අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.1.3.3. කාය සුත්තං

10.1.3.3. කය මුල්කොට වදාළ දෙසුම

සැවැත් නුවර දී ය ………..

“මහණෙනි, කයෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයන් ඇත. ඒවා වචනයෙන් ප්‍රහාණය කළ නොහැකි ය. මහණෙනි, වචනයෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයන් ඇත. ඒවා කයෙන් ප්‍රහාණය කළ නොහැකි ය. මහණෙනි, කයෙනුත් ප්‍රහාණය කළ නොහැකි වූ වචනයෙනුත් ප්‍රහාණය කළ නොහැකි වූ ධර්මයන් ඇත. ඒවා ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කළ යුත්තේ ය.

මහණෙනි, කයෙන් ප්‍රහාණය කළ යුතු වූත්, වචනයෙන් ප්‍රහාණය නොකළ හැකි වූත් ධර්මයන් මොනවා ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව කය මුල්කොට කිසියම් දොස් සහිත අකුසලයකට පත්වූයේ වෙයි. එවිට ඒ භික්ෂුවට නුවණැති සබ්‍රහ්මචාරීහු කරුණු සහිත ව මෙසේ කියති. ‘ආයුෂ්මතුනි, කය මුල්කොට කිසියම් දොස් සහිත අකුසලයකට ඔබ පත් වී ඇත. ආයුෂ්මතුන් ඒ කාය දුශ්චරිතය ප්‍රහාණය කොට කාය සුචරිතය දියුණු කරාවා! එය යහපත් ය.’ නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලා කරුණු සහිත ව පවසන විට ඒ භික්ෂුව කාය දුශ්චරිතය ප්‍රහාණය කොට කාය සුචරිතය දියුණු කරයි. මහණෙනි, මේ ධර්මයෝ කයින් ප්‍රහාණය කළ යුත්තාහු ය. වචනයෙන් නොවේ’ යි කියනු ලැබේ.

මහණෙනි, වචනයෙන් ප්‍රහාණය කළ යුතු වූත්, කයෙන් ප්‍රහාණය නොකළ හැකි වූත් ධර්මයන් මොනවා ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව වචනය මුල්කොට කිසියම් දොස් සහිත අකුසලයකට පත්වූයේ වෙයි. එවිට ඒ භික්ෂුවට නුවණැති සබ්‍රහ්මචාරීහු කරුණු සහිත ව මෙසේ කියති. ‘ආයුෂ්මතුනි, වචනය මුල්කොට කිසියම් දොස් සහිත අකුසලයකට ඔබ පත් වී ඇත. ආයුෂ්මතුන් ඒ වචී දුශ්චරිතය ප්‍රහාණය කොට වචී සුචරිතය දියුණු කරාවා! එය යහපත් ය.’ නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලා කරුණු සහිත ව පවසන විට ඒ භික්ෂුව වචී දුශ්චරිතය ප්‍රහාණය කොට වචී සුචරිතය දියුණු කරයි. මහණෙනි, මේ ධර්මයෝ වචනයෙන් ප්‍රහාණය කළ යුත්තාහු ය. කයෙන් නොවේ’ යි කියනු ලැබේ.

මහණෙනි, කයෙනුත් නොව, වචනයෙනුත් නොව ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කළ යුතු ධර්මයන් මොනවා ද?

මහණෙනි, ලෝභය යනු කයෙනුත් ප්‍රහාණය කළ නොහැකි වූ, වචනයෙනුත් ප්‍රහාණය කළ නොහැකි වූ ප්‍රඥාවෙන් ම දැක දැක ප්‍රහාණය කළ යුතු දෙයකි. මහණෙනි, ද්වේෂය යනු ….(පෙ)…. මහණෙනි, මෝහය යනු ….(පෙ)…. මහණෙනි, ක්‍රෝධය යනු ….(පෙ)…. මහණෙනි, බද්ධ වෛරය යනු ….(පෙ)…. මහණෙනි, ගුණමකු බව යනු ….(පෙ)…. මහණෙනි, එකට එක කිරීම යනු ….(පෙ)…. මහණෙනි, මසුරුබව යනු කයෙනුත් ප්‍රහාණය කළ නොහැකි වූ, වචනයෙනුත් ප්‍රහාණය කළ නොහැකි වූ ප්‍රඥාවෙන් ම දැක දැක ප්‍රහාණය කළ යුතු දෙයකි.

මහණෙනි, පවිටු ඊර්ෂ්‍යාව කයෙන් ප්‍රහාණය කළ නොහැකි ය. වචනයෙන් ප්‍රහාණය කළ නොහැකි ය. ප්‍රඥාවෙන් ම දැක දැක ප්‍රහාණය කළ යුතු ය. මහණෙනි, පවිටු ඊර්ෂ්‍යාව යනු කුමක් ද?

මහණෙනි, මෙහිලා ගෘහපතියෙකුට හෝ ගෘහපති පුත්‍රයෙකුට හෝ ධනයෙන් වේවා, ධාන්‍යයෙන් වේවා, රිදියෙන් වේවා, රනින් වේවා යම් දියුණුවක් වෙයි. එහිලා වෙනත් දාසයෙකුට වේවා, එහි වසන කෙනෙකුට වේවා මෙවැනි අදහසක් ඇතිවෙයි. ‘අහෝ…! ඒකාන්තයෙන් ම මේ ගෘහපතියාට හෝ ගෘහපති පුත්‍රයාට හෝ ධනයෙන් වේවා, ධාන්‍යයෙන් වේවා, රිදියෙන් වේවා, රනින් වේවා යම් දියුණුවක් නොවේ නම් ඉතා මැනැවි’ යි. එමෙන් ම ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ලබනසුළු වෙයි. එවිට වෙනත් ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ මේ අදහස ඇතිවෙයි. ‘අහෝ…! ඒකාන්තයෙන් ම මේ ආයුෂ්මතුන්ට සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර නොලැබේ නම් මැනැවි’ යි. මහණෙනි, මෙයට පවිටු ඊර්ෂ්‍යාව යැයි කියනු ලැබේ. මහණෙනි, පවිටු ඊර්ෂ්‍යාව කයෙන් ප්‍රහාණය කළ නොහැකි ය. වචනයෙන් ප්‍රහාණය කළ නොහැකි ය. ප්‍රඥාවෙන් ම දැක දැක ප්‍රහාණය කළ යුතු ය.

මහණෙනි, පවිටු ආශාව කයෙන් ප්‍රහාණය කළ නොහැකි ය. වචනයෙන් ප්‍රහාණය කළ නොහැකි ය. ප්‍රඥාවෙන් ම දැක දැක ප්‍රහාණය කළ යුතු ය. මහණෙනි, පවිටු ආශාව යනු කුමක් ද?

මහණෙනි, මෙහිලා කෙනෙක් ශ්‍රද්ධා නැති ව සිටියි. හේ ‘සැදැහැ ඇත්තේ යැයි මා ගැන අන්‍යයෝ දනිත්වා’ යි කැමති වෙයි. දුස්සීල ව සිටිමින් ‘මා සිල්වත් යැයි අන්‍යයෝ දනිත්වා’ යි කැමති වෙයි. අල්පශ්‍රැත ව සිටිමින් ‘මා බහුශ්‍රැතයෙකි යි අන්‍යයෝ දනිත්වා’ යි කැමති වෙයි. පිරිස් සමඟ ඇලෙමින් සිටිමින් ‘මා හුදෙකලාවේ සිටින කෙනෙකි යි අන්‍යයෝ දනිත්වා’ යි කැමති වෙයි. කුසීත ව සිටිමින් ‘මා පටන් ගත් වීර්යය ඇති කෙනෙකි යි අන්‍යයෝ දනිත්වා’ යි කැමති වෙයි. සිහි මුලාව සිටිමින් ‘මා එළැඹ සිටි සිහිය ඇත්තෙකි යි අන්‍යයෝ දනිත්වා’ යි කැමති වෙයි. සිත නොඑකඟ ව සිටිය දී ‘මා සමාධිමත් සිත් ඇත්තෙකි යි අන්‍යයෝ දනිත්වා’ යි කැමති වෙයි. දුෂ්ප්‍රාඥ ව සිටියදී ‘මා ප්‍රඥාවන්තයෙකි යි අන්‍යයෝ දනිත්වා යි’ කැමති වෙයි. ආශ්‍රවයන් සහිත ව සිටියදී ‘මා ඛීණාස්‍රවයෙකි යි අන්‍යයෝ දනිත්වා’ යි කැමති වෙයි. මහණෙනි, මෙයට පවිටු ආශාව යැයි කියනු ලැබේ. මහණෙනි, පවිටු ආශාව කයෙන් ප්‍රහාණය කළ නොහැකි ය. වචනයෙන් ප්‍රහාණය කළ නොහැකි ය. ප්‍රඥාවෙන් ම දැක දැක ප්‍රහාණය කළ යුතු ය.

මහණෙනි, ඉදින් ලෝභය ඒ භික්ෂුව පාගාගෙන සිටියි නම්, ද්වේෂය ….(පෙ)…. මෝහය ….(පෙ)…. ක්‍රෝධය ….(පෙ)…. බද්ධ වෛරය ….(පෙ)…. ගුණමකු බව ….(පෙ)…. එකට එක කිරීම ….(පෙ)…. මසුරු බව ….(පෙ)…. පවිටු ඊර්ෂ්‍යාව ….(පෙ)…. පවිටු ආශාව ඒ භික්ෂුව පාගාගෙන සිටියි නම්,

ඔහු ඒ අයුරින් මෙය දැනගත යුත්තේ ය. ‘යම් අයුරකින් දන්නා කෙනෙකුට ලෝභය ඇති නොවෙයි ද, මේ ආයුෂ්මතුන්ට එබඳු දැනුමක් නැත. එනිසා ලෝභය විසින් මේ ආයුෂ්මතුන් ව පාගා ගෙන සිටියි. යම් අයුරකින් දන්නා කෙනෙකුට ද්වේෂය ඇති නොවෙයි ද, මේ ආයුෂ්මතුන්ට එබඳු දැනුමක් නැත. එනිසා ද්වේෂය විසින් මේ ආයුෂ්මතුන් ව පාගා ගෙන සිටියි. ….(පෙ)…. මෝහය ….(පෙ)…. ක්‍රෝධය ….(පෙ)…. බද්ධ වෛරය ….(පෙ)…. ගුණමකු බව ….(පෙ)…. එකට එක කිරීම ….(පෙ)…. මසුරු බව ….(පෙ)…. පවිටු ඊර්ෂ්‍යාව ….(පෙ)…. ‘යම් අයුරෙකින් දන්නා කෙනෙකුට පවිටු ආශාව ඇති නොවෙයි ද, මේ අයුෂ්මතුන්ට එබඳු දැනුමක් නැත. එනිසා පවිටු ආශාව විසින් මේ අයුෂ්මතුන් ව පාගා ගෙන සිටියි.

මහණෙනි, ඉදින් ලෝභය ඒ භික්ෂුව පාගාගෙන නොසිටියි නම්, ද්වේෂය ….(පෙ)…. මෝහය ….(පෙ)…. ක්‍රෝධය ….(පෙ)…. බද්ධ වෛරය ….(පෙ)…. ගුණමකු බව ….(පෙ)…. එකට එක කිරීම ….(පෙ)…. මසුරු බව ….(පෙ)…. පවිටු ඊර්ෂ්‍යාව ….(පෙ)…. පවිටු ආශාව ඒ භික්ෂුව පාගාගෙන නොසිටියි නම්,

ඔහු ඒ අයුරින් මෙය දැනගත යුත්තේ ය. ‘යම් අයුරකින් දන්නා කෙනෙකුට ලෝභය ඇති නොවෙයි ද, මේ ආයුෂ්මතුන්ට එබඳු දැනුමක් ඇත. එනිසා ලෝභය විසින් මේ ආයුෂ්මතුන් ව පාගා ගෙන නොසිටියි. යම් අයුරකින් දන්නා කෙනෙකුට ද්වේෂය ඇති නොවේ ද, මේ ආයුෂ්මතුන්ට එබඳු දැනුමක් ඇත. එනිසා ද්වේෂය විසින් මේ ආයුෂ්මතුන් ව පාගා ගෙන නොසිටියි. ….(පෙ)…. මෝහය ….(පෙ)…. ක්‍රෝධය ….(පෙ)…. බද්ධ වෛරය ….(පෙ)…. ගුණමකු බව ….(පෙ)…. එකට එක කිරීම ….(පෙ)…. මසුරු බව ….(පෙ)…. ‘යම් අයුරකින් දන්නා කෙනෙකුට පවිටු ආශාව ඇති නොවේ ද, මේ අයුෂ්මතුන්ට එබඳු දැනුමක් ඇත. එනිසා පවිටු ආශාව විසින් මේ අයුෂ්මතුන් ව පාගා ගෙන නොසිටියි’ යි.

සාදු! සාදු!! සාදු!!!

කාය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M