සැවැත් නුවර දී ය ………..
මහණෙනි, පස් කරුණක් මැනැවින් ම ප්‍රහාණය කළ, පස් කරුණකින් යුක්ත වූ භික්ෂුව මේ බුද්ධ ශාසනයෙහි සකල ගුණයෙන් පිරිපුන්, නිමා කළ බඹසර වාසයෙන් යුතු, උත්තම පුරුෂයා යැයි කියනු ලැබේ.
මහණෙනි, භික්ෂුව කෙසේ නම් මැනැවින් ප්‍රහාණය කළ පස් කරුණකින් යුතු වේ ද?
මහණෙනි, මෙහිලා භික්ෂුව තුළ (1) පංච කාම ගුණයන්ට ඇති ආශාව ප්‍රහාණය වූයේ වෙයි. (2) ද්වේෂය ප්‍රහාණය වූයේ වෙයි. (3) නිදිමත හා අලස බව ප්‍රහාණය වූයේ වෙයි. (4) සිතෙහි විසිරීම සහ පසුතැවීම ප්‍රහාණය වූයේ වෙයි. (5) සැකය ප්‍රහාණය වූයේ වෙයි. මහණෙනි, භික්ෂුව මැනැවින් ප්‍රහාණය කරන ලද පස් කරුණකින් යුක්ත වන්නේ ඔය අයුරිනි.
මහණෙනි, භික්ෂුව පස් කරුණකින් සමන්විත වන්නේ කෙසේද?
මහණෙනි, මෙහිලා භික්ෂුව (1) හික්මීම අවසන් කරන ලද සීල ස්කන්ධයෙන් යුක්ත වූයේ වෙයි. (2) හික්මීම අවසන් කරන ලද සමාධි ස්කන්ධයෙන් යුක්ත වූයේ වෙයි. (3) හික්මීම අවසන් කරන ලද ප්‍රඥා ස්කන්ධයෙන් යුක්ත වූයේ වෙයි. (4) හික්මීම අවසන් කරන ලද විමුක්ති ස්කන්ධයෙන් යුක්ත වූයේ වෙයි. (5) හික්මීම අවසන් කරන ලද විමුක්ති ඥාන දර්ශන ස්කන්ධයෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, භික්ෂුව පස් කරුණකින් සමන්විත වන්නේ ඔය අයුරිනි.
මහණෙනි, ඔය අයුරින් පස් කරුණක් මැනැවින් ම ප්‍රහාණය කළ, පස් කරුණකින් යුක්ත වූ භික්ෂුව මේ බුද්ධ ශාසනයෙහි සකල ගුණයෙන් පිරිපුන්, නිමා කළ බඹසර වාසයෙන් යුතු, උත්තම පුරුෂයා යැයි කියනු ලැබේ.
(ගාථා:)
1. පංච කාමයෙහි ඇල්ම ද, ද්වේෂය ද, නිදිමත හා අලස බව ද, සිතෙහි විසිරීම හා පසුතැවීම ද, සැකය ද භික්ෂුව තුළ කිසිදු අයුරකින් දකින්නට නොලැබෙයි ද,
2. හික්මීම අවසන් කරන ලද සීලයකින් ද, හික්මීම අවසන් කරන ලද සමාධියකින් ද, එසෙයින් ම හික්මීම අවසන් කරන ලද ප්‍රඥාවෙනුත්, විමුක්තියෙනුත්, විමුක්ති ඥානදර්ශනයෙනුත් යුතු වෙයි ද,
3. ඒ භික්ෂුව ඒකාන්තයෙන් ම පස් කරුණකින් යුක්ත වූයේ, පස් කරුණක් ප්‍රහාණය කරන ලද්දේ මේ බුද්ධ ශාසනයෙහි සකල ගුණයෙන් පිරිපුන් තැනැත්තා යැයි කියනු ලැබේ.
සාදු! සාදු!! සාදු!!!
පඤ්චංග සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M