එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කජංගලායෙහි වේළුවනයෙහි වැඩවසන සේක. එකල්හී කජංගලාවාසී බොහෝ උපාසකවරු කජංගලා භික්ෂුණිය යම් තැනක සිටින්නී ද එතැනට පිවිසියා ය. පිවිස කජංගලා භික්ෂුණියට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ඒ කජංගලාවැසි උපාසකවරු කජංගලා භික්ෂුණියට මෙය පැවසූහ.
“ආර්යාවෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින් මහා ප්‍රශ්නයන්හිලා මෙකරුණ වදාරණ ලද්දේ ය. එනම් එක් ප්‍රශ්නයකි. එක් ඉගෙනීමකි. එක් විසඳුමකි. ප්‍රශ්න දෙකකි. ඉගෙනීම් දෙකකි. විසඳුම් දෙකකි. ප්‍රශ්න තුනකි. ඉගෙනීම් තුනකි. විසඳුම් තුනකි. ප්‍රශ්න සතරකි. ඉගෙනීම් සතරකි. විසඳුම් සතරකි. ප්‍රශ්න පසකි. ඉගෙනීම් පසකි. විසඳුම් පසකි. ප්‍රශ්න සයකි. ඉගෙනීම් සයකි. විසඳුම් සයකි. ප්‍රශ්න සතකි. ඉගෙනීම් සතකි. විසඳුම් සතකි. ප්‍රශ්න අටකි. ඉගෙනීම් අටකි. විසඳුම් අටකි. ප්‍රශ්න නවයකි. ඉගෙනීම් නවයකි. විසඳුම් නවයකි. ප්‍රශ්න දසයකි. ඉගෙනීම් දසයකි. විසඳුම් දසයකි’ වශයෙනි.
ආර්යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කරුණු හකුළුවා වදාරණ ලද මෙහි අර්ථය විස්තර වශයෙන් දැනගත යුත්තේ කෙසේ ද?”
“ආයුෂ්මත්නි, ඔය කරුණ මවිසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි නොඅසන ලද්දේ ය. ඉදිරියෙහි දරා නොගන්නා ලද්දේ ය. එමෙන් ම මනෝභාවනීය භික්ෂූන් ඉදිරියෙහි ද ඔය කරුණ නොඅසන ලද්දේ ය. ඉදිරියෙහි දරා නොගන්නා ලද්දේ ය. වැලිදු මෙකරුණ පිළිබඳ ව මට යම් සේ වැටහෙයි නම් එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.”
“එසේ ය, ආර්යාවෙනි” යි කජංගලාවැසි උපාසකවරු කජංගලා භික්ෂුණියට පිළිවදන් දුන්හ. කජංගලා භික්ෂුණිය මෙය පැවසුවා ය.
1. එක් ප්‍රශ්නයකි, එක් ඉගෙනීමකි, එක් විසඳුමකි යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් පවසන ලද්දේ ද, එය කුමන කරුණක් අරභයා පැවසුවේ ද යත්;
ආයුෂ්මත්නි, භික්ෂුවක් එක ධර්මයක් පිළිබඳ ව මැනැවින් ලද අවබෝධයෙන් එපා වෙන්නේ ද, මැනැවින් නොඇලෙන්නේ ද, මැනැවින් නිදහස් වෙන්නේ ද, මැනැවින් එහි නිමාව දකින්නේ ද, මැනැවින් උත්තමාර්ථය අත්දකින්නේ ද, මෙලොව දී ම දුක් නිමාවට පත් කරන්නේ වේ. ඒ කවර වූ එක් ධර්මයක් පිළිබඳ ව ද? එනම් සියළු සත්වයෝ ආහාර ප්‍රත්‍යයෙන් සිටින්නාහු ය යන කරුණයි. ආයුෂ්මත්නි, භික්ෂුවක් මේ එකම ධර්මයක් පිළිබඳ ව මැනැවින් ලද අවබෝධයෙන් ම එපා වීමෙන්, මැනැවින් නොඇලීමෙන්, මැනැවින් නිදහස් වීමෙන්, මැනැවින් එහි නිමාව දැකීමෙන්, මැනැවින් උත්තමාර්ථයට පැමිණීමෙන් මෙලොවදී ම දුක් නිමාවට පත් කරන්නේ ය. එක් ප්‍රශ්නයකි, එක් ඉගෙනීමකි, එක් විසඳුමකි යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් පවසන ලද්දේ ද එය මෙකරුණ අරභයා කියන ලද්දේ ය.
2. ප්‍රශ්න දෙකකි, ඉගෙනීම් දෙකකි, විසඳුම් දෙකකි යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් පවසන ලද්දේ ද, එය කුමන කරුණක් අරභයා පැවසුවේ ද යත්;
ආයුෂ්මත්නි, භික්ෂුවක් ධර්මයන් දෙකක් පිළිබඳ ව මැනැවින් ලද අවබෝධයෙන් එපා වෙන්නේ ද, මැනැවින් නොඇලෙන්නේ ද, මැනැවින් නිදහස් වෙන්නේ ද, මැනැවින් එහි නිමාව දකින්නේ ද, මැනැවින් උත්තමාර්ථය අත්දකින්නේ ද, මෙලොව දී ම දුක් නිමාවට පත් කරන්නේ වේ. ඒ කවර වූ ධර්මයන් දෙකක් පිළිබඳ ව ද? එනම් නාමය ත්, රූපය ත් යන කරුණු දෙක පිළිබඳ යි. ආයුෂ්මත්නි, භික්ෂුවක් මේ ධර්මයන් දෙක පිළිබඳ ව මැනැවින් ලද අවබෝධයෙන් ම එපා වීමෙන්, මැනැවින් නොඇලීමෙන්, මැනැවින් නිදහස් වීමෙන්, මැනැවින් එහි නිමාව දැකීමෙන්, මැනැවින් උත්තමාර්ථයට පැමිණීමෙන් මෙලොවදී ම දුක් නිමාවට පත් කරන්නේ ය. ප්‍රශ්න දෙකකි, ඉගෙනීම් දෙකකි, විසඳුම් දෙකකි යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් පවසන ලද්දේ ද එය මෙකරුණ අරභයා කියන ලද්දේ ය.
3. ප්‍රශ්න තුනකි, ඉගෙනීම් තුනකි, විසඳුම් තුනකි යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් පවසන ලද්දේ ද, එය කුමන කරුණක් අරභයා පැවසුවේ ද යත්;
ආයුෂ්මත්නි, භික්ෂුවක් ධර්මයන් තුනක් පිළිබඳ ව මැනැවින් ලද අවබෝධයෙන් එපා වෙන්නේ ද, මැනැවින් නොඇලෙන්නේ ද, මැනැවින් නිදහස් වෙන්නේ ද, මැනැවින් එහි නිමාව දකින්නේ ද, මැනැවින් උත්තමාර්ථය අත්දකින්නේ ද, මෙලොව දී ම දුක් නිමාවට පත් කරන්නේ වේ. ඒ කවර වූ ධර්මයන් තුනක් පිළිබඳ ව ද? එනම් තුන් වේදනාවන් පිළිබඳ ව ය. ආයුෂ්මත්නි, භික්ෂුවක් මේ ධර්මයන් තුන පිළිබඳ ව මැනැවින් ලද අවබෝධයෙන් ම එපා වීමෙන්, මැනැවින් නොඇලීමෙන්, මැනැවින් නිදහස් වීමෙන්, මැනැවින් එහි නිමාව දැකීමෙන්, මැනැවින් උත්තමාර්ථයට පැමිණීමෙන් මෙලොවදී ම දුක් නිමාවට පත් කරන්නේ ය. ප්‍රශ්න තුනකි, ඉගෙනීම් තුනකි, විසඳුම් තුනකි යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් පවසන ලද්දේ ද එය මෙකරුණ අරභයා කියන ලද්දේ ය.
4. ප්‍රශ්න සතරකි, ඉගෙනීම් සතරකි, විසඳුම් සතරකි යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් පවසන ලද්දේ ද, එය කුමන කරුණක් අරභයා පැවසුවේ ද යත්;
ආයුෂ්මත්නි, භික්ෂුවක් ධර්මයන් සතරක් පිළිබඳ ව මැනැවින් දියුණුවට පත් කරන ලද සිතක් ඇත්තේ ද, මැනැවින් එහි නිමාව දකින්නේ ද, මැනැවින් උත්තමාර්ථය අත්දකින්නේ ද, මෙලොව දී ම දුක් නිමාවට පත් කරන්නේ වේ. ඒ කවර වූ ධර්මයන් සතරක් පිළිබඳ ව ද? එනම් සතර සතිපට්ඨානයන් පිළිබඳ ව යි. ආයුෂ්මත්නි, භික්ෂුවක් මේ ධර්මයන් සතර පිළිබඳ ව මැනැවින් දියුණුවට පත් කරන ලද සිතක් ඇත්තේ ද, මැනැවින් එහි නිමාව දැකීමෙන්, මැනැවින් උත්තමාර්ථයට පැමිණීමෙන් මෙලොවදී ම දුක් නිමාවට පත් කරන්නේ ය. ප්‍රශ්න සතරකි, ඉගෙනීම් සතරකි, විසඳුම් සතරකි යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් පවසන ලද්දේ ද එය මෙකරුණ අරභයා කියන ලද්දේ ය.
5.-8. ප්‍රශ්න පසකි, ඉගෙනීම් පසකි, විසඳුම් පසකි යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් පවසන ලද්දේ ද, එය කුමන කරුණක් අරභයා පැවසුවේ ද යත්;
ආයුෂ්මත්නි, භික්ෂුවක් ධර්මයන් පසක් පිළිබඳ ව මැනැවින් දියුණුවට පත් කරන ලද සිතක් ඇත්තේ ද, මැනැවින් එහි නිමාව දකින්නේ ද, මැනැවින් උත්තමාර්ථය අත්දකින්නේ ද, මෙලොව දී ම දුක් නිමාවට පත් කරන්නේ වේ. ඒ කවර වූ ධර්මයන් පසක් පිළිබඳ ව ද? එනම් පංච ඉන්ද්‍රිය ධර්මයන් ….(පෙ)…. ඒ කවර වූ ධර්මයක් සයක් පිළිබඳ ව ද? සය වැදෑරුම් නිස්සාරණීය ධාතූන් පිළිබඳ ව යි. ….(පෙ)…. ඒ කවර වූ ධර්මයක් සතක් පිළිබඳ ව ද? සත් වැදෑරුම් බොජ්ඣංගයන් පිළිබඳ ව යි. ….(පෙ)…. ඒ කවර වූ ධර්මයන් අටක් පිළිබඳ ව ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ ව යි. ආයුෂ්මත්නි, භික්ෂුවක් මේ ධර්මයන් අට පිළිබඳ ව මැනැවින් දියුණුවට පත් කරන ලද සිතක් ඇත්තේ ද, මැනැවින් එහි නිමාව දැකීමෙන්, මැනැවින් උත්තමාර්ථයට පැමිණීමෙන් මෙලොවදී ම දුක් නිමාවට පත් කරන්නේ ය. ප්‍රශ්න අටකි, ඉගෙනීම් අටකි, විසඳුම් අටකි යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් පවසන ලද්දේ ද එය මෙකරුණ අරභයා කියන ලද්දේ ය.
9. ප්‍රශ්න නවයකි, ඉගෙනීම් නවයකි, විසඳුම් නවයකි යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් පවසන ලද්දේ ද, එය කුමන කරුණක් අරභයා පැවසුවේ ද යත්;
ආයුෂ්මත්නි, භික්ෂුවක් ධර්මයන් නවයක් පිළිබඳ ව මැනැවින් ලද අවබෝධයෙන් එපා වෙන්නේ ද, මැනැවින් නොඇලෙන්නේ ද, මැනැවින් නිදහස් වෙන්නේ ද, මැනැවින් එහි නිමාව දකින්නේ ද, මැනැවින් උත්තමාර්ථය අත්දකින්නේ ද, මෙලොව දී ම දුක් නිමාවට පත් කරන්නේ වේ. ඒ කවර වූ ධර්මයන් නවයක් පිළිබඳ ව ද? එනම් නවයක් වූ සත්ව වාසභූමීන් පිළිබඳ ව යි. ආයුෂ්මත්නි, භික්ෂුවක් මේ ධර්මයන් නවය පිළිබඳ ව මැනැවින් ලද අවබෝධයෙන් ම එපා වීමෙන්, මැනැවින් නොඇලීමෙන්, මැනැවින් නිදහස් වීමෙන්, මැනැවින් එහි නිමාව දැකීමෙන්, මැනැවින් උත්තමාර්ථයට පැමිණීමෙන් මෙලොවදී ම දුක් නිමාවට පත් කරන්නේ ය. ප්‍රශ්න නවයකි, ඉගෙනීම් නවයකි, විසඳුම් නවයකි යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් පවසන ලද්දේ ද එය මෙකරුණ අරභයා කියන ලද්දේ ය.
10. ප්‍රශ්න දසයකි, ඉගෙනීම් දසයකි, විසඳුම් දසයකි යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් පවසන ලද්දේ ද, එය කුමන කරුණක් අරභයා පැවසුවේ ද යත්;
ආයුෂ්මත්නි, භික්ෂුවක් ධර්මයන් දසයක් පිළිබඳ ව මැනැවින් දියුණු කරන ලද සිතක් ඇත්තේ වේ ද, මැනැවින් එහි නිමාව දකින්නේ ද, මැනැවින් උත්තමාර්ථය අත්දකින්නේ ද, මෙලොව දී ම දුක් නිමාවට පත් කරන්නේ වේ. ඒ කවර වූ ධර්මයන් දසයක් පිළිබඳ ව ද? එනම් දස කුසල ධර්මයන් පිළිබඳ ව යි. ආයුෂ්මත්නි, භික්ෂුවක් මේ ධර්මයන් දසය පිළිබඳව මැනැවින් දියුණු කරන ලද සිතක් ඇත්තේ වේ ද, මැනැවින් එහි නිමාව දැකීමෙන්, මැනැවින් උත්තමාර්ථයට පැමිණීමෙන් මෙලොවදී ම දුක් නිමාවට පත් කරන්නේ ය. ප්‍රශ්න දසයකි, ඉගෙනීම් දසයකි, විසඳුම් දසයකි යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් පවසන ලද්දේ ද එය මෙකරුණ අරභයා කියන ලද්දේ ය.
මේ අයුරින් ආයුෂ්මත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් මහා ප්‍රශ්නයන්හිලා එක් ප්‍රශ්නයකි, එක් ඉගෙනීමකි, එකි විසඳුමකි. ….(පෙ)…. දස වෙය්‍යාකරණයකි යි යම් කරුණක් වදාරණ ලද්දේ ද, ආයුෂ්මත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් අරුත් හකුළුවා වදාරණ ලද මෙහි විස්තරාර්ථයන් මම ඔය අයුරින් දනිමි. ඉදින් ආයුෂ්මත්නි, ඔබ කැමත්තහු නම් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ ඔය අර්ථය විමසාලව්. භාග්‍යවතුන් වහන්සේ ඔබට යම් අයුරකින් වදාරණ සේක් නම්, ඒ අයුරින් ම එය දරා ගත යුත්තේ ය.”
“එසේ ය, ආර්යාවෙනි” යි කියා කජංගලාවැසි උපාසකවරු කජංගලා භික්ෂුණිය දෙසූ කරුණ සතුටින් පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැගිට කජංගලා භික්ෂුණියට වන්දනා කොට, පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් නම් එතැනට ගියාහු ය. ගොස් භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස්ව හුන්නාහු ය. එකත්පස් ව හුන් ඒ කජංගලාවාසී උපාසකවරු කජංගලා භික්ෂුණිය සමඟ යම්තාක් කථා සල්ලාපයෙක් වී ද, ඒ හැම භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ.
“ගෘහපතිවරුනි, සාදු! සාදු! ගෘහපතිවරුනි, කජංගලා භික්ෂුණිය පණ්ඩිත වන්නී ය. ගෘහපතිවරුනි, කජංගලා භික්ෂුණිය මහා ප්‍රඥාව ඇත්තී ය. ඉදින් ගෘහපතිවරුනි, ඔබ මා වෙත එළැඹ මෙම අර්ථය විමසන්නහු නම් මම ද කජංගලා භික්ෂුණිය විසින් යම් අයුරකින් පවසන ලද්දේ ද, ඒ අයුරින් ම පවසන්නෙමි. එහි අර්ථය ඔය කරුණ ම ය. එලෙසින් ම එය දරා ගත යුත්තේ ය.”
සාදු! සාදු!! සාදු!!!
දුතිය මහා පඤ්හ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M