අංගුත්තර නිකාය

නවක නිපාතෝ

9.1.4.5. ඣානනිස්සය සුත්තං

9.1.4.5. ධ්‍යානය ඇසුරු කිරීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මම ප්‍රථම ධ්‍යානය ඇසුරු කොට ත් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පවසමි. මහණෙනි, මම දෙවෙනි ධ්‍යානය ඇසුරු කොට ත් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පවසමි. මහණෙනි, මම තුන්වෙනි ධ්‍යානය ඇසුරු කොට ත් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පවසමි. මහණෙනි, මම සතරවෙනි ධ්‍යානය ඇසුරු කොට ත් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පවසමි. මහණෙනි, මම ආකාසානඤ්චායතනය ඇසුරු කොට ත් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පවසමි. මහණෙනි, මම විඤ්ඤාණඤ්චායතනය ඇසුරු කොට ත් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පවසමි. මහණෙනි, මම ආකිඤ්චඤ්ඤායතනය ඇසුරු කොට ත් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පවසමි. මහණෙනි, මම නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඇසුරු කොට ත් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පවසමි. මහණෙනි, මම සඤ්ඤාවේදයිත නිරෝධය ඇසුරු කොට ත් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පවසමි.

‘මහණෙනි, මම ප්‍රථම ධ්‍යානය ඇසුරු කොට ත් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පවසමි’ යනුවෙන් පවසන ලද්දේ නම්, එය පවසන ලද්දේ කුමක් සඳහා ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ඔහු ඒ පළමු ධ්‍යානයෙහි රූපයට අයත් වූ, විඳීමට අයත් වූ, සංඥාවට අයත් වූ, සංස්කාරවලට අයත් වූ, විඤ්ඤාණයට අයත් වූ යමක් ඇත්නම්, ඒවා අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන් ගඬුවක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, පීඩාවක් වශයෙන්, ආබාධයක් වශයෙන්, අන්‍යයන්ගේ දෙයක් වශයෙන්, වැනසී යන දෙයක් වශයෙන්, ආත්මයකින් හිස් දෙයක් වශයෙන්, අනාත්ම වශයෙන් නුවණින් දකියි. ඔහු ඒවායින් සිත වළක්වයි. ඔහු ඒවායින් සිත වළක්වා අමෘත ධාතුවෙහි සිත බස්සවයි. එනම් ‘යම් මේ සියළු සංස්කාරයන්ගේ සංසිඳීමක් ඇද්ද, සියළු කෙලෙසුන් දුරු කිරීමක් ඇද්ද, තෘෂ්ණාව ක්ෂය වීමක් ඇද්ද, විරාගයක් ඇද්ද, නිරෝධයක් ඇද්ද, නිවනක් ඇද්ද, මෙය ශාන්ත ය. මෙය ප්‍රණීත ය’ වශයෙනි. ඔහු ඒ පළමු ධ්‍යානයෙහි සිටියේ ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ඔහු ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමට නොපැමිණෙයි නම්, ඒ ධර්මයට වූ කැමැත්තෙන් ම, ධර්මයෙන් ලත් සතුටින් ම පංච ඕරම්භාගීය සංයෝජනයන් ගෙවා දමා සුද්ධාවාස බඹලොව ඕපාපතික ව උපදින්නේ වෙයි. ඒ ලොවින් මෙලොවට පෙරළා නොඑනසුළු වූයේ එහි පිරිනිවන් පාන්නේ වෙයි.

මහණෙනි, යම් සේ දුනුවායෙක් වේවා, දුනුවායෙකුගේ අතවැසියෙක් වේවා, පඹයෙකුට හෝ මැටි පිඬකට හෝ විදිමින් යෝග්‍ය අභ්‍යාස කොට පසුකලක හේ ඉතා දුරට හීය විදින අකුණු එළියෙන් නොවැරදී හීය විදින මහත් වූ කය බිඳින්නෙක් වෙයි ද, එසෙයින් ම මහණෙනි, භික්ෂුව කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ඔහු ඒ පළමු ධ්‍යානයෙහි රූපයට අයත් වූ, විඳීමට අයත් වූ, සංඥාවට අයත් වූ, සංස්කාරවලට අයත් වූ, විඤ්ඤාණයට අයත් වූ යමක් ඇත්නම්, ඒවා අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන් ගඬුවක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, පීඩාවක් වශයෙන්, ආබාධයක් වශයෙන්, අන්‍යයන්ගේ දෙයක් වශයෙන්, වැනසී යන දෙයක් වශයෙන්, ආත්මයකින් හිස් දෙයක් වශයෙන්, අනාත්ම වශයෙන් නුවණින් දකියි. ඔහු ඒවායින් සිත වළක්වයි. ඔහු ඒවායින් සිත වළක්වා අමෘත ධාතුවෙහි සිත බස්සවයි. එනම් ‘යම් මේ සියළු සංස්කාරයන්ගේ සංසිඳීමක් ඇද්ද, සියළු කෙලෙසුන් දුරු කිරීමක් ඇද්ද, තෘෂ්ණාව ක්ෂය වීමක් ඇද්ද, විරාගයක් ඇද්ද, නිරෝධයක් ඇද්ද, නිවනක් ඇද්ද, මෙය ශාන්ත ය. මෙය ප්‍රණීත ය’ වශයෙනි. ඔහු ඒ පළමු ධ්‍යානයෙහි සිටියේ ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ඔහු ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමට නොපැමිණෙයි නම්, ඒ ධර්මයට වූ කැමැත්තෙන් ම, ධර්මයෙන් ලත් ඒ සතුටින් ම පංච ඕරම්භාගීය සංයෝජනයන් ගෙවා දමා සුද්ධාවාස බඹලොව ඕපාපතික ව උපදින්නේ වෙයි. ඒ ලොවින් මෙලොවට පෙරළා නොඑනසුළු වූයේ එහි පිරිනිවන් පාන්නේ වෙයි.

‘මහණෙනි, මම ප්‍රථම ධ්‍යානය ඇසුරු කොට ත් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පවසමි’ යනුවෙන් යමක් පවසන ලද්දේ නම්, එය පවසන ලද්දේ මේ සඳහා ය.

‘මහණෙනි, මම දෙවෙනි ධ්‍යානය ඇසුරු කොට ත් ….(පෙ)…. මහණෙනි, මම තුන්වෙනි ධ්‍යානය ඇසුරු කොට ත් ….(පෙ)…. මහණෙනි, මම සිව්වෙනි ධ්‍යානය ඇසුරු කොට ත් ….(පෙ)….

මහණෙනි, මම ආකාසානඤ්චායතනය ඇසුරු කොට ත් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පවසමි’ යනුවෙන් පවසන ලද්දේ නම්, එය පවසන ලද්දේ කුමක් සඳහා ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව සියළු අයුරින් රූප සංඥාවන් ඉක්මවීමෙන්, ගොරෝසු සංඥාවන් නැති වීමෙන් සංඥාවන්ගේ නා නා ස්වභාවය මෙනෙහි නොකිරීමෙන් ‘අනන්ත ආකාසය’ යැයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි. ඔහු ඒ අරූප ධ්‍යානයෙහි විඳීමට අයත් වූ, සංඥාවට අයත් වූ, සංස්කාරවලට අයත් වූ, විඤ්ඤාණයට අයත් වූ යමක් ඇත්නම්, ….(පෙ)…. පංච ඕරම්භාගීය සංයෝජනයන් ගෙවා දමා සුද්ධාවාස බඹලොව ඕපාපතික ව උපදින්නේ වෙයි. ඒ ලොවින් මෙලොවට පෙරළා නොඑනසුළු වූයේ එහි පිරිනිවන් පාන්නේ වෙයි.

මහණෙනි, යම් සේ දුනුවායෙක් වේවා, දුනුවායෙකුගේ අතවැසියෙක් වේවා, පඹයෙකුට හෝ මැටි පිඬකට හෝ විදිමින් යෝග්‍ය අභ්‍යාස කොට පසුකලක හේ ඉතා දුරට හීය විදින අකුණු එළියෙන් නොවැරදී හීය විදින මහත් වූ කය බිඳින්නෙක් වෙයි ද, එසෙයින් ම මහණෙනි, භික්ෂුව සියළු අයුරින් රූප සංඥාවන් ඉක්මවීමෙන්, ගොරෝසු සංඥාවන් නැති වීමෙන් සංඥාවන්ගේ නා නා ස්වභාවය මෙනෙහි නොකිරීමෙන් ‘අනන්ත ආකාසය’ යැයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි. ඔහු ඒ අරූප ධ්‍යානයෙහි විඳීමට අයත් වූ, සංඥාවට අයත් වූ, සංස්කාරවලට අයත් වූ, විඤ්ඤාණයට අයත් වූ යමක් ඇත්නම්, ….(පෙ)…. පංච ඕරම්භාගීය සංයෝජනයන් ගෙවා දමා සුද්ධාවාස බඹලොව ඕපාපතික ව උපදින්නේ වෙයි. ඒ ලොවින් මෙලොවට පෙරළා නොඑනසුළු වූයේ එහි පිරිනිවන් පාන්නේ වෙයි.

මහණෙනි, මම ආකාසානඤ්චායතනය ඇසුරු කොට ත් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පවසමි’ යනුවෙන් යමක් පවසන ලද්දේ නම්, එය පවසන ලද්දේ මේ සඳහා ය.

‘මහණෙනි, මම විඤ්ඤාණඤ්චායතනය ඇසුරු කොට ත් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පවසමි ….(පෙ)….

මහණෙනි, මම ආකිඤ්චඤ්ඤායතනය ඇසුරු කොට ත් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පවසමි’ යනුවෙන් පවසන ලද්දේ නම්, එය පවසන ලද්දේ කුමක් සඳහා ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව සියළු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවීමෙන්, ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. ඔහු ඒ අරූප ධ්‍යානයෙහි විඳීමට අයත් වූ, සංඥාවට අයත් වූ, ….(පෙ)…. පංච ඕරම්භාගීය සංයෝජනයන් ගෙවා දමා සුද්ධාවාස බඹලොව ඕපාපතික ව උපදින්නේ වෙයි. ඒ ලොවින් මෙලොවට පෙරළා නොඑනසුළු වූයේ එහි පිරිනිවන් පාන්නේ වෙයි.

මහණෙනි, මම ආකිඤ්චඤ්ඤායතනය ඇසුරු කොට ත් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පවසමි’ යනුවෙන් යමක් පවසන ලද්දේ නම්, එය පවසන ලද්දේ මේ සඳහා ය.

මෙසේ මහණෙනි, යම්තාක් සංඥා සමාපත්ති වෙයි ද, ඒ තාක් අරහත්වය අවබෝධ කරන්නේ වෙයි. මහණෙනි, යම් මේ සමාපත්ති ආයතනයෝ වෙත් ද, නේවසඤ්ඤානාසඤ්ඤායතනය ත්, සංඥා වේදයිත නිරෝධය ත් ඇද්ද, මේවා ධ්‍යාන වඩන්නා වූ, ධ්‍යානයට සමවැදීමෙහි දක්ෂ වූ ධ්‍යානයෙන් නැගිටීමෙහි දක්ෂ වූ භික්ෂූන් විසින් සමවැදී නැගිට එහි ප්‍රණීත බව මැනැවින් පැවසිය යුතු යැයි කියමි.

සාදු! සාදු!! සාදු!!!

ඣානනිස්සය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M