අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.1.3.2. අධිවුත්තිපද සුත්තං

10.1.3.2. අධිවචනයන්ගේ කාරණය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය ………..

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළ සේක.

“ආනන්දයෙනි, ඒ ඒ දෘෂ්ටිගත වූ ව්‍යවහාරයන් විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කිරීම පිණිස උපකාරී වන යම් මේ ධර්මයෝ ඇද්ද,

ආනන්දයෙනි, එහිලා ඒ ඒ දෘෂ්ටිගතිකයන් හට ඒ ඒ අයුරින් ධර්මය දේශනා කිරීමට මම විශාරද බව ප්‍රතිඥා දෙමි. යම් යම් අයුරින් පිළිපන්නේ තිබෙන්නා වූ දෙය තිබේ යැයි දන්නේ ද, නොතිබෙන්නා වූ දෙය නොතිබේ යැයි දන්නේ ද, ළාමක වූ දෙය ළාමක යැයි දන්නේ ද, උතුම් වූ දෙය උතුම් යැයි දන්නේ ද, විශේෂ සහිත වූ දෙය විශේෂ සහිත යැයි දන්නේ ද, අනුත්තර වූ දෙය අනුත්තර යැයි දන්නේ ද, යම් යම් අයුරකින් යමක් දැනගත යුතු වේවා, දැක ගත යුතු වේවා, සාක්ෂාත් කළ යුතු වේවා, ඒ ඒ අයුරින් එය දන්නේ ද, දක්නේ ද, සාක්ෂාත් කරන්නේ ද යන මේ කාරණය විද්‍යමාන වූ දෙයකි. ආනන්දයෙනි, ඒ ඒ තන්හි ඇත්ත ඇති සැටියෙන් දකිනා ඥානයක් ඇද්ද, මෙය සියළු ඥානයන් අතර අනුත්තරීය වෙයි. එහෙයින් ආනන්දයෙනි, එම යථාභූත ඥානයට වඩා අන්‍ය වූ උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ ඥානයක් නැතැයි කියමි.

ආනන්දයෙනි, තථාගතයන් වහන්සේට තථාගත බල දසයක් ඇත. ඒ දසබලයෙන් සමන්විත වූ තථාගත තෙමේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රතිඥා දෙයි. පිරිස් අතරෙහි සිංහනාද කරයි. බ්‍රහ්ම චක්‍රය ප්‍රවර්තනය කරයි. ඒ කවර දසයක් ද යත්;

1. ආනන්දයෙනි, මෙහිලා තථාගත තෙමේ විය හැකි දේ විය හැකි දේ වශයෙනුත්, නොවිය හැකි දේ නොවිය හැකි දේ වශයෙනුත් ඇත්ත ඇති සැටියෙන් ම දනියි. ආනන්දය, යම් හෙයකින් තථාගත තෙමේ විය හැකි දේ විය හැකි දේ වශයෙනුත්, නොවිය හැකි දේ නොවිය හැකි දේ වශයෙනුත් ඇත්ත ඇති සැටියෙන් ම දන්නේ ද, යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රතිඥා කරත් නම්, පිරිස් අතරෙහි සිහනද පතුරුවත් නම්, බ්‍රහ්ම චක්‍රය ප්‍රවර්තනය කරත් නම්, එයට හේතුව වූ මෙය ද ආනන්දයෙනි, තථාගතයන්ගේ තථාගත බලයකි.

2. තව ද ආනන්දයෙනි, තථාගත තෙමේ අතීත වූත්, අනාගත වූත්, වර්තමාන වූත් කර්ම කරන්නවුන්ගේ විපාකය හේතු වශයෙන් ද, තැන් වශයෙන් ද ඇත්ත ඇති සැටියෙන් ම දනියි. ආනන්දයෙනි, යම් හෙයකින් ….(පෙ)…. මෙය ද ආනන්දයෙනි, තථාගතයන්ගේ තථාගත බලයකි.

3. තව ද ආනන්දයෙනි, තථාගත තෙමේ සියළු තැන යන්නට හේතු වන ප්‍රතිපදාව ඇත්ත ඇති සැටියෙන් ම දනියි. ආනන්දයෙනි, යම් හෙයකින් ….(පෙ)…. මෙය ද ආනන්දයෙනි, තථාගතයන්ගේ තථාගත බලයකි.

4. තව ද ආනන්දයෙනි, තථාගත තෙමේ අනේක ධාතු ස්වභාවයෙන් යුතු, නා නා ධාතු ස්වභාවයෙන් යුතු ලෝකය ඇත්ත ඇති සැටියෙන් ම දනියි. ආනන්දයෙනි, යම් හෙයකින් ….(පෙ)…. මෙය ද ආනන්දයෙනි, තථාගතයන්ගේ තථාගත බලයකි.

5. තව ද ආනන්දයෙනි, තථාගත තෙමේ සත්වයන්ගේ නොයෙක් නොයෙක් ගති ස්වභාවයන් පිහිටා ඇති අයුරු ඇත්ත ඇති සැටියෙන් ම දනියි. ආනන්දයෙනි, යම් හෙයකින් ….(පෙ)…. මෙය ද ආනන්දයෙනි, තථාගතයන්ගේ තථාගත බලයකි.

6. තව ද ආනන්දයෙනි, තථාගත තෙමේ බාහිර සත්වයන්ගේ බාහිර පුද්ගලයන්ගේ උසස් පහත් ආදී ඉන්ද්‍රිය ස්වභාවයන් පිහිටා ඇති අයුරු ඇත්ත ඇති සැටියෙන් ම දනියි. ආනන්දයෙනි, යම් හෙයකින් ….(පෙ)…. මෙය ද ආනන්දයෙනි, තථාගතයන්ගේ තථාගත බලයකි.

7. තව ද ආනන්දයෙනි, තථාගත තෙමේ ධ්‍යාන, විමෝක්ෂ, සමාධි, සමාපත්ති ආදියෙහි කිළුටු වීමත්, පිරිසිදු වීමත්, නැගී සිටීමත් ඇත්ත ඇති සැටියෙන් ම දනියි. ආනන්දයෙනි, යම් හෙයකින් ….(පෙ)…. මෙය ද ආනන්දයෙනි, තථාගතයන්ගේ තථාගත බලයකි.

8. තව ද ආනන්දයෙනි, තථාගත තෙමේ අනේක ප්‍රකාර වූ පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයි. එනම් එක උපතක් වශයෙන් ද, උපත් දෙකක් වශයෙන් ද, ….(පෙ)…. මෙසේ කරුණු සහිත වූ, විස්තර සහිත වූ, අනේක ප්‍රකාර වූ පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයි. ආනන්දයෙනි, යම් හෙයකින් ….(පෙ)…. මෙය ද ආනන්දයෙනි, තථාගතයන්ගේ තථාගත බලයකි.

9. තව ද ආනන්දයෙනි, තථාගත තෙමේ මිනිස් දැක්ම ඉක්මවා ගිය විශුද්ධ දිව්‍ය නේත්‍රයෙන් චුතවන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකියි. ….(පෙ)…. සුගතියේ ත් දුගතියේ ත් උපදින අයුරු දනියි. ආනන්දයෙනි, යම් හෙයකින් ….(පෙ)…. මෙය ද ආනන්දයෙනි, තථාගතයන්ගේ තථාගත බලයකි.

10. තව ද ආනන්දයෙනි, තථාගත තෙමේ ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදී ම තම විශිෂ්ට නුවණින් අත්දැක එයට පැමිණ වාසය කරයි. ආනන්දයෙනි, යම් හෙයකින් ….(පෙ)…. මෙය ද ආනන්දයෙනි, තථාගතයන්ගේ තථාගත බලයකි.

ආනන්දයෙනි, තථාගතයන් වහන්සේට ඇත්තේ මෙම තථාගත දස බලයන් ය. මේ දසබලයෙන් සමන්විත වූ තථාගත තෙමේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රතිඥා දෙයි. පිරිස් අතරෙහි සිංහනාද කරයි. බ්‍රහ්ම චක්‍රය ප්‍රවර්තනය කරයි.

සාදු! සාදු!! සාදු!!!

අධිවුත්තිපද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M