අංගුත්තර නිකාය

නවක නිපාතෝ

9.1.4.6. ආනන්ද සුත්තං

9.1.4.6. අනඳ තෙරුන් වදාළ දෙසුම

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙන සේක. එහිදී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ “ආයුෂ්මත් මහණෙනි” යි භික්ෂූන් ඇමතූහ. “ආයුෂ්මතුන් වහන්සැ”යි ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ මෙය වදාළහ.

“ආයුෂ්මත්නි, ආශ්චර්යයකි! ආයුෂ්මත්නි, අද්භූතයෙකි! සියල්ල දන්නා වූ, දක්නා වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සත්වයන්ගේ පිරිසිදු බව පිණිස, ශෝක වැළපීම් ඉක්මවා යෑම පිණිස, දුක් දොම්නස් නැතිවීම පිණිස, නිවන් මග අවබෝධ කරනු පිණිස, නිවන අත්දකිනු පිණිස ඇති බාධක මැද තිබෙන ඉඩප්‍රස්ථා අවබෝධ කරන ලද්දේ ය.

ඒ ඇස ත් නොබිඳී තිබෙයි. ඒ රූපයෝ ත් ඇත්තාහු ය. එනමුත් ඒ රූපය නම් වූ ආයතනයට සංවේදී නොවෙයි.

ඒ කන ත් නොබිඳී තිබෙයි. ඒ ශබ්දයෝ ත් ඇත්තාහු ය. එනමුත් ඒ ශබ්දය නම් වූ ආයතනයට සංවේදී නොවෙයි.

ඒ නාසය ත් නොබිඳී තිබෙයි. ඒ ගන්ධයෝ ත් ඇත්තාහු ය. එනමුත් ඒ ගන්ධය නම් වූ ආයතනයට සංවේදී නොවෙයි.

ඒ දිව ත් නොබිඳී තිබෙයි. ඒ රසයෝ ත් ඇත්තාහු ය. එනමුත් ඒ රසය නම් වූ ආයතනයට සංවේදී නොවෙයි.

ඒ කය ත් නොබිඳී තිබෙයි. ඒ ස්පර්ශයෝ ත් ඇත්තාහු ය. එනමුත් ඒ ස්පර්ශය නම් වූ ආයතනයට සංවේදී නොවෙයි.”

මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය පැවසූහ.

“ආයුෂ්මත් ආනන්දයෙනි, සංඥාවක් ඇති ව සිටිද්දී ද, ඒ ආයතනය සංවේදී නොවන්නේ? එසේ ත් නැත්නම් සංඥාව නැතිකම නිසා ද?”

“ආයුෂ්මත, සංඥා සහිත ව සිටිද්දීම යි, ඒ ආයතනයට සංවේදී නොවන්නේ. අසංඥී ව නොවෙයි.”

“ආයුෂ්මත, කෙබඳු සංඥාවකින් සිටිද්දී ද, ඒ ආයතනයට සංවේදී නොවන්නේ?”

“ආයුෂ්මත්නි, මෙහිලා භික්ෂුව සියළු අයුරින් රූප සංඥාවන් ඉක්මවීමෙන්, ගොරෝසු සංඥාවන් නැති වීමෙන් සංඥාවන්ගේ නා නා ස්වභාවය මෙනෙහි නොකිරීමෙන් ‘අනන්ත ආකාසය’ යැයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි. මෙසේ සංඥාව ඇත්තේ ත් වෙයි. ඒ ආයතනයට සංවේදී ත් නොවෙයි.

තවද ආයුෂ්මත්නි, භික්ෂුව සියළු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවීමෙන්, ‘විඤ්ඤාණය අනන්ත’ යැයි විඤ්ඤාණඤ්චායතනය උපදවාගෙන වාසය කරයි. මෙසේ සංඥාව ඇත්තේ ත් වෙයි. ඒ ආයතනයට සංවේදී ත් නොවෙයි.

තවද ආයුෂ්මත්නි, භික්ෂුව සියළු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ගොස් ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනය උපදවාගෙන වාසය කරයි. මෙසේ සංඥාව ඇත්තේ ත් වෙයි. ඒ ආයතනයට සංවේදී ත් නොවෙයි.

ආයුෂ්මත්නි, මම එක් සමයක සාකේතයෙහි අංජන වනයෙහි මිගදායෙහි වාසය කළෙමි. එකල්හී ආයුෂ්මත්නි, ජටිලගහ නුවරවැසි භික්ෂුණියක් මා වෙතට පැමිණියා ය. පැමිණ මට සකසා වන්දනා කොට එකත්පස් ව සිටගත්තා ය. ආයුෂ්මත්නි, එකත්පස් ව සිටි ජටිලගාහිය භික්ෂුණිය මට මෙය පැවසුවා ය.

‘ස්වාමීනී, ආනන්දයන් වහන්ස, යම් මේ සමාධියක් රාගයෙන් සතුටු නොවෙයි ද, ද්වේෂයෙන් පහළට නොවැටෙයි ද, වීර්යයෙන් කෙලෙස් මැඩ වළක්වා නොසිටියේ වෙයි ද, කෙලෙසුන්ගෙන් මිදුණු බැවින් සිටියේ වෙයි ද, සිටි බැවින් සතුටට පත් වූයේ වෙයි ද, සතුටට පත් වූ බැවින් සංත්‍රාසයට නොවැටෙන්නේ වෙයි ද, ස්වාමීනී, ආනන්දයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම සමාධිය වදාරණ ලද්දේ කවර ඵලයක් වශයෙන් ද?’

මෙසේ පැවසූ විට ආයුෂ්මත්නි, මම ජටිලගාහිය භික්ෂුණියට මෙසේ පැවසූයෙමි.

‘සොයුරියෙනි, යම් මේ සමාධියක් රාගයෙන් සතුටු නොවෙයි ද, ද්වේෂයෙන් පහළට නොවැටෙයි ද, වීර්යයෙන් කෙලෙස් මැඩ වළක්වා නොසිටියේ වෙයි ද, කෙලෙසුන්ගෙන් මිදුණු බැවින් සිටියේ වෙයි ද, සිටි බැවින් සතුටට පත් වූයේ වෙයි ද, සතුටට පත් වූ බැවින් සංත්‍රාසයට නොවැටෙන්නේ වෙයි ද, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම සමාධිය වදාරණ ලද්දේ අරහත්ඵලය වශයෙනි.’

ආයුෂ්මත්නි, මෙබඳු වූ ත් සංඥාවක් ඇත්තේ ඒ ආයතනයට සංවේදී නොවන්නේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

ආනන්ද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M