මහණෙනි, යම්තාක් පා නොමැති හෝ දෙපා ඇති හෝ සිවුපා ඇති හෝ බොහෝ පා ඇති හෝ රූපවත් හෝ රූප රහිත වූ හෝ සංඥා ඇති හෝ සංඥා නැති හෝ සංඥා ඇත්තේ ත් නැති නැත්තේ ත් නැති හෝ සත්වයෝ සිටිත් ද, ඒ සියළු සත්වයන් හට අග්ර වන්නාහු තථාගත අරහත් සම්මා සම්බුදුරජාණෝ ය. මහණෙනි, එපරිද්දෙන් ම යම්කිසි කුසල් දහම් ඇද්ද, ඒ සකලවිධ කුසල ධර්මයන් පවතින්නේ ප්රමාද නොවීම මුල්කොට ය. ප්රමාද නොවීම යන කරුණ වටා ඒකරාශී ව ය. ඒ ධර්මයන්ට අග්ර වන්නේ ප්රමාද නොවීම ම යැයි කියනු ලැබේ.
මහණෙනි, එය මෙබඳු දෙයකි. ඇවිද යන ප්රාණීන්ගේ යම්තාක් පාදයෝ වෙත් ද, ඒ සියලු පාදයෝ හස්තිරාජයාගේ පා සටහන තුළට ඇතුල් කළ හැක්කාහු වෙති. ඇත් පාදයෙහි ඇති විශාලත්වය නිසා ම එය ඒ සියල්ලට ම වඩා අග්ර යැයි කියනු ලැබේ. මහණෙනි, එපරිද්දෙන් ම යම්කිසි කුසල් දහම් ඇද්ද, ඒ සකලවිධ කුසල ධර්මයන් පවතින්නේ ප්රමාද නොවීම මුල්කොට ය. ප්රමාද නොවීම යන කරුණ වටා ඒකරාශී ව ය. ඒ ධර්මයන්ට අග්ර වන්නේ ප්රමාද නොවීම ම යැයි කියනු ලැබේ.
මහණෙනි, එය මෙබඳු දෙයකි. යම් අයුරෙකින් උස් වූ මුදුන් වහළ ඇති නිවසක යම්තාක් යට ලී, පරාල ඇද්ද, ඒ සියළු පරාලයෝ මුදුනෙහි ඇති කැණිමඬලෙහි අංග වූවාහු ය. කැණිමඬලට ම නැමී තිබෙන්නාහු ය. කැණිමඬල වටා ඒකරාශී ව තිබෙන්නාහු ය. කැණිමඬල ඒවාට අග්ර යැයි කියනු ලැබේ. මහණෙනි, එපරිද්දෙන් ම යම්කිසි කුසල් දහම් ඇද්ද, ඒ සකලවිධ කුසල ධර්මයන් පවතින්නේ ප්රමාද නොවීම මුල්කොට ය. ප්රමාද නොවීම යන කරුණ වටා ඒකරාශී ව ය. ඒ ධර්මයන්ට අග්ර වන්නේ ප්රමාද නොවීම ම යැයි කියනු ලැබේ.
මහණෙනි, එය මෙබඳු දෙයකි. මුලෙන් විහිදෙන්නා වූ යම්තාක් සුවඳ ඇද්ද, ඒ සියළු සුවඳට අග්ර වන්නේ කළුඅගිල් මුල් සුවඳ යැයි කියනු ලැබෙයි. මහණෙනි, එපරිද්දෙන් ම ….(පෙ)….
මහණෙනි, එය මෙබඳු දෙයකි. අරටුවෙන් විහිදෙන්නා වූ යම්තාක් සුවඳ ඇද්ද, ඒ සියළු සුවඳට අග්ර වන්නේ රත්සඳුන් අරටු සුවඳ යැයි කියනු ලැබෙයි. මහණෙනි, එපරිද්දෙන් ම ….(පෙ)….
මහණෙනි, එය මෙබඳු දෙයකි. මල් වලින් විහිදෙන්නා වූ යම්තාක් සුවඳ ඇද්ද, ඒ සියළු සුවඳට අග්ර වන්නේ දෑසමන් මල් සුවඳ යැයි කියනු ලැබෙයි. මහණෙනි, එපරිද්දෙන් ම ….(පෙ)….
මහණෙනි, එය මෙබඳු දෙයකි. යම්කිසි ප්රාදේශීය රජවරු සිටිත් නම්, ඒ සියළු රජවරුන් ම චක්රවර්තී මහරජු අනුව යන්නාහු වෙති. චක්රවර්තී මහරජු ඒ සියළු රජවරුන්ට අග්ර යැයි කියනු ලැබෙයි. මහණෙනි, එපරිද්දෙන් ම ….(පෙ)….
මහණෙනි, එය මෙබඳු දෙයකි. තරුවලින් විහිදෙන්නා වූ යම්බඳු ආලෝකයක් ඇද්ද, ඒ සකලවිධ ආලෝකයන් සඳෙහි ආලෝකයෙහි සොළොස් වන කලාවට ද නොඅගනේ ය. සඳ එළිය එයට අග්ර යැයි කියනු ලැබේ. මහණෙනි, එපරිද්දෙන් ම ….(පෙ)….
මහණෙනි, එය මෙබඳු දෙයකි. යම් සේ ශරත් කාලයෙහි පහ වූ වැසි වළා ඇති අහසෙහි හිරු නැගී එයි ද, එකල්හී අහසෙහි පැතිර තිබූ සකලවිධ අන්ධකාරය නැසී ගොස් ඒ හිරු ම බබලයි ද, තවයි ද, රැස් විහිදුවයි ද, මහණෙනි, එපරිද්දෙන් ම ….(පෙ)….
මහණෙනි, එය මෙබඳු දෙයකි. යම්තාක් මහා නදීහු වෙත් ද, එනම් ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන ගංගාවෝ ය. ඒ සියළු ගංගාවෝ මුහුදට ම යන්නාහු වෙති. මුහුදට ම නැඹුරු වූවාහු වෙති. මුහුදට ම ඇල වූවාහු වෙති. මුහුදට ම බැස යන්නාහු වෙති. ඒ සියළු ගංගාවන්ට අග්ර වන්නේ මහා සාගරය යි කියනු ලැබේ. මහණෙනි, එපරිද්දෙන් ම යම්කිසි කුසල් දහම් ඇද්ද, ඒ සකලවිධ කුසල ධර්මයන් පවතින්නේ ප්රමාද නොවීම මුල්කොට ය. ප්රමාද නොවීම යන කරුණ වටා ඒකරාශී ව ය. ඒ ධර්මයන්ට අග්ර වන්නේ ප්රමාද නොවීම ම යැයි කියනු ලැබේ.
සාදු! සාදු!! සාදු!!!
අප්පමාද සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M