අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.1.2.1. සේනාසන සුත්තං

10.1.2.1. සෙනසුනක් සෙවීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය ………..

මහණෙනි, පස් කරුණෙකින් සමන්විත වූ භික්ෂුව පස් කරුණකින් සමන්විත වූ සෙනසුනක් සේවනය කරන්නේ, පරිහරණය කරන්නේ නම් වැඩි කල් නොගොස් ම ඒ භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කොට අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මේ ජීවිතයේ දී ම තම විශිෂ්ට නුවණින් අත්දැක එයට සම වැදී වාසය කරන්නෙක් වන්නේ ය.

මහණෙනි, භික්ෂුව සමන්විත වන්නේ කවර පස් කරුණකින් ද?

1. මහණෙනි, මෙහිලා භික්ෂුව සැදැහැවත් වෙයි. තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වය මුළු සිතින් ම පිළිගන්නේ වෙයි. එනම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණෙන් අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ වශයෙනි.

2. අල්පාබාධ වූයේ වෙයි. අල්ප රෝගයෙන් යුතු වූයේ වෙයි. බලවත් ව කරන වීර්යයට ඔරොත්තු දෙන අන්දමේ අධික සීතල ත් නොවූ, අධික ඌෂ්ණ ත් නොවූ මධ්‍යම වූ සම ව ආහාර පැසවන කුසගින්නෙකින් යුක්ත වේ.

3. වංචාවෙන් තොර වූයේ වෙයි. ඇත්ත සඟවා වෙනෙකක් පෙන්වන මායා ගති නැත්තේ වෙයි. ඇත්ත ඇති සැටියෙන් ම තමාගේ ස්වභාවය ශාස්තෘන් වහන්සේට හෝ නුවණැති සබ්‍රහ්මචාරීන්ට හෝ හෙළි කොට පවසනුයේ වෙයි.

4. පටන් ගත් වීරිය ඇත්තේ වෙයි. අකුසල් දහම් ප්‍රහාණය කිරීමට ත්, කුසල් දහම් උපදවා ගැනීමට ත් නිසි බල ඇතියෙක් වෙයි. දැඩි වීර්යයකින් යුක්ත වෙයි. කුසල් දහම් ඉපිදවීමෙහිලා අත් නොහළ වීර්යය ඇත්තේ වෙයි.

5. ප්‍රඥාවන්ත වෙයි. මැනැවින් දුක් ගෙවී යාමෙහි සමර්ථ වූ ආර්ය වූ තියුණු අවබෝධයකින් යුක්ත වූයේ, හටගැනීම ත් නැතිවීම ත් මැනැවින් වැටහෙන ප්‍රඥාවකින් යුක්ත වූයේ වෙයි.

මහණෙනි, භික්ෂුව පස් කරුණකින් සමන්විත වන්නේ ඔය අයුරිනි.

මහණෙනි, සෙනසුනක් පස් කරුණකින් යුක්ත වන්නේ කෙසේ ද?

1. මහණෙනි, මෙහිලා සෙනසුන ගමට ඉතා දුර වූයේ ත් නොවෙයි. ඉතා සමීප වූයේ ත් නොවෙයි. ගමනාගමන පහසුව ඇත්තේ ද වෙයි.

2. දහවල් කල මිනිසුන් නොගැවසුණේ වෙයි. රාත්‍රියෙහි අල්ප වූ ශබ්ද ඇත්තේ, අල්ප වූ ඝෝෂා ඇත්තේ වෙයි.

3. මැසි, මදුරු, දැඩි සුළං, තද අව්ව, සර්පාදීන්ගේ කටුක පහස අල්ප වූයේ වෙයි.

4. ඒ සෙනසුනෙහි වසන භික්ෂුව හට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ආදිය මද වෙහෙසකින් ලැබෙන්නේ වෙයි.

5. ඒ සෙනසුනෙහි බොහෝ ඇසූ පිරූ ධර්මය ඇති, සූත්‍ර දේශනාදිය මැනැවින් දන්නා වූ ධර්මධර, විනයධර, ප්‍රාතිමෝක්ෂ මාතෘකාධර ස්ථවිර භික්ෂූහු වෙසෙත්. එවිට කලින් කල ඒ ස්ථවිරයන් වහන්සේලා වෙත එළැඹ විමසන්නේ ය. ප්‍රශ්න කරන්නේ ය. ‘ස්වාමීනී, මෙකරුණ කෙසේ ද? මෙහි අරුත් කෙසේ දැ’යි වශයෙනි. එවිට ඒ ආයුෂ්මත්වරු ඔහුට වැසී ඇති දෑ විවෘත කර දෙන්නාහ. නොපැහැදිලි දෑ පැහැදිලි කර දෙන්නාහ. සැක ඇතිවීමට තුඩු දෙන නොයෙක් කරුණු කාරණා ඇති ධර්මයන්හි සැකය දුරු කරන්නාහ.

මහණෙනි, සෙනසුනක් පස් කරුණකින් යුක්ත වන්නේ ඔය අයුරිනි.

මහණෙනි, ඔය අයුරින් පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව පස් කරුණකින් සමන්විත වූ සෙනසුනක් සේවනය කරන්නේ, පරිහරණය කරන්නේ නම් වැඩි කල් නොගොස් ම ඒ භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කොට අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මේ ජීවිතයේ දී ම තම විශිෂ්ට නුවණින් අත්දැක එයට සම වැදී වාසය කරන්නෙක් වන්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

සේනාසන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M