අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.1.3.7. පඨම මහා පඤ්හ සුත්තං

10.1.3.7. මහා ප්‍රශ්නය ගැන වදාළ පළමු දෙසුම

එක් සමයෙක්හී භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහු ගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හී බොහෝ භික්ෂූහු පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන, පාත්‍රා සිවුරුත් ගෙන සැවැත් නුවරට පිඬු පිණිස පිවිසියාහු ය. එකල්හී ඒ භික්ෂූන්ට මේ අදහස ඇතිවිය. ‘සැවැත් නුවර පිණ්ඩපාතයේ වඩින්නට තවම වේලාසන වැඩි යි. එහෙයින් අපි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනක ඇත්තේ ද, එතැනට යන්නමෝ නම් මැනැවැ’යි.

එකල්හී ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනක ද, එතැනට ඒ භික්ෂූහු පැමිණියාහු ය. පැමිණ ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් සමඟ පිළිසඳර කතාබස් කළාහු ය. පිළිසඳර කතාබස් කොට එකත්පස් ව හිඳගත්තාහු ය. එකත්පස් ව හුන් ඒ භික්ෂූන්ට ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙකරුණ පැවසූහ.

“ආයුෂ්මත්නි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ශ්‍රාවකයන්ට මේ අයුරින් ධර්මය දේශනා කරති. එනම්, ‘එව් මහණෙනි, ඔබ සියළු ධර්මය මැනැවින් දැනගනිව්. සියළු ධර්මය විශිෂ්ට නුවණින් දැන දැන වාසය කරව්’ වශයෙනි. අපිත් ආයුෂ්මත්නි, ශ්‍රාවකයන්ට ඔය අයුරින් ම ධර්මය දෙසන්නෙමු. එනම්, ‘එව් ආයුෂ්මත්නි, ඔබ සියළු ධර්මය මැනැවින් දැනගනිව්. සියළු ධර්මය විශිෂ්ට නුවණින් දැන දැන වාසය කරව්’ වශයෙනි.

මෙසේ ඇති කල්හී ආයුෂ්මත්නි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ධර්ම දේශනාවේ මෙන් ම අනුශාසනාවේ ත්, අපගේ ධර්ම දේශනාවේ මෙන් ම අනුශාසනාවේ ත් කවර වූ විශේෂයක් ඇත්තේ ද? කවර වූ අදහසක් ඇත්තේ ද? කවර වූ වෙනස්කමක් ඇත්තේ ද?”

එකල්හී ඒ භික්ෂූහු ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ වචනය නොපිළිගත්හ. ප්‍රතික්ෂේප නොකළහ. නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට හුනස්නෙන් නැගී පිටත් ව ගියාහු ය. ‘භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ පැවසූ කරුණෙහි අර්ථය දැනගන්නෙමු’යි සිතා ය.

ඉක්බිති ඒ භික්ෂූහු සැවැත් නුවර පිණ්ඩපාතයෙහි හැසිර පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකී භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද එතැනට පැමිණියාහු ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, මෙහි අපි පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන, පාත්‍රා සිවුරුත් ගෙන සැවැත් නුවරට පිඬු පිණිස පිවිසියෙමු. ස්වාමීනී, එකල්හී අපට මේ අදහස ඇතිවිය. ‘සැවැත් නුවර පිණ්ඩපාතයේ වඩින්නට තවම වේලාසන වැඩි යි. එහෙයින් අපි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනක ඇත්තේ ද, එතැනට යන්නමෝ නම් මැනැවැ’යි.

එකල්හී ස්වාමීනී, ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනක ද, එතැනට අපි ගියෙමු. ගොස් ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් සමඟ පිළිසඳර කතාබස් කළෙමු. පිළිසඳර කතාබස් කොට එකත්පස් ව හිඳගත්තෙමු. ස්වාමීනී, එකත්පස් ව හුන් ඒ අපට ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙකරුණ පැවසූහ.

“ආයුෂ්මත්නි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ශ්‍රාවකයන්ට මේ අයුරින් ධර්මය දේශනා කරති. එනම්, ‘එව් මහණෙනි, ඔබ සියළු ධර්මය මැනැවින් දැනගනිව්. සියළු ධර්මය විශිෂ්ට නුවණින් දැන දැන වාසය කරව්’ වශයෙනි. අපිත් ආයුෂ්මත්නි, ශ්‍රාවකයන්ට ඔය අයුරින් ම ධර්මය දෙසන්නෙමු. එනම්, ‘එව් ආයුෂ්මත්නි, ඔබ සියළු ධර්මය මැනැවින් දැනගනිව්. සියළු ධර්මය විශිෂ්ට නුවණින් දැන දැන වාසය කරව්’ වශයෙනි.

මෙසේ ඇති කල්හී ආයුෂ්මත්නි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ධර්ම දේශනාවේ මෙන් ම අනුශාසනාවේ ත්, අපගේ ධර්ම දේශනාවේ මෙන් ම අනුශාසනාවේ ත් කවර වූ විශේෂයක් ඇත්තේ ද? කවර වූ අදහසක් ඇත්තේ ද? කවර වූ වෙනස්කමක් ඇත්තේ ද?”

එකල්හී ස්වාමීනී, අපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ වචනය නොපිළිගත්තෙමු. ප්‍රතික්ෂේප නොකළෙමු. නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට හුනස්නෙන් නැගී පිටත් ව ගියෙමු. ‘භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ පැවසූ කරුණෙහි අර්ථය දැනගන්නෙමු’යි සිතා ය.”

“මහණෙනි, එබඳු දෑ පවසන අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් හට මේ අයුරින් පිළිතුරු දිය යුතුය. ‘ආයුෂ්මත්නි, එක් ප්‍රශ්නයකි. එක් ඉගෙනීමකි. එක් විසඳුමකි. ප්‍රශ්න දෙකකි. ඉගෙනීම් දෙකකි. විසඳුම් දෙකකි. ප්‍රශ්න තුනකි. ඉගෙනීම් තුනකි. විසඳුම් තුනකි. ප්‍රශ්න සතරකි. ඉගෙනීම් සතරකි. විසඳුම් සතරකි. ප්‍රශ්න පසකි. ඉගෙනීම් පසකි. විසඳුම් පසකි. ප්‍රශ්න සයකි. ඉගෙනීම් සයකි. විසඳුම් සයකි. ප්‍රශ්න සතකි. ඉගෙනීම් සතකි. විසඳුම් සතකි. ප්‍රශ්න අටකි. ඉගෙනීම් අටකි. විසඳුම් අටකි. ප්‍රශ්න නවයකි. ඉගෙනීම් නවයකි. විසඳුම් නවයකි. ප්‍රශ්න දසයකි. ඉගෙනීම් දසයකි. විසඳුම් දසයකි’ වශයෙනි.

මහණෙනි, මෙසේ විමසූ කල්හී ඒ අන්‍ය තීර්ථක පිරිවැජියෝ කරුණු සපයා කියන්නට නොහැකි වන්නාහු ම ය. මත්තෙහි බොහෝ වෙහෙසට ද පත්වන්නාහු ම ය. මක් නිසාද යත්, මහණෙනි, යම් හෙයකින් එය තමන්ට විෂය නොවන හෙයිනි. මහණෙනි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බමුණන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු මේ ලෝකයෙහි යමෙක් මේ ප්‍රශ්නයන් විසඳීමෙන් සිත සතුටු කරන්නේ වේ ද, තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ මෙයින් අසා දැනගත් කෙනෙකුන් හෝ හැර වෙන කවරෙකු හෝ සිටින බවක් මම නොදකිමි.

1. එක් ප්‍රශ්නයකි, එක් ඉගෙනීමකි, එක් විසඳුමකි යනුවෙන් යමක් පවසන ලද්දේ ද, එය කුමන කරුණක් අරභයා පැවසුවේ ද යත්;

මහණෙනි, භික්ෂුවක් එක ධර්මයක් පිළිබඳ ව මැනැවින් ලද අවබෝධයෙන් එපා වෙන්නේ ද, මැනැවින් නොඇලෙන්නේ ද, මැනැවින් නිදහස් වෙන්නේ ද, මැනැවින් එහි නිමාව දකින්නේ ද, මැනැවින් උත්තමාර්ථය අත්දකින්නේ ද, මෙලොව දී ම දුක් නිමාවට පත් කරන්නේ වේ. ඒ කවර වූ එක් ධර්මයක් පිළිබඳ ව ද? එනම් ‘සියළු සත්වයෝ ආහාර ප්‍රත්‍යයෙන් සිටින්නාහු ය’ යන කරුණ යි. මහණෙනි, භික්ෂුවක් මේ එකම ධර්මය පිළිබඳ ව මැනැවින් ලද අවබෝධයෙන් ම එපා වීමෙන්, මැනැවින් නොඇලීමෙන්, මැනැවින් නිදහස් වීමෙන්, මැනැවින් එහි නිමාව දැකීමෙන්, මැනැවින් උත්තමාර්ථයට පැමිණීමෙන් මෙලොවදී ම දුක් නිමාවට පත් කරන්නේ ය. එක් ප්‍රශ්නයකි, එක් ඉගෙනීමකි, එක් විසඳුමකි යනුවෙන් යමක් පවසන ලද්දේ ද එය මෙකරුණ අරභයා කියන ලද්දේ ය.

2. ප්‍රශ්න දෙකකි, ඉගෙනීම් දෙකකි, විසඳුම් දෙකකි යනුවෙන් යමක් පවසන ලද්දේ ද, එය කුමන කරුණක් අරභයා පැවසුවේ ද යත්;

මහණෙනි, භික්ෂුවක් ධර්මයන් දෙකක් පිළිබඳ ව මැනැවින් ලද අවබෝධයෙන් එපා වෙන්නේ ද, මැනැවින් නොඇලෙන්නේ ද, මැනැවින් නිදහස් වෙන්නේ ද, මැනැවින් එහි නිමාව දකින්නේ ද, මැනැවින් උත්තමාර්ථය අත්දකින්නේ ද, මෙලොව දී ම දුක් නිමාවට පත් කරන්නේ වේ. ඒ කවර වූ ධර්මයන් දෙකක් පිළිබඳ ව ද? එනම් නාමය ත්, රූපය ත් යන කරුණු දෙක පිළිබඳ ව යි. මහණෙනි, භික්ෂුවක් මේ ධර්මයන් දෙක පිළිබඳව මැනැවින් ලද අවබෝධයෙන් ම එපා වීමෙන්, මැනැවින් නොඇලීමෙන්, මැනැවින් නිදහස් වීමෙන්, මැනැවින් එහි නිමාව දැකීමෙන්, මැනැවින් උත්තමාර්ථයට පැමිණීමෙන් මෙලොවදී ම දුක් නිමාවට පත් කරන්නේ ය. ප්‍රශ්න දෙකකි, ඉගෙනීම් දෙකකි, විසඳුම් දෙකකි යනුවෙන් යමක් පවසන ලද්දේ ද එය මෙකරුණ අරභයා කියන ලද්දේ ය.

3. ප්‍රශ්න තුනකි, ඉගෙනීම් තුනකි, විසඳුම් තුනකි යනුවෙන් යමක් පවසන ලද්දේ ද, එය කුමන කරුණක් අරභයා පැවසුවේ ද යත්;

මහණෙනි, භික්ෂුවක් ධර්මයන් තුනක් පිළිබඳව මැනැවින් ලද අවබෝධයෙන් එපා වෙන්නේ ද, මැනැවින් නොඇලෙන්නේ ද, මැනැවින් නිදහස් වෙන්නේ ද, මැනැවින් එහි නිමාව දකින්නේ ද, මැනැවින් උත්තමාර්ථය අත්දකින්නේ ද, මෙලොව දී ම දුක් නිමාවට පත් කරන්නේ වේ. ඒ කවර වූ ධර්මයන් තුනක් පිළිබඳ ව ද? එනම් තුන් වේදනාවන් පිළිබඳ ව ය. මහණෙනි, භික්ෂුවක් මේ ධර්මයන් තුන පිළිබඳ ව මැනැවින් ලද අවබෝධයෙන් ම එපා වීමෙන්, මැනැවින් නොඇලීමෙන්, මැනැවින් නිදහස් වීමෙන්, මැනැවින් එහි නිමාව දැකීමෙන්, මැනැවින් උත්තමාර්ථයට පැමිණීමෙන් මෙලොවදී ම දුක් නිමාවට පත් කරන්නේ ය. ප්‍රශ්න තුනකි, ඉගෙනීම් තුනකි, විසඳුම් තුනකි යනුවෙන් යමක් පවසන ලද්දේ ද එය මෙකරුණ අරභයා කියන ලද්දේ ය.

4. ප්‍රශ්න සතරකි, ඉගෙනීම් සතරකි, විසඳුම් සතරකි යනුවෙන් යමක් පවසන ලද්දේ ද, එය කුමන කරුණක් අරභයා පැවසුවේ ද යත්;

මහණෙනි, භික්ෂුවක් ධර්මයන් සතරක් පිළිබඳ ව මැනැවින් ලද අවබෝධයෙන් එපා වෙන්නේ ද, මැනැවින් නොඇලෙන්නේ ද, මැනැවින් නිදහස් වෙන්නේ ද, මැනැවින් එහි නිමාව දකින්නේ ද, මැනැවින් උත්තමාර්ථය අත්දකින්නේ ද, මෙලොව දී ම දුක් නිමාවට පත් කරන්නේ වේ. ඒ කවර වූ ධර්මයන් සතරක් පිළිබඳ ව ද? එනම් සතර ආහාර පිළිබඳ ව යි. මහණෙනි, භික්ෂුවක් මේ ධර්මයන් සතර පිළිබඳ ව මැනැවින් ලද අවබෝධයෙන් ම එපා වීමෙන්, මැනැවින් නොඇලීමෙන්, මැනැවින් නිදහස් වීමෙන්, මැනැවින් එහි නිමාව දැකීමෙන්, මැනැවින් උත්තමාර්ථයට පැමිණීමෙන් මෙලොවදී ම දුක් නිමාවට පත් කරන්නේ ය. ප්‍රශ්න සතරකි, ඉගෙනීම් සතරකි, විසඳුම් සතරකි යනුවෙන් යමක් පවසන ලද්දේ ද එය මෙකරුණ අරභයා කියන ලද්දේ ය.

5. ප්‍රශ්න පසකි, ඉගෙනීම් පසකි, විසඳුම් පසකි යනුවෙන් යමක් පවසන ලද්දේ ද, එය කුමන කරුණක් අරභයා පැවසුවේ ද යත්;

මහණෙනි, භික්ෂුවක් ධර්මයන් පසක් පිළිබඳ ව මැනැවින් ලද අවබෝධයෙන් එපා වෙන්නේ ද, මැනැවින් නොඇලෙන්නේ ද, මැනැවින් නිදහස් වෙන්නේ ද, මැනැවින් එහි නිමාව දකින්නේ ද, මැනැවින් උත්තමාර්ථය අත්දකින්නේ ද, මෙලොව දී ම දුක් නිමාවට පත් කරන්නේ වේ. ඒ කවර වූ ධර්මයන් පසක් පිළිබඳ ව ද? එනම් පංච උපාදානස්කන්ධයන් පිළිබඳ ව යි. මහණෙනි, භික්ෂුවක් මේ ධර්මයන් පස පිළිබඳ ව මැනැවින් ලද අවබෝධයෙන් ම එපා වීමෙන්, මැනැවින් නොඇලීමෙන්, මැනැවින් නිදහස් වීමෙන්, මැනැවින් එහි නිමාව දැකීමෙන්, මැනැවින් උත්තමාර්ථයට පැමිණීමෙන් මෙලොවදී ම දුක් නිමාවට පත් කරන්නේ ය. ප්‍රශ්න පසකි, ඉගෙනීම් පසකි, විසඳුම් පසකි යනුවෙන් යමක් පවසන ලද්දේ ද එය මෙකරුණ අරභයා කියන ලද්දේ ය.

6. ප්‍රශ්න සයකි, ඉගෙනීම් සයකි, විසඳුම් සයකි යනුවෙන් යමක් පවසන ලද්දේ ද, එය කුමන කරුණක් අරභයා පැවසුවේ ද යත්;

මහණෙනි, භික්ෂුවක් ධර්මයන් සයක් පිළිබඳ ව මැනැවින් ලද අවබෝධයෙන් එපා වෙන්නේ ද, මැනැවින් නොඇලෙන්නේ ද, මැනැවින් නිදහස් වෙන්නේ ද, මැනැවින් එහි නිමාව දකින්නේ ද, මැනැවින් උත්තමාර්ථය අත්දකින්නේ ද, මෙලොව දී ම දුක් නිමාවට පත් කරන්නේ වේ. ඒ කවර වූ ධර්මයන් සයක් පිළිබඳ ව ද? එනම් තමා තුළ ඇති ආයතන සය පිළිබඳ ව යි. මහණෙනි, භික්ෂුවක් මේ ධර්මයන් සය පිළිබඳ ව මැනැවින් ලද අවබෝධයෙන් ම එපා වීමෙන්, මැනැවින් නොඇලීමෙන්, මැනැවින් නිදහස් වීමෙන්, මැනැවින් එහි නිමාව දැකීමෙන්, මැනැවින් උත්තමාර්ථයට පැමිණීමෙන් මෙලොවදී ම දුක් නිමාවට පත් කරන්නේ ය. ප්‍රශ්න සයකි, ඉගෙනීම් සයකි, විසඳුම් සයකි යනුවෙන් යමක් පවසන ලද්දේ ද එය මෙකරුණ අරභයා කියන ලද්දේ ය.

7. ප්‍රශ්න සතකි, ඉගෙනීම් සතකි, විසඳුම් සතකි යනුවෙන් යමක් පවසන ලද්දේ ද, එය කුමන කරුණක් අරභයා පැවසුවේ ද යත්;

මහණෙනි, භික්ෂුවක් ධර්මයන් සතක් පිළිබඳ ව මැනැවින් ලද අවබෝධයෙන් එපා වෙන්නේ ද, මැනැවින් නොඇලෙන්නේ ද, මැනැවින් නිදහස් වෙන්නේ ද, මැනැවින් එහි නිමාව දකින්නේ ද, මැනැවින් උත්තමාර්ථය අත්දකින්නේ ද, මෙලොව දී ම දුක් නිමාවට පත් කරන්නේ වේ. ඒ කවර වූ ධර්මයන් සතක් පිළිබඳ ව ද? එනම් උපත පිණිස විඤ්ඤාණය පිහිටන ස්ථාන සත පිළිබඳ ව යි. මහණෙනි, භික්ෂුවක් මේ ධර්මයන් සත පිළිබඳ ව මැනැවින් ලද අවබෝධයෙන් ම එපා වීමෙන්, මැනැවින් නොඇලීමෙන්, මැනැවින් නිදහස් වීමෙන්, මැනැවින් එහි නිමාව දැකීමෙන්, මැනැවින් උත්තමාර්ථයට පැමිණීමෙන් මෙලොවදී ම දුක් නිමාවට පත් කරන්නේ ය. ප්‍රශ්න සතකි, ඉගෙනීම් සතකි, විසඳුම් සතකි යනුවෙන් යමක් පවසන ලද්දේ ද එය මෙකරුණ අරභයා කියන ලද්දේ ය.

8. ප්‍රශ්න අටකි, ඉගෙනීම් අටකි, විසඳුම් අටකි යනුවෙන් යමක් පවසන ලද්දේ ද, එය කුමන කරුණක් අරභයා පැවසුවේ ද යත්;

මහණෙනි, භික්ෂුවක් ධර්මයන් අටක් පිළිබඳ ව මැනැවින් ලද අවබෝධයෙන් එපා වෙන්නේ ද, මැනැවින් නොඇලෙන්නේ ද, මැනැවින් නිදහස් වෙන්නේ ද, මැනැවින් එහි නිමාව දකින්නේ ද, මැනැවින් උත්තමාර්ථය අත්දකින්නේ ද, මෙලොව දී ම දුක් නිමාවට පත් කරන්නේ වේ. ඒ කවර වූ ධර්මයන් අටක් පිළිබඳ ව ද? එනම් අෂ්ට ලෝක ධර්මයන් පිළිබඳ ව යි. මහණෙනි, භික්ෂුවක් මේ ධර්මයන් පිළිබඳ ව මැනැවින් ලද අවබෝධයෙන් ම එපා වීමෙන්, මැනැවින් නොඇලීමෙන්, මැනැවින් නිදහස් වීමෙන්, මැනැවින් එහි නිමාව දැකීමෙන්, මැනැවින් උත්තමාර්ථයට පැමිණීමෙන් මෙලොවදී ම දුක් නිමාවට පත් කරන්නේ ය. ප්‍රශ්න අටකි, ඉගෙනීම් අටකි, විසඳුම් අටකි යනුවෙන් යමක් පවසන ලද්දේ ද එය මෙකරුණ අරභයා කියන ලද්දේ ය.

9. ප්‍රශ්න නවයකි, ඉගෙනීම් නවයකි, විසඳුම් නවයකි යනුවෙන් යමක් පවසන ලද්දේ ද, එය කුමන කරුණක් අරභයා පැවසුවේ ද යත්;

මහණෙනි, භික්ෂුවක් ධර්මයන් නවයක් පිළිබඳ ව මැනැවින් ලද අවබෝධයෙන් එපා වෙන්නේ ද, මැනැවින් නොඇලෙන්නේ ද, මැනැවින් නිදහස් වෙන්නේ ද, මැනැවින් එහි නිමාව දකින්නේ ද, මැනැවින් උත්තමාර්ථය අත්දකින්නේ ද, මෙලොව දී ම දුක් නිමාවට පත් කරන්නේ වේ. ඒ කවර වූ ධර්මයන් නවයක් පිළිබඳ ව ද? එනම් නවයක් වූ සත්ව වාසභූමීන් පිළිබඳ ව යි. මහණෙනි, භික්ෂුවක් මේ ධර්මයන් නවය පිළිබඳ ව මැනැවින් ලද අවබෝධයෙන් ම එපා වීමෙන්, මැනැවින් නොඇලීමෙන්, මැනැවින් නිදහස් වීමෙන්, මැනැවින් එහි නිමාව දැකීමෙන්, මැනැවින් උත්තමාර්ථයට පැමිණීමෙන් මෙලොවදී ම දුක් නිමාවට පත් කරන්නේ ය. ප්‍රශ්න නවයකි, ඉගෙනීම් නවයකි, විසඳුම් නවයකි යනුවෙන් යමක් පවසන ලද්දේ ද එය මෙකරුණ අරභයා කියන ලද්දේ ය.

10. ප්‍රශ්න දසයකි, ඉගෙනීම් දසයකි, විසඳුම් දසයකි යනුවෙන් යමක් පවසන ලද්දේ ද, එය කුමන කරුණක් අරභයා පැවසුවේ ද යත්;

මහණෙනි, භික්ෂුවක් ධර්මයන් දසයක් පිළිබඳ ව මැනැවින් ලද අවබෝධයෙන් එපා වෙන්නේ ද, මැනැවින් නොඇලෙන්නේ ද, මැනැවින් නිදහස් වෙන්නේ ද, මැනැවින් එහි නිමාව දකින්නේ ද, මැනැවින් උත්තමාර්ථය අත්දකින්නේ ද, මෙලොව දී ම දුක් නිමාවට පත් කරන්නේ වේ. ඒ කවර වූ ධර්මයන් දසයක් පිළිබඳ ව ද? එනම් දස අකුසල ධර්මයන් පිළිබඳ ව යි. මහණෙනි, භික්ෂුවක් මේ ධර්මයන් දසය පිළිබඳ ව මැනැවින් ලද අවබෝධයෙන් ම එපා වීමෙන්, මැනැවින් නොඇලීමෙන්, මැනැවින් නිදහස් වීමෙන්, මැනැවින් එහි නිමාව දැකීමෙන්, මැනැවින් උත්තමාර්ථයට පැමිණීමෙන් මෙලොවදී ම දුක් නිමාවට පත් කරන්නේ ය. ප්‍රශ්න දසයකි, ඉගෙනීම් දසයකි, විසඳුම් දසයකි යනුවෙන් යමක් පවසන ලද්දේ ද එය මෙකරුණ අරභයා කියන ලද්දේ ය.

සාදු! සාදු!! සාදු!!!

පඨම මහා පඤ්හ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M