අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.1.3.1. සීහනාද සුත්තං

10.1.3.1. සිංහනාදය උපමා කොට වදාළ දෙසුම

සැවැත් නුවර දී ය ………..

“මහණෙනි, මෘගරාජන් වූ සිංහරාජ තෙමේ සවස් වරුවෙහි ලැග සිටි තැනින් පිටතට එයි. ලැග සිටි තැනින් පිටතට අවුත් ඇඟ සොළොවා කෙසරු සළයි. ඇඟ සොළොවා කෙසරු සළා සිව්දිශාව හාත්පස බලයි. සිව්දිශාව හාත්පස බලා තුන් විටක් සිංහනාද කරයි. තුන්විටක් සිංහනාද කොට ගොදුරු සෙවීම පිණිස නික්ම යයි. එයට හේතුව කුමක් ද? වැරදි තැනට ගිය කුඩා ප්‍රාණීන්ට විනාශයක් නොවේවා යන අදහසිනි.

මහණෙනි, සිංහරාජයා යනු තථාගත අරහත් සම්මා සම්බුදුරජුන්ට කියන නමකි. මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පිරිස මැද ධර්මය දේශනා කරයි ද, මෙය වනාහී තථාගතයන්ගේ සිංහනාදය යි.

මහණෙනි, තථාගතයන් වහන්සේට තථාගත බල දසයක් ඇත. ඒ දසබලයෙන් සමන්විත වූ තථාගත තෙමේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රතිඥා දෙයි. පිරිස් අතරෙහි සිංහනාද කරයි. බ්‍රහ්ම චක්‍රය ප්‍රවර්තනය කරයි. ඒ කවර දසයක් ද යත්;

1. මහණෙනි, මෙහිලා තථාගත තෙමේ විය හැකි දේ විය හැකි දේ වශයෙනුත්, නොවිය හැකි දේ නොවිය හැකි දේ වශයෙනුත් ඇත්ත ඇති සැටියෙන් ම දනියි. මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ විය හැකි දේ විය හැකි දේ වශයෙනුත්, නොවිය හැකි දේ නොවිය හැකි දේ වශයෙනුත් ඇත්ත ඇති සැටියෙන් ම දන්නේ ද, යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රතිඥා කරත් නම්, පිරිස් අතරෙහි සිහනද පතුරුවත් නම්, බ්‍රහ්ම චක්‍රය ප්‍රවර්තනය කරත් නම්, එයට හේතුව වූ මෙය ද මහණෙනි, තථාගතයන්ගේ තථාගත බලයකි.

2. තව ද මහණෙනි, තථාගත තෙමේ අතීත වූත්, අනාගත වූත්, වර්තමාන වූත් කර්ම කරන්නවුන්ගේ විපාකය හේතු වශයෙන් ද, තැන් වශයෙන් ද ඇත්ත ඇති සැටියෙන් ම දනියි. මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ අතීත වූත්, අනාගත වූත්, වර්තමාන වූත් කර්ම කරන්නවුන්ගේ විපාකය හේතු වශයෙන් ද, තැන් වශයෙන් ද ඇත්ත ඇති සැටියෙන් ම දන්නේ ද, යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රතිඥා කරත් නම්, පිරිස් අතරෙහි සිහනද පතුරුවත් නම්, බ්‍රහ්ම චක්‍රය ප්‍රවර්තනය කරත් නම්, එයට හේතුව වූ මෙය ද මහණෙනි, තථාගතයන්ගේ තථාගත බලයකි.

3. තව ද මහණෙනි, තථාගත තෙමේ සියළු තැන යන්නට හේතු වන ප්‍රතිපදාව ඇත්ත ඇති සැටියෙන් ම දනියි. මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ සියළු තැන යන්නට හේතු වන ප්‍රතිපදාව ඇත්ත ඇති සැටියෙන් ම දන්නේ ද, යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රතිඥා කරත් නම්, පිරිස් අතරෙහි සිහනද පතුරුවත් නම්, බ්‍රහ්ම චක්‍රය ප්‍රවර්තනය කරත් නම්, එයට හේතුව වූ මෙය ද මහණෙනි, තථාගතයන්ගේ තථාගත බලයකි.

4. තව ද මහණෙනි, තථාගත තෙමේ අනේක ධාතු ස්වභාවයෙන් යුතු, නා නා ධාතු ස්වභාවයෙන් යුතු ලෝකය ඇත්ත ඇති සැටියෙන් ම දනියි. මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ අනේක ධාතු ස්වභාවයෙන් යුතු, නා නා ධාතු ස්වභාවයෙන් යුතු ලෝකය ඇත්ත ඇති සැටියෙන් ම දන්නේ ද, යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රතිඥා කරත් නම්, පිරිස් අතරෙහි සිහනද පතුරුවත් නම්, බ්‍රහ්ම චක්‍රය ප්‍රවර්තනය කරත් නම්, එයට හේතුව වූ මෙය ද මහණෙනි, තථාගතයන්ගේ තථාගත බලයකි.

5. තව ද මහණෙනි, තථාගත තෙමේ සත්වයන්ගේ නොයෙක් නොයෙක් ගති ස්වභාවයන් පිහිටා ඇති අයුරු ඇත්ත ඇති සැටියෙන් ම දනියි. මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ සත්වයන්ගේ නොයෙක් නොයෙක් ගති ස්වභාවයන් පිහිටා ඇති අයුරු ඇත්ත ඇති සැටියෙන් ම දන්නේ ද, යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රතිඥා කරත් නම්, පිරිස් අතරෙහි සිහනද පතුරුවත් නම්, බ්‍රහ්ම චක්‍රය ප්‍රවර්තනය කරත් නම්, එයට හේතුව වූ මෙය ද මහණෙනි, තථාගතයන්ගේ තථාගත බලයකි.

6. තව ද මහණෙනි, තථාගත තෙමේ බාහිර සත්වයන්ගේ බාහිර පුද්ගලයන්ගේ උසස් පහත් ආදී ඉන්ද්‍රිය ස්වභාවයන් පිහිටා ඇති අයුරු ඇත්ත ඇති සැටියෙන් ම දනියි. මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ බාහිර සත්වයන්ගේ බාහිර පුද්ගලයන්ගේ උසස් පහත් ආදී ඉන්ද්‍රිය ස්වභාවයන් පිහිටා ඇති අයුරු ඇත්ත ඇති සැටියෙන් ම දන්නේ ද, යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රතිඥා කරත් නම්, පිරිස් අතරෙහි සිහනද පතුරුවත් නම්, බ්‍රහ්ම චක්‍රය ප්‍රවර්තනය කරත් නම්, එයට හේතුව වූ මෙය ද මහණෙනි, තථාගතයන්ගේ තථාගත බලයකි.

7. තව ද මහණෙනි, තථාගත තෙමේ ධ්‍යාන, විමෝක්ෂ, සමාධි, සමාපත්ති ආදියෙහි කිළුටු වීමත්, පිරිසිදු වීමත්, නැගී සිටීමත් ඇත්ත ඇති සැටියෙන් ම දනියි. මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ ධ්‍යාන, විමෝක්ෂ, සමාධි, සමාපත්ති ආදියෙහි කිළුටු වීමත්, පිරිසිදු වීමත්, නැගී සිටීමත් ඇත්ත ඇති සැටියෙන් ම දන්නේ ද, යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රතිඥා කරත් නම්, පිරිස් අතරෙහි සිහනද පතුරුවත් නම්, බ්‍රහ්ම චක්‍රය ප්‍රවර්තනය කරත් නම්, එයට හේතුව වූ මෙය ද මහණෙනි, තථාගතයන්ගේ තථාගත බලයකි.

8. තව ද මහණෙනි, තථාගත තෙමේ අනේක ප්‍රකාර වූ පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයි. එනම් එක උපතක් වශයෙන් ද, උපත් දෙකක් වශයෙන් ද, උපත් තුනක් වශයෙන් ද, උපත් සතරක් වශයෙන් ද, උපත් පහක් වශයෙන් ද, ….(පෙ)…. උපත් දහයක් වශයෙන් ද, උපත් විස්සක් වශයෙන් ද, උපත් තිහක්, උපත් හතළිහක්, උපත් පණහක්, උපත් සියයක්, උපත් දහසක්, උපත් සිය දහසක් වශයෙන් ද අනේක වූ සංවට්ට කල්ප, අනේක වූ විවට්ට කල්ප, අනේක වූ සංවට්ට විවට්ට කල්ප වශයෙන් ද සිහි කරයි. එමෙන් ම ‘මම් අසවල් තැන සිටියෙමි. මෙබඳු නමින් සිටියෙමි. මෙබඳු ගෝත්‍රයෙන් සිටියෙමි. මෙබඳු පැහැයෙන් සිටියෙමි. මෙබඳු ආහාර ගත්තෙමි. මෙබඳු අයුරින් සැප දුක් වින්දෙමි. මෙබඳු අයුරින් දිවිය අවසන් කළෙමි. එයින් චුත ව ඒ මම් අසවල් තැන උපන්නෙමි. එහිදී ද මම මෙබඳු නමින් සිටියෙමි. මෙබඳු ගෝත්‍ර නමින් සිටියෙමි. මෙබඳු පැහැයෙන් සිටියෙමි. මෙබඳු ආහාර ගත්තෙමි. මෙබඳු සැප දුක් වින්දෙමි. මෙබඳු අයුරින් දිවිය අවසන් කළෙමි. ඒ මම එයින් චුත ව මෙහි උපන්නෙමි’ ආදී වශයෙනි. මෙසේ කරුණු සහිත වූ, විස්තර සහිත වූ අනේක ප්‍රකාර වූ පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයි. මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ අනේක ප්‍රකාර වූ පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයි ද, එනම් එක උපතක් වශයෙන් ද, උපත් දෙකක් වශයෙන් ද, ….(පෙ)…. මෙසේ කරුණු සහිත වූ, විස්තර සහිත වූ අනේක ප්‍රකාර වූ පෙර විසූ කඳ පිළිවෙල සිහි කරන්නේ ද, යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රතිඥා කරත් නම්, පිරිස් අතරෙහි සිහනද පතුරුවත් නම්, බ්‍රහ්ම චක්‍රය ප්‍රවර්තනය කරත් නම්, එයට හේතුව වූ මෙය ද මහණෙනි, තථාගතයන්ගේ තථාගත බලයකි.

9. තව ද මහණෙනි, තථාගත තෙමේ මිනිස් දැක්ම ඉක්මවා ගිය විශුද්ධ දිව්‍ය නේත්‍රයෙන් චුතවන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකියි. ඒ සත්වයන් කර්මානුරූප ව පහත් වූත්, උසස් වූත්, මනා පැහැ ඇත්තා වූත්, විරූපී වූත්, සුගතියේ ත් දුගතියේ ත් උපදින අයුරු දනියි. එනම් ‘ඒකාන්තයෙන් මේ භවත් සත්වයෝ කාය දුෂ්චරිතයෙන් යුක්ත වූවාහු ය. වචී දුෂ්චරිතයෙන් යුක්ත වූවාහු ය. මනෝ දුෂ්චරිතයෙන් යුක්ත වූවාහු ය. ආර්යයන් හට නින්දා අපහාස කළාහු ය. මිසදිටු ගත්තාහු ය. මිසදිටු ක්‍රියාවෙහි යෙදුණාහු ය. ඔවුහු කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ යටට වැටෙන නිරයෙහි උපන්නාහු ය. එසේ ම මේ භවත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූවාහු ය. වචී සුචරිතයෙන් යුක්ත වූවාහු ය. මනෝ සුචරිතයෙන් යුක්ත වූවාහු ය. ආර්යයන් හට නින්දා අපහාස නොකළාහු ය. සම්දිටු ගත්තාහු ය. සම්දිටු ක්‍රියාවෙහි යෙදුණාහු ය. ඔවුහු කය බිඳී මරණින් මතු සුගති නම් වූ ස්වර්ග ලෝකයෙහි උපන්නාහු ය. මෙසේ මිනිස් දැක්ම ඉක්මවා ගිය විශුද්ධ දිව්‍ය නේත්‍රයෙන් චුතවන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකියි. ඒ සත්වයන් කර්මානුරූප ව පහත් වූත්, උසස් වූත්, මනා පැහැ ඇත්තා වූත්, විරූපී වූත්, සුගතියේ ත් දුගතියේ ත් උපදින අයුරු දනියි. මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ මිනිස් දැක්ම ඉක්මවා ගිය විශුද්ධ දිව්‍ය නේත්‍රයෙන් චුතවන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකියි ද, ….(පෙ)…. සුගතියේ ත් දුගතියේ ත් උපදින අයුරු දන්නේ ද, යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රතිඥා කරත් නම්, පිරිස් අතරෙහි සිහනද පතුරුවත් නම්, බ්‍රහ්ම චක්‍රය ප්‍රවර්තනය කරත් නම්, එයට හේතුව වූ මෙය ද මහණෙනි, තථාගතයන්ගේ තථාගත බලයකි.

10. තව ද මහණෙනි, තථාගත තෙමේ ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මේ ජීවිතයේදී ම තම විශිෂ්ට නුවණින් අත්දැක එයට පැමිණ වාසය කරයි. මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදී ම තම විශිෂ්ට නුවණින් අත්දැක එයට පැමිණ වාසය කරන්නේ ද, යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රතිඥා කරත් නම්, පිරිස් අතරෙහි සිහනද පතුරුවත් නම්, බ්‍රහ්ම චක්‍රය ප්‍රවර්තනය කරත් නම්, එයට හේතුව වූ මෙය ද මහණෙනි, තථාගතයන්ගේ තථාගත බලයකි.

මහණෙනි, තථාගතයන් වහන්සේට ඇත්තේ මෙම තථාගත දස බලයන් ය. මේ දසබලයෙන් සමන්විත වූ තථාගත තෙමේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රතිඥා දෙයි. පිරිස් අතරෙහි සිංහනාද කරයි. බ්‍රහ්ම චක්‍රය ප්‍රවර්තනය කරයි.

සාදු! සාදු!! සාදු!!!

සීහනාද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M