අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.1.3.6. කාලී සුත්තං

10.1.3.6. කාලී උපාසිකාවට වදාළ දෙසුම

එක් සමයෙක්හි ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේ අවන්තියෙහි කුරරඝර සමීපයෙහි පවත්ත නම් පර්වතයෙහි වැඩවසන සේක. එකල්හී කුරරඝරවාසී කාලී උපාසිකා තොමෝ ආයුෂ්මත් මහා කච්චාන තෙරුන් යම් තැනක වැඩසිටින සේක් ද එතැනට පැමිණියා ය. පැමිණ ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේ සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තා ය. එකත්පස් ව හුන් කුරරඝරවැසි කාලී උපාසිකා තොමෝ ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේට මෙය පැවසුවා ය.

“ස්වාමීනී, අප භාග්‍යවතුන් වහන්සේ විසින් කුමාරි ප්‍රශ්නයෙහි දී මෙසේ වදාරණ ලද්දේ ය.

‘ප්‍රිය ස්වභාව ඇති, මියුරු ස්වභාව ඇති මර සෙනඟ පරදවා අරහත්වය නම් වූ උත්තමාර්ථයට පැමිණ හෘදයෙහි ශාන්ති සැපය අත්දුටුවෙමි. එහෙයින් හුදෙකලාවේ දැහැන් වඩමි. එනිසා මාගේ අවබෝධයට කිසිවෙකු හෝ සාක්ෂි කරුවන් නොකරමි. කිසිවෙකු හා මාගේ ධර්මය පිණිස සාක්ෂි නොසැපයේ’ යනුවෙනි.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් කරුණු හකුළුවා වදාරණ ලද මෙම ධර්මයෙහි අර්ථය විස්තර වශයෙන් දත යුත්තේ කෙසේ ද?”

“සොයුරිය, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු පඨවි කසිණ සමාපත්තිය ශ්‍රේෂ්ඨ යැයි කියා, එය උත්තමාර්ථය වශයෙන් සළකා සමවත් ඉපැද්දවූහ. එනමුදු සොයුරිය, පඨවි කසිණ සමාපත්තියෙහි යම්තාක් උතුම් බවක් ඇද්ද, අප භාග්‍යවතුන් වහන්සේ විශිෂ්ට නුවණින් එය දත් සේක. භාග්‍යවතුන් වහන්සේ විශිෂ්ට නුවණින් එය දැන එහි ඇති තෘෂ්ණාව ද දුටු සේක. එහි ඇති ආදීනව ද දුටු සේක. එහි ඡන්දරාගය ප්‍රහාණය වීම ද දුටු සේක. මාර්ගය ත්, අමාර්ගය ත් පිළිබඳව ඥාන දර්ශනය දුටු සේක. මෙසේ ඒ කසිණයෙහි මුල් කරුණ දුටු හේතුවෙන්, ආදීනව දුටු හේතුවෙන්, නිස්සරණය දුටු හේතුවෙන් මග්ගාමග්ග ඥානදර්ශනය දුටු හේතුවෙන් ය භාග්‍යවතුන් වහන්සේ විසින් උත්තමාර්ථයට පත් වීම නම් වූ අරහත්වයත්, එය ම හෘදයෙහි ශාන්තිය ත් වශයෙන් දන්නා ලද්දේ.

සොයුරිය, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ආපෝ කසිණ සමාපත්තිය ශ්‍රේෂ්ඨ යැයි කියා, එය උත්තමාර්ථය වශයෙන් සළකා සමවත් ඉපැද්දවූහ. ….(පෙ)…. සොයුරිය, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු තේජෝ කසිණ සමාපත්තිය ශ්‍රේෂ්ඨ යැයි කියා, එය උත්තමාර්ථය වශයෙන් සළකා සමවත් ඉපැද්දවූහ. ….(පෙ)….සොයුරිය, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු වායෝ කසිණ සමාපත්තිය ශ්‍රේෂ්ඨ යැයි කියා, එය උත්තමාර්ථය වශයෙන් සළකා සමවත් ඉපැද්දවූහ. ….(පෙ)…. සොයුරිය, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු නිල් පැහැයෙන් යුතු කසිණ සමාපත්තිය ශ්‍රේෂ්ඨ යැයි කියා, එය උත්තමාර්ථය වශයෙන් සළකා සමවත් ඉපැද්දවූහ. ….(පෙ)…. සොයුරිය, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු කහ පැහැයෙන් යුතු කසිණ සමාපත්තිය ශ්‍රේෂ්ඨ යැයි කියා, එය උත්තමාර්ථය වශයෙන් සළකා සමවත් ඉපැද්දවූහ. ….(පෙ)…. සොයුරිය, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු රතු පැහැයෙන් යුතු කසිණ සමාපත්තිය ශ්‍රේෂ්ඨ යැයි කියා, එය උත්තමාර්ථය වශයෙන් සළකා සමවත් ඉපැද්දවූහ. ….(පෙ)…. සොයුරිය, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු සුදු පැහැයෙන් යුතු කසිණ සමාපත්තිය ශ්‍රේෂ්ඨ යැයි කියා, එය උත්තමාර්ථය වශයෙන් සළකා සමවත් ඉපැද්දවූහ. ….(පෙ)…. සොයුරිය, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ආකාස කසිණ සමාපත්තිය ශ්‍රේෂ්ඨ යැයි කියා, එය උත්තමාර්ථය වශයෙන් සළකා සමවත් ඉපැද්දවූහ. ….(පෙ)….

සොයුරිය, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු විඤ්ඤාණ කසිණ සමාපත්තිය ශ්‍රේෂ්ඨ යැයි කියා, එය උත්තමාර්ථය වශයෙන් සළකා සමවත් ඉපැද්දවූහ. එනමුදු සොයුරිය, විඤ්ඤාණ කසිණ සමාපත්තියෙහි යම්තාක් උතුම් බවක් ඇද්ද, අප භාග්‍යවතුන් වහන්සේ විශිෂ්ට නුවණින් එය දත් සේක. භාග්‍යවතුන් වහන්සේ විශිෂ්ට නුවණින් එය දැන එහි ඇති තෘෂ්ණාව ද දුටු සේක. එහි ඇති ආදීනව ද දුටු සේක. එහි ඡන්දරාගය ප්‍රහාණය වීම ද දුටු සේක. මාර්ගය ත්, අමාර්ගය ත් පිළිබඳව ඥාන දර්ශනය දුටු සේක. මෙසේ ඒ කසිණයෙහි මුල් කරුණ දුටු හේතුවෙන්, ආදීනව දුටු හේතුවෙන්, නිස්සරණය දුටු හේතුවෙන් මග්ගාමග්ග ඥානදර්ශනය දුටු හේතුවෙන් ය භාග්‍යවතුන් වහන්සේ විසින් උත්තමාර්ථයට පත් වීම නම් වූ අරහත්වයත්, එය ම හෘදයෙහි ශාන්තිය ත් වශයෙන් දන්නා ලද්දේ.

සොයුරිය, භාග්‍යවතුන් වහන්සේ විසින් කුමාරි ප්‍රශ්නයෙහි දී යම් කරුණක් මෙසේ වදාරණ ලද්දේ නම්,

‘ප්‍රිය ස්වභාව ඇති, මියුරු ස්වභාව ඇති මර සෙනඟ පරදවා අරහත්වය නම් වූ උත්තමාර්ථයට පැමිණ හෘදයෙහි ශාන්ති සැපය අත්දුටුවෙමි. එහෙයින් හුදෙකලාවේ දැහැන් වඩමි. එනිසා මාගේ අවබෝධයට කිසිවෙකු හෝ සාක්ෂි කරුවන් නොකරමි. කිසිවෙකු හා මාගේ ධර්මය පිණිස සාක්ෂි නොසැපයේ’ යනුවෙනි.

සොයුරිය, භාග්‍යවතුන් වහන්සේ විසින් කරුණු හකුළුවා වදාරණ ලද මෙම ධර්මයෙහි අර්ථය විස්තර වශයෙන් දත යුත්තේ ඔය අයුරිනි.”

සාදු! සාදු!! සාදු!!!

කාලී සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M