අංගුත්තර නිකාය

නවක නිපාතෝ

9.1.4.4. ගාවීඋපමා සුත්තං

9.1.4.4. ගවදෙන උපමා කොට වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, එය මෙබඳු දෙයකි. කන්දක හැසිරෙන බාල වූ, අව්‍යක්ත වූ, තණබිම් නොදන්නා වූ ගවදෙන විෂම පර්වතයෙහි හැසිරෙන්නට අදක්ෂ වන්නී ය. ඇයට මෙසේ සිතෙයි. ‘ඉදින් මම නොගිය විරූ දිශාවකට යන්නෙම් නම්, නොකෑ විරූ තණ කන්නෙම් නම්, නොබිව් විරූ පැන් බොන්නෙම් නම් යහපති’ යි.

මෙසේ සිතා ඇය පෙර පාදයන් මැනැවින් පිහිටුවීමක් නොකොට, පසු පාදයන් උඩට ඔසොවයි. ඇය නොගිය විරූ දිශාවකට ත් නොයයි. නොකෑ විරූ තණ ත් නොකයි. නොබිව් විරූ පැනුත් නොබොයි. යම් ප්‍රදේශයක සිටි ඇයට මෙසේ සිතෙයි නම්, ‘ඉදින් මම නොගිය විරූ දිශාවකට යන්නෙම් නම්, නොකෑ විරූ තණ කන්නෙම් නම්, නොබිව් විරූ පැන් බොන්නෙම් නම් යහපති’ යි. නමුත් ඇය ඒ ප්‍රදේශයට සුවසේ පෙරළා නොඑයි. ඒ මක් නිසා ද යත්, මහණෙනි, කන්දක හැසිරෙන බාල වූ, අව්‍යක්ත වූ, තණබිම් නොදන්නා වූ ගවදෙන විෂම පර්වතයෙහි හැසිරෙන්නට අදක්ෂ වන නිසා ය.

එසෙයින් ම මහණෙනි, මෙහිලා ඇතැම් භික්ෂුවක් බාල වෙයි ද, අව්‍යක්ත වෙයි ද, ක්ෂේත්‍රය නොදනියි ද, අදක්ෂ වෙයි ද, ඔහු කාමයන්ගෙන් වෙන් ව, අකුසල ධර්මයන්ගෙන් වෙන් ව, විතර්ක විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ඔහු ඒ සමාධි නිමිත්ත සේවනය නොකරයි. දියුණු නොකරයි. බහුල ව ප්‍රගුණ නොකරයි. මනාකොට අධිෂ්ඨාන නොකරයි.

ඔහුට මෙසේ සිතෙයි. ‘ඉදින් මම විතර්ක විචාරයන් සංසිඳුවා ….(පෙ)…. දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරන්නෙම් නම් යහපති’ යි. නමුත් ඔහු විතර්ක විචාරයන් සංසිඳුවා ….(පෙ)…. දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරන්නට අසමර්ථ වෙයි. ඔහුට මෙසේ සිතෙයි. ‘ඉදින් මම කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. පළමුවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරන්නෙම් නම් යහපති’ යි. නමුත් ඔහු කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. පළමුවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරන්නට අසමර්ථ වෙයි. මහණෙනි, මේ භික්ෂුව දෙපැත්තෙන් ම නැසුණේ, දෙපැත්තෙන් ම පිරිහුණේ යැයි කියනු ලැබේ. මහණෙනි, යම් සේ කන්දක හැසිරෙන බාල වූ, අව්‍යක්ත වූ, තණබිම් නොදන්නා වූ ගවදෙන විෂම පර්වතයෙහි හැසිරෙන්නට අදක්ෂ වෙයි ද, එබඳු ය.

මහණෙනි, එය මෙබඳු දෙයකි. කන්දක හැසිරෙන නුවණැති, ව්‍යක්ත වූ, තණබිම් දන්නා වූ ගවදෙන විෂම පර්වතයෙහි හැසිරෙන්නට දක්ෂ වන්නී ය. ඇයට මෙසේ සිතෙයි. ‘ඉදින් මම නොගිය විරූ දිශාවකට යන්නෙම් නම්, නොකෑ විරූ තණ කන්නෙම් නම්, නොබිව් විරූ පැන් බොන්නෙම් නම් යහපති’ යි.

මෙසේ සිතා ඇය පෙර පාදයන් මැනැවින් පිහිටුවා ගෙන, පසු පාදයන් උඩට ඔසොවයි. ඇය නොගිය විරූ දිශාවකට ත් යයි. නොකෑ විරූ තණ ත් කයි. නොබිව් විරූ පැනුත් බොයි. යම් ප්‍රදේශයක සිටි ඇයට මෙසේ සිතෙයි නම් ‘ඉදින් මම නොගිය විරූ දිශාවකට යන්නෙම් නම්, නොකෑ විරූ තණ කන්නෙම් නම්, නොබිව් විරූ පැන් බොන්නෙම් නම් යහපති’ යි. ඇය ඒ ප්‍රදේශයට ද සුවසේ පෙරළා එයි. ඒ මක් නිසා ද යත්, මහණෙනි, කන්දක හැසිරෙන නුවණැති වූ, ව්‍යක්ත වූ, තණබිම් දන්නා වූ ගවදෙන විෂම පර්වතයෙහි හැසිරෙන්නට දක්ෂ වන නිසා ය.

එසෙයින් ම මහණෙනි, මෙහිලා ඇතැම් භික්ෂුවක් නුවණැත්තේ ද, ව්‍යක්ත වෙයි ද, ක්ෂේත්‍රය දනියි ද, දක්ෂ වෙයි ද, ඔහු කාමයන්ගෙන් වෙන් ව, අකුසල ධර්මයන්ගෙන් වෙන් ව, විතර්ක විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ඔහු ඒ සමාධි නිමිත්ත සේවනය කරයි. දියුණු කරයි. බහුල ව ප්‍රගුණ කරයි. මනාකොට අධිෂ්ඨාන කරයි.

ඔහුට මෙසේ සිතෙයි. ‘ඉදින් මම විතර්ක විචාරයන් සංසිඳුවා ….(පෙ)…. දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරන්නෙම් නම් යහපති’ යි. ඔහු දෙවෙනි ධ්‍යානය නොපෙළන්නේ, විතර්ක විචාරයන් සංසිඳුවා ….(පෙ)…. දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඔහු ඒ සමාධි නිමිත්ත සේවනය කරයි. දියුණු කරයි. බහුල ව ප්‍රගුණ කරයි. මනාකොට අධිෂ්ඨාන කරයි.

ඔහුට මෙසේ සිතෙයි. ‘ඉදින් මම ප්‍රීතියට ද නොඇල්මෙන් ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරන්නෙම් නම් යහපති’ යි. ඔහු තුන්වෙනි ධ්‍යානය නොපෙළන්නේ, ප්‍රීතියට ද නොඇල්මෙන් ….(පෙ)….තුන්වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඔහු ඒ සමාධි නිමිත්ත සේවනය කරයි. දියුණු කරයි. බහුල ව ප්‍රගුණ කරයි. මනාකොට අධිෂ්ඨාන කරයි.

ඔහුට මෙසේ සිතෙයි. ‘ඉදින් මම සැපය ද ප්‍රහාණය කොට, දුක ද ප්‍රහාණය කොට ….(පෙ)…. සිව්වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරන්නෙම් නම් යහපති’ යි. ඔහු සිව්වෙනි ධ්‍යානය නොපෙළන්නේ, සැපය ද ප්‍රහාණය කොට, දුක ද ප්‍රහාණය කොට ….(පෙ)…. සිව්වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඔහු ඒ සමාධි නිමිත්ත සේවනය කරයි. දියුණු කරයි. බහුල ව ප්‍රගුණ කරයි. මනාකොට අධිෂ්ඨාන කරයි.

ඔහුට මෙසේ සිතෙයි. ‘ඉදින් මම සියළු අයුරින් රූප සංඥාවන් ඉක්මවීමෙන්, ගොරෝසු සංඥාවන් නැති වීමෙන් සංඥාවන්ගේ නා නා ස්වභාවය මෙනෙහි නොකිරීමෙන් ‘අනන්ත ආකාසය’ යැයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරන්නෙම් නම් යහපති’ යි. ඔහු ආකාසානඤ්චායතනය නොපෙළන්නේ, සියළු අයුරින් රූප සංඥාවන් ඉක්මවීමෙන්, ….(පෙ)…. ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි. ඔහු ඒ සමාධි නිමිත්ත සේවනය කරයි. දියුණු කරයි. බහුල ව ප්‍රගුණ කරයි. මනාකොට අධිෂ්ඨාන කරයි.

ඔහුට මෙසේ සිතෙයි. ‘ඉදින් මම සියළු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවීමෙන්, ‘විඤ්ඤාණය අනන්ත’ යැයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරන්නෙම් නම් යහපති’ යි. ඔහු විඤ්ඤාණඤ්චායතනය නොපෙළන්නේ, සියළු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවීමෙන්, ‘විඤ්ඤාණය අනන්ත’ යැයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. ඔහු ඒ සමාධි නිමිත්ත සේවනය කරයි. දියුණු කරයි. බහුල ව ප්‍රගුණ කරයි. මනාකොට අධිෂ්ඨාන කරයි.

ඔහුට මෙසේ සිතෙයි. ‘ඉදින් මම සියළු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ගොස් ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරන්නෙම් නම් යහපති’ යි. ඔහු ආකිඤ්චඤ්ඤායතනය නොපෙළන්නේ, සියළු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ගොස් ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. ඔහු ඒ සමාධි නිමිත්ත සේවනය කරයි. දියුණු කරයි. බහුල ව ප්‍රගුණ කරයි. මනාකොට අධිෂ්ඨාන කරයි.

ඔහුට මෙසේ සිතෙයි. ‘ඉදින් මම සියළු අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවීමෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරන්නෙම් නම් යහපති’ යි. ඔහු නේවසඤ්ඤානාසඤ්ඤායතනය නොපෙළන්නේ, සියළු අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවීමෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. ඔහු ඒ සමාධි නිමිත්ත සේවනය කරයි. දියුණු කරයි. බහුල ව ප්‍රගුණ කරයි. මනාකොට අධිෂ්ඨාන කරයි.

ඔහුට මෙසේ සිතෙයි. ‘ඉදින් මම සියළු අයුරින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවාගොස් සංඥාවේදයිත නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරන්නෙම් නම් යහපති’ යි. ඔහු සංඥා වේදයිත නිරෝධය නොපෙළන්නේ, සියළු නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවාගොස් සංඥාවේදයිත නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරයි.

මහණෙනි, යම් කලක භික්ෂුව ඒ ඒ සමාපත්තියට සමවදින්නේ ත් වෙයි නම්, නැගිටින්නේ ත් වෙයි නම් ඔහුගේ සිත මෘදු වෙයි. කර්මණ්‍ය වෙයි. මෘදු වූ කර්මණ්‍ය වූ සිතින් ප්‍රමාණ රහිත කොට සමාධිය මැනැවින් දියුණු කරන ලද්දේ වෙයි. ඔහු ප්‍රමාණ රහිත කොට මැනැවින් දියුණු කරන ලද සමාධියෙන් විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කිරීම පිණිස යම් යම් ධර්මයක් ඇද්ද, එය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කිරීම පිණිස සිත මැනැවින් යොමු කරයි ද, ඒ ඒ තන්හි ම,

ඒ ඒ ආයතනයෙහි එය සාක්ෂාත් කළ හැකි බවට පැමිණෙයි.

ඉදින් ඔහු කැමති නම්, නොයෙක් ආකාර වූ ඉර්ධිවිධීන් අත්දකින්නෙම් නම් කියා, එක් කෙනෙක් ව සිට බොහෝ අය පරිදි වෙම්වා යි කියා, බොහෝ අය ව සිට එක් කෙනෙක් වෙම්වා යි කියා, ….(පෙ)…. බඹලොව දක්වා කයෙන් වසඟයෙහි පවත්වන්නෙම්වා යි කියා, ඒ ඒ තන්හි ම,

ඒ ඒ ආයතනයෙහි එය සාක්ෂාත් කළ හැකි බවට පැමිණෙයි.

ඉදින් ඔහු කැමති නම්, දිව්‍ය ශ්‍රවණයෙන් ….(පෙ)…. ඒ ඒ තන්හි ම,

ඒ ඒ ආයතනයෙහි එය සාක්ෂාත් කළ හැකි බවට පැමිණෙයි.

ඉදින් ඔහු කැමති නම්, අන්‍ය වූ සත්වයන්ගේ, අන්‍ය පුද්ගලයන්ගේ සිත සිය සිතින් පිරිසිඳ දැනගනිම්වා යි, සරාගී සිත සරාගී සිතක් යැයි දැනගන්නෙම් නම් ….(පෙ)…. විමුක්ත සිත විමුක්ත සිතක් යැයි දැනගන්නෙම් නම් කියා, ඒ ඒ තන්හි ම,

ඒ ඒ ආයතනයෙහි එය සාක්ෂාත් කළ හැකි බවට පැමිණෙයි.

ඉදින් ඔහු කැමති නම්, නොයෙක් අයුරින් පෙර විසූ කඳ පිළිවෙල සිහි කරන්නෙම් නම්, එනම් එක් උපතක් ද, උපත් දෙකක් ද, ….(පෙ)…. මෙසේ කරුණු සහිත වූ, විස්තර සහිත වූ පෙර විසූ කඳ පිළිවෙල නොයෙක් ප්‍රකාරයෙන් සිහි කරන්නෙම් නම් කියා, ඒ ඒ තන්හි ම,

ඒ ඒ ආයතනයෙහි එය සාක්ෂාත් කළ හැකි බවට පැමිණෙයි.

ඉදින් ඔහු කැමති නම්, මිනිස් ඇස ඉක්මවා ගිය පිරිසිදු දිවැසින් ….(පෙ)…. කර්මානුරූප ව උපත කරා යන සත්වයන් දකින්නෙම් නම් කියා, ඒ ඒ තන්හි ම,

ඒ ඒ ආයතනයෙහි එය සාක්ෂාත් කළ හැකි බවට පැමිණෙයි.

ඉදින් ඔහු කැමති නම්, ආශ්‍රවයන් ක්ෂය කොට අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී ම ස්වකීය විශිෂ්ට ඥානයෙන් දැන සාක්ෂාත් කොට පැමිණ වාසය කරන්නෙම් නම් කියා, ඒ ඒ තන්හි ම,

ඒ ඒ ආයතනයෙහි එය සාක්ෂාත් කළ හැකි බවට පැමිණෙයි.

සාදු! සාදු!! සාදු!!!

ගාවීඋපමා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M