳ කථා ය, ලද දෙයින් සතුටු වීම පිළිබඳ කථා ය, හුදෙකලා විවේකය පිළිබඳ කථා ය, පිරිසට නොඇලීම පිළිබඳ කථා ය, අරඹන ලද වීරිය පිළිබඳ කථා ය, සීලය පිළිබඳ කථා ය, සමාධිය පිළිබඳ කථා ය, ප්‍රඥාව පිළිබඳ කථා ය, විමුක්තිය පිළිබඳ කථා ය, විමුක්ති ඥාන දර්ශනය පිළිබඳ කථා ය. මෙබඳු වූ කථා කැමති සේ ලබන සේක. පහසුවෙන් ලබන සේක. නිදුකින් ලබන සේක. ස්වාමීනී, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ මැනැවින් කෙලෙස් ගැලවී යන සුළු සිතෙහි දියුණුවට උපකාරී වන යම් කථායෙක් ඇද්ද, එනම් අල්පේච්ඡතාවය පිළිබඳ කථා ය, ….(පෙ)…. විමුක්ති ඥාන දර්ශනය පිළිබඳ කථා ය. මෙබඳු වූ කථා කැමති සේ ලබන සේක් ද, පහසුවෙන් ලබන සේක් ද, නිදුකින් ලබන සේක් ද ස්වාමීනී, මම මෙකරුණ ද දකිමින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු වූ උදාර ගෞරවයක් කරමි. මෛත්‍රී උපහාරයක් දක්වමි.
8. තව ද ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මෙලොව දී සුවසේ වාසය කළ හැකි සතරක් වූ ධ්‍යානයන් කැමති සේ ලබන සේක. කැමති සේ ලබන සේක. නිදුකින් ලබන සේක. පහසුවෙන් ලබන සේක. ස්වාමීනී, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මෙලොව දී සුවසේ වාසය කළ හැකි සතරක් වූ ධ්‍යානයන් කැමති සේ ලබන සේක් ද, නිදුකින් ලබන සේක් ද, පහසුවෙන් ලබන සේක් ද ස්වාමීනී, මම මෙකරුණ ද දකිමින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු වූ උදාර ගෞරවයක් කරමි. මෛත්‍රී උපහාරයක් දක්වමි.
8. තව ද ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ අනේක ප්‍රකාර වූ පෙර විසූ කඳ පිළිවෙල සිහි කරන සේක. එනම් එක උපතක් වශයෙන් ද, උපත් දෙකක් වශයෙන් ද, උපත් තුනක් වශයෙන් ද, උපත් සතරක් වශයෙන් ද, උපත් පහක් වශයෙන් ද, උපත් දහයක් වශයෙන් ද, උපත් විස්සක් වශයෙන් ද, උපත් තිහක් ද, උපත් හතළිහක් ද, උපත් පණහක් ද, උපත් සියයක් ද, උපත් දහසක් ද, උපත් දස දහසක් ද, උපත් සිය දහසක් ද වශයෙන් අනේක වූ සංවට්ට කල්ප ද, අනේක වූ විවට්ට කල්ප ද, අනේක වූ සංවට්ට විවට්ට කල්ප වශයෙන් ද සිහි කරන සේක. එමෙන් ම ‘මම අසවල් තැන සිටියෙමි. මෙබඳු නමින් සිටියෙමි. මෙබඳු ගෝත්‍රයෙන් සිටියෙමි. මෙබඳු පැහැයෙන් සිටියෙමි. මෙබඳු ආහාර ගත්තෙමි. මෙබඳු අයුරින් සැප දුක් වින්දෙමි. මෙබඳු අයුරින් දිවිය අවසන් කළෙමි. එයින් චුත ව ඒ මම අසවල් තැන උපන්නෙමි. එහිදී ද මම මෙබඳු නමින් සිටියෙමි. මෙබඳු ගෝත්‍ර නමින් සිටියෙමි. මෙබඳු පැහැයෙන් සිටියෙමි. මෙබඳු ආහාර ගත්තෙමි. මෙබඳු සැප දුක් වින්දෙමි. මෙබඳු අයුරින් දිවිය අවසන් කළෙමි. ඒ මම එයින් චුත ව මෙහි උපන්නෙමි’ ආදී වශයෙනි. මෙසේ කරුණු සහිත වූ, විස්තර සහිත වූ අනේක ප්‍රකාර වූ පෙර විසූ කඳ පිළිවෙල සිහි කරන සේක. ස්වාමීනී, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ අනේක ප්‍රකාර වූ පෙර විසූ කඳ පිළිවෙල සිහි කරන සේක් ද, එනම් එක උපතක් වශයෙන් ද, උපත් දෙකක් වශයෙන් ද, ….(පෙ)…. මෙසේ කරුණු සහිත වූ, විස්තර සහිත වූ අනේක ප්‍රකාර වූ පෙර විසූ කඳ පිළිවෙල සිහි කරන සේක් ද ස්වාමීනී, මම මෙකරුණ ච දකිමින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු වූ උදාර ගෞරවයක් කරමි. මෛත්‍රී උපහාරයක් දක්වමි.
9. තව ද ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මිනිස් දැක්ම ඉක්මවා ගිය විශුද්ධ දිව්‍ය නේත්‍රයෙන් චුතවන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකින සේක. ඒ සත්වයන් කර්මානුරූපව පහත් වූත්, උසස් වූත්, මනා පැහැ ඇත්තා වූත්, විරූපී වූත්, සුගතියේත් දුගතියේත් උපදින අයුරු දන්නා සේක. එනම් ‘ඒකාන්තයෙන් මේ භවත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහු ය. වචී දුශ්චරිතයෙන් යුක්ත වූවාහු ය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහු ය. ආර්යයන් හට නින්දා අපහාස කළාහු ය. මිසදිටු ගත්තාහු ය. මිසදිටු ක්‍රියායෙහි යෙදුණාහු ය. ඔවුහු කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ යටට වැටෙන නිරයෙහි උපන්නාහු ය. එසේ ම මේ භවත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූවාහු ය. වචී සුචරිතයෙන් යුක්ත වූවාහු ය. මනෝ සුචරිතයෙන් යුක්ත වූවාහු ය. ආර්යයන් හට නින්දා අපහාස නොකළාහු ය. සම්දිටු ගත්තාහු ය. සම්දිටු ක්‍රියායෙහි යෙදුණාහු ය. ඔවුහු කය බිඳී මරණින් මතු සුගති නම් වූ ස්වර්ග ලෝකයෙහි උපන්නාහු ය. මෙසේ මිනිස් දැක්ම ඉක්මවා ගිය විශුද්ධ දිව්‍ය නේත්‍රයෙන් චුතවන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකිනා සේක. ඒ සත්වයන් කර්මානුරූප ව පහත් වූත්, උසස් වූත්, මනා පැහැ ඇත්තා වූත්, විරූපී වූත්, සුගතියේත් දුගතියේත් උපදින අයුරු දන්නා සේක. ස්වාමීනී, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ මිනිස් දැක්ම ඉක්මවා ගිය විශුද්ධ දිව්‍ය නේත්‍රයෙන් චුතවන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දක්නා සේක් ද, ….(පෙ)…. සුගතියේ ත් දුගතියේ ත් උපදින අයුරු දන්නා සේක් ද, ස්වාමීනී, මම මෙකරුණ ද දකිමින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු වූ උදාර ගෞරවයක් කරමි. මෛත්‍රී උපහාරයක් දක්වමි.
10. තව ද ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදී ම තම විශිෂ්ට නුවණින් අත්දැක එයට පැමිණ වාසය කරන සේක. ස්වාමීනී, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මේ ජීවිතයේදී ම තම විශිෂ්ට නුවණින් අත්දැක එයට පැමිණ වාසය කරන සේක් ද, ස්වාමීනී, මම මෙකරුණ ද දකිමින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු වූ උදාර ගෞරවයක් කරමි. මෛත්‍රී උපහාරයක් දක්වමි.
ස්වාමීනී, දැන් අපි යන්නෙමු. අපි වනාහී බොහෝ කෘත්‍ය ඇත්තෝ වෙමු. කළ යුතු දෑ බොහෝ ඇති අය වෙමු.”
“මහාරාජයෙනි, ඔබ දැන් යමක් සඳහා කාලය දන්නේ නම් මැනැවි.”
එකල්හී පසේනදී කෝසල රජතෙමේ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට ප්‍රදක්ෂිණා කොට පිටත් ව ගියේ ය.
සාදු! සාදු!! සාදු!!!
දුතිය කෝසල සූත්‍රය නිමා විය.
තෙවෙනි මහා වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
සීහනාද සූත්‍රය, අධිවුත්තිපද සූත්‍රය, කාය සූත්‍රය, මහා චුන්ද සූත්‍රය, කසිණ සූත්‍රය, කාලී සූත්‍රය, මහා පඤ්හ සූත්‍ර දෙක, කෝසල සූත්‍ර දෙක වශයෙන් මෙහි සූත්‍ර දසයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M