අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.1.2.4. චේතෝඛිල සුත්තං

10.1.2.4. සිතෙහි ඇණෙන හුල් ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය ………..

මහණෙනි, යම්කිසි භික්ෂුවකගේ වේවා, භික්ෂුණියකගේ වේවා සිතෙහි ඇණෙන හුල් පස ප්‍රහීණ නොවී තිබෙයි ද, සිතෙහි බැඳෙන බන්ධනයන් පස මුළුමනින් ම නොනැසී තිබෙයි ද, ඔහු වෙත යම් රැයක් වේවා, යම් දහවලක් වේවා පැමිණෙයි ද, කුසල් දහම් තුළ පිරිහීමක් ම කැමති විය යුතු ය. අභිවෘද්ධියක් නම් නොවේ.

ඔහුගේ සිතෙහි ඇණෙන කවර වූ හුල් පසෙක් ද ප්‍රහීණ නොවී තිබෙන්නේ?

1. මහණෙනි, මෙහිලා භික්ෂුව තම ශාස්තෘන් වහන්සේ පිළිබඳව සැක කරයි. විචිකිච්ඡා කරයි. ශ්‍රද්ධාවෙහි නොබැස ගනියි. නොපහදියි. මහණෙනි, යම් ඒ භික්ෂුවක් තම ශාස්තෘන් වහන්සේ පිළිබඳව සැක කරයි ද, විචිකිච්ඡා කරයි ද, ශ්‍රද්ධාවෙහි නොබැස ගනියි ද, නොපහදියි ද, එකල්හී කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින් දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට ඔහුගේ සිත නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින් දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට යම් කරුණකින් නොපෙළඹෙයි නම් මෙසේ ඔහුගේ සිතෙහි ඇණී ඇති මෙම පළමු වැනි හුල ප්‍රහාණය නොවූයේ වෙයි.

2.-5. තවද මහණෙනි, භික්ෂුව ධර්මය පිළිබඳව සැක කරයි. ….(පෙ)…. සංඝයා පිළිබඳව සැක කරයි. ….(පෙ)…. ශික්ෂාව පිළිබඳව සැක කරයි. ….(පෙ)…. සබ්‍රහ්මචාරීන් වහන්සේලා පිළිබඳව කෝපයෙන් සිටියි. අමනාපයෙන් සිටියි. ගැටුණු සිතින් හටගත් හුල ඇති ව සිටියි. මහණෙනි, යම් ඒ භික්ෂුවක් සබ්‍රහ්මචාරීන් වහන්සේලා පිළිබඳව කෝපයෙන් සිටියි ද, අමනාපයෙන් සිටියි ද, ගැටුණු සිතින් හටගත් හුල ඇති ව සිටියි ද, එකල්හී කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින් දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට ඔහුගේ සිත නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින් දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට යම් කරුණෙකින් නොපෙළඹෙයි නම් මෙසේ ඔහුගේ සිතෙහි ඇණී ඇති මෙම පස්වෙනි හුල ප්‍රහාණය නොවූයේ වෙයි. මෙසේ ඔහුගේ සිතෙහි ඇණුන හුල් පස අප්‍රහීණ ව තිබේ.

ඔහුගේ සිතෙහි බැඳෙන කවර බන්ධන පසක් මුළුමනින් ම නොනැසී තිබෙයි ද?

1. මහණෙනි, මෙහිලා භික්ෂුව පංචකාම ගුණයන් පිළිබඳ ව දුරු නොකර ගත් රාගයෙන් යුක්ත වූයේ වෙයි. දුරු නොකර ගත් ආශාවෙන් යුක්ත වූයේ වෙයි. දුරු නොකර ගත් ප්‍රේමයෙන් යුක්ත වූයේ වෙයි. දුරු නොකර ගත් පිපාසයෙන් යුක්ත වූයේ වෙයි. දුරු නොකර ගත් දාහයෙන් යුක්ත වූයේ වෙයි. දුරු නොකර ගත් තෘෂ්ණාවෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, යම් මේ භික්ෂුවක් පංචකාම ගුණයන් පිළිබඳව දුරු නොකර ගත් රාගයෙන් යුක්ත වූයේ නම්, දුරු නොකර ගත් ආශාවෙන් යුක්ත වූයේ නම්, දුරු නොකර ගත් ප්‍රේමයෙන් යුක්ත වූයේ නම්, දුරු නොකර ගත් පිපාසයෙන් යුක්ත වූයේ නම්, දුරු නොකර ගත් දාහයෙන් යුක්ත වූයේ නම්, දුරු නොකර ගත් තෘෂ්ණාවෙන් යුක්ත වූයේ නම් එකල්හී කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින් දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට ඔහුගේ සිත නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින් දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට යම් කරුණකින් නොපෙළඹෙයි නම් මෙසේ ඔහුගේ සිතෙහි බැඳී ඇති මෙම පළමුවෙනි බන්ධනය මුළුමනින් ම නොනැසුනේ වෙයි.

2.-5. තව ද මහණෙනි, භික්ෂුව කය පිළිබඳ ව දුරු නොකර ගත් රාගයෙන් යුක්ත වූයේ වෙයි. ….(පෙ)…. රූපය පිළිබඳ ව දුරු නොකර ගත් රාගයෙන් යුක්ත වූයේ වෙයි. ….(පෙ)…. තවද මහණෙනි, භික්ෂුව කුස පුරා ඇති තාක් වළඳා නින්දෙන් ලැබෙන සැපයෙහි, ස්පර්ශ සැපයෙහි, අලස සැපයෙහි යෙදෙමින් වාසය කරයි. ….(පෙ)…. තවද මහණෙනි, භික්ෂුව එක්තරා දෙව්ලොවක සිත පිහිටුවාගෙන බඹසර හැසිරෙයි. එනම් ‘මම් මේ සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් දෙවියෙක් හෝ වන්නෙමි. අන්‍ය වූ දෙවිකෙනෙක් හෝ වන්නෙමි’යි. මහණෙනි, යම් මේ භික්ෂුවක් එක්තරා දෙව්ලොවක සිත පිහිටුවාගෙන බඹසර හැසිරෙයි නම්, එනම් ‘මම් මේ සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් දෙවියෙක් හෝ වන්නෙමි. අන්‍ය වූ දෙවිකෙනෙක් හෝ වන්නෙමි’යි. එකල්හී කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින් දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට ඔහුගේ සිත නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින් දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට යම් කරුණකින් නොපෙළඹෙයි නම් මෙසේ ඔහුගේ සිතෙහි බැඳී ඇති මෙම පස්වෙනි බන්ධනය මුළුමනින් ම නොනැසුනේ වෙයි. මෙසේ ඔහුගේ සිතෙහි බැඳෙන මේ බන්ධනයන් පස මුළුමනින් ම නොනැසී තිබෙයි.

මහණෙනි, යම්කිසි භික්ෂුවකගේ වේවා, භික්ෂුණියකගේ වේවා සිතෙහි ඇණෙන මේ හුල් පස ප්‍රහීණ නොවී තිබෙයි ද, සිතෙහි බැඳෙන මේ බන්ධනයන් පස මුළුමනින් ම නොනැසී තිබෙයි ද, ඔහු වෙත යම් රැයක් වේවා, යම් දහවලක් වේවා පැමිණෙයි ද, කුසල් දහම් තුළ පිරිහීමක් ම කැමති විය යුතු ය. අභිවෘද්ධියක් නම් නොවේ.

මහණෙනි, එය මෙබඳු දෙයකි. කළුවර පක්ෂයෙහි පායන චන්ද්‍රයා හට යම් රැයක් හෝ දහවලක් හෝ එළැඹෙයි ද, එවිට ඒ සඳ පැහැයෙන් ද පිරිහෙන්නේ ම ය. වටරවුමෙන් ද පිරිහෙන්නේ ම ය. ආලෝකයෙන් ද පිරිහෙන්නේ ම ය. ආරෝහ පරිනාහයෙන් ද පිරිහෙන්නේ ම ය. එසෙයින් ම මහණෙනි, යම්කිසි භික්ෂුවකගේ වේවා, භික්ෂුණියකගේ වේවා සිතෙහි ඇණෙන මේ හුල් පස ප්‍රහීණ නොවී තිබෙයි ද, සිතෙහි බැඳෙන මේ බන්ධනයන් පස මුළුමනින් ම නොනැසී තිබෙයි ද, ඔහු වෙත යම් රැයක් වේවා, යම් දහවලක් වේවා පැමිණෙයි ද, කුසල් දහම් තුළ පිරිහීමක් ම කැමති විය යුතු ය. අභිවෘද්ධියක් නම් නොවේ.

මහණෙනි, යම්කිසි භික්ෂුවකගේ වේවා, භික්ෂුණියකගේ වේවා සිතෙහි ඇණෙන හුල් පස ප්‍රහීණ වී තිබෙයි ද, සිතෙහි බැඳෙන බන්ධනයන් පස මුළුමනින් ම නැසී තිබෙයි ද, ඔහු වෙත යම් රැයක් වේවා, යම් දහවලක් වේවා පැමිණෙයි ද, කුසල් දහම් තුළ අභිවෘද්ධියක් ම කැමති විය යුතු ය. පිරිහීමක් නම් නොවේ.

ඔහුගේ සිතෙහි ඇණෙන කවර වූ හුල් පසක් ද ප්‍රහීණ වී තිබෙන්නේ?

1. මහණෙනි, මෙහිලා භික්ෂුව තම ශාස්තෘන් වහන්සේ පිළිබඳ ව සැක නොකරයි. විචිකිච්ඡා නොකරයි. ශ්‍රද්ධාවෙහි බැස ගනියි. පහදියි. මහණෙනි, යම් ඒ භික්ෂුවක් තම ශාස්තෘන් වහන්සේ පිළිබඳව සැක නොකරයි ද, විචිකිච්ඡා නොකරයි ද, ශ්‍රද්ධාවෙහි බැස ගනියි ද, පහදියි ද, එකල්හී කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින් දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට ඔහුගේ සිත නැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින් දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට යම් කරුණකින් පෙළඹෙයි නම් මෙසේ ඔහුගේ සිතෙහි ඇණී තිබුණු මෙම පළමු වැනි හුල ප්‍රහාණය වූයේ වෙයි.

2.-5. තවද මහණෙනි, භික්ෂුව ධර්මය පිළිබඳව සැක නොකරයි. ….(පෙ)…. සංඝයා පිළිබඳව සැක නොකරයි. ….(පෙ)…. ශික්ෂාව පිළිබඳව සැක නොකරයි. ….(පෙ)…. සබ්‍රහ්මචාරීන් වහන්සේලා පිළිබඳ ව කෝපයෙන් නොසිටියි. අමනාපයෙන් නොසිටියි. ගැටුණු සිතින් හටගත් හුල ඇති ව නොසිටියි. මහණෙනි, යම් ඒ භික්ෂුවක් සබ්‍රහ්මචාරීන් වහන්සේලා පිළිබඳව කෝපයෙන් නොසිටියි ද, අමනාපයෙන් නොසිටියි ද, ගැටුණු සිතින් හටගත් හුල ඇති ව නොසිටියි ද, එකල්හී කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින් දැඩි වීර්යයෙන් යුතුව ධර්මයේ හැසිරෙන්නට ඔහුගේ සිත නැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින් දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට යම් කරුණකින් පෙළඹෙයි නම් මෙසේ ඔහුගේ සිතෙහි ඇණී තිබුණු මෙම පස්වෙනි හුල ප්‍රහාණය වූයේ වෙයි. මෙසේ ඔහුගේ සිතෙහි ඇණුන හුල් පස ප්‍රහීණ ව තිබේ.

ඔහුගේ සිතෙහි බැඳෙන කවර බන්ධන පසක් මුළුමනින් ම නැසී තිබෙයි ද?

1. මහණෙනි, මෙහිලා භික්ෂුව පංචකාම ගුණයන් පිළිබඳ ව දුරු කර ගත් රාගයෙන් යුක්ත වූයේ වෙයි. දුරු කර ගත් ආශාවෙන් යුක්ත වූයේ වෙයි. දුරු කර ගත් ප්‍රේමයෙන් යුක්ත වූයේ වෙයි. දුරු කර ගත් පිපාසයෙන් යුක්ත වූයේ වෙයි. දුරු කර ගත් දාහයෙන් යුක්ත වූයේ වෙයි. දුරු කර ගත් තෘෂ්ණාවෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, යම් මේ භික්ෂුවක් පංචකාම ගුණයන් පිළිබඳ ව දුරු කර ගත් රාගයෙන් යුක්ත වූයේ නම්, දුරු කර ගත් ආශාවෙන් යුක්ත වූයේ නම්, දුරු කර ගත් ප්‍රේමයෙන් යුක්ත වූයේ නම්, දුරු කර ගත් පිපාසයෙන් යුක්ත වූයේ නම්, දුරු කර ගත් දාහයෙන් යුක්ත වූයේ නම්, දුරු කර ගත් තෘෂ්ණාවෙන් යුක්ත වූයේ නම් එකල්හී කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින් දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට ඔහුගේ සිත නැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නැවත නැවත යෙදෙමින් දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට යම් කරුණකින් පෙළඹෙයි නම් මෙසේ ඔහුගේ සිතෙහි බැඳී තිබුණු මෙම පළමුවෙනි බන්ධනය මුළුමනින් ම නැසුණේ වෙයි.

2.-5. තව ද මහණෙනි, භික්ෂුව කය පිළිබඳ ව දුරු කර ගත් රාගයෙන් යුක්ත වූයේ වෙයි. ….(පෙ)…. රූපය පිළිබඳ ව දුරු කර ගත් රාගයෙන් යුක්ත වූයේ වෙයි. ….(පෙ)…. තවද මහණෙනි, භික්ෂුව කුස පුරා ඇති තාක් වළඳා නින්දෙන් ලැබෙන සැපයෙහි, ස්පර්ශ සැපයෙහි, අලස සැපයෙහි යෙදෙමින් වාසය නොකරයි. ….(පෙ)…. තවද මහණෙනි, භික්ෂුව එක්තරා දෙව්ලොවක සිත පිහිටුවාගෙන බඹසර නොහැසිරෙයි. එනම් ‘මම් මේ සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් දෙවිකෙනෙක් හෝ වන්නෙමි. අන්‍ය වූ දෙවිකෙනෙක් හෝ වන්නෙමි’යි. මහණෙනි, යම් මේ භික්ෂුවක් එක්තරා දෙව්ලොවක සිත පිහිටුවාගෙන බඹසර නොහැසිරෙයි නම්, එනම් ‘මම් මේ සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් දෙවි කෙනෙක් හෝ වන්නෙමි. අන්‍ය වූ දෙවිකෙනෙක් හෝ වන්නෙමි’යි. එකල්හී කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින් දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට ඔහුගේ සිත නැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින් දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට යම් කරුණකින් පෙළඹෙයි නම් මෙසේ ඔහුගේ සිතෙහි බැඳී තිබුණු මෙම පස්වෙනි බන්ධනය මුළුමනින් ම නැසුනේ වෙයි. මෙසේ ඔහුගේ සිතෙහි බැඳෙන බන්ධනයන් සහ මුළුමනින් ම නැසී තිබෙයි.

මහණෙනි, යම්කිසි භික්ෂුවකගේ වේවා, භික්ෂුණියකගේ වේවා සිතෙහි ඇණෙන මේ හුල් පස ප්‍රහීණ වී තිබෙයි ද, සිතෙහි බැඳෙන මේ බන්ධනයන් පස මුළුමනින් ම නැසී තිබෙයි ද, ඔහු වෙත යම් රැයක් වේවා, යම් දහවලක් වේවා පැමිණෙයි ද, කුසල් දහම් තුළ අභිවෘද්ධියක් ම කැමති විය යුතුය. පිරිහීමක් නම් නොවේ.

මහණෙනි, එය මෙබඳු දෙයකි. සඳ මෝරන කාලයෙහි පායන චන්ද්‍රයා හට යම් රැයක් හෝ දහවලක් හෝ එළැඹෙයි ද, එවිට ඒ සඳ පැහැයෙන් ද වැඩෙන්නේ ම ය. වටරවුමෙන් ද වැඩෙන්නේ ම ය. ආලෝකයෙන් ද වැඩෙන්නේ ම ය. ආරෝහ පරිනාහයෙන් ද වැඩෙන්නේ ම ය. එසෙයින් ම මහණෙනි, යම්කිසි භික්ෂුවකගේ වේවා, භික්ෂුණියකගේ වේවා සිතෙහි ඇණෙන මේ හුල් පස ප්‍රහීණ වී තිබෙයි ද, සිතෙහි බැඳෙන මේ බන්ධනයන් පස මුළුමනින් ම නැසී තිබෙයි ද, ඔහු වෙත යම් රැයක් වේවා, යම් දහවලක් වේවා පැමිණෙයි ද, කුසල් දහම් තුළ අභිවෘද්ධියක් ම කැමති විය යුතු ය. පිරිහීමක් නම් නොවේ.

සාදු! සාදු!! සාදු!!!

චේතෝඛිල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M