අංගුත්තර නිකාය

නවක නිපාතෝ

9.1.4.3. නිබ්බානසුඛ සුත්තං

9.1.4.3. නිවන් සැප ගැන වදාළ දෙසුම

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩවසන සේක. එහිදී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ‘ආයුෂ්මත් මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ‘ආයුෂ්මතුන් වහන්සැ’ යි ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙය වදාළ සේක.

“ආයුෂ්මත්නි, මේ නිවන සැපයක් නොවැ. ආයුෂ්මත්නි, මේ නිවන සැපයක් නොවැ.”

මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙය පැවසූහ.

“කිම, ආයුෂ්මත් සාරිපුත්තයෙනි, යම් තැනක විඳින දෙයක් නැත්නම් එහි කවර නම් සැපයක් ඇත්තේ ද?”

“ආයුෂ්මත, යම් තැනක විඳින දෙයක් නැද්ද, එහි ඇති සැපය එය ම නොවැ.

ආයුෂ්මත්නි, මේ කාම ගුණයෝ පසකි. ඒ කවර පසක් ද යත්, ඇසින් දත යුතු ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇති, කාමූපසංහිත වූ, රජනීය වූ රූපයෝ ය. කනෙන් දත යුතු ශබ්දයෝ ය ….(පෙ)…. නාසයෙන් දත යතු ගන්ධයෝ ය. ….(පෙ)…. දිවෙන් දත යුතු රසයෝ ය. ….(පෙ)…. කයෙන් දත යුතු ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇති, කාමූපසංහිත වූ, රජනීය වූ ස්පර්ශයෝ ය. ආයුෂ්මත්නි, මේ වනාහී පංච කාම ගුණයෝ ය. ආයුෂ්මත්නි, මේ පංච කාම ගුණයන් නිසාවෙන් හටගන්නා යම් සැපයක් සොම්නසක් ඇද්ද, මෙය කාම සැපය යැයි කියනු ලැබේ.

1. ආයුෂ්මත්නි, මෙහිලා භික්ෂුවක් කාමයන්ගෙන් වෙන් ව, අකුසල ධර්මයන්ගෙන් වෙන් ව, විතර්ක විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ඉදින් ආයුෂ්මත්නි, ඒ භික්ෂුවට මේ විහරණයෙන් වාසය කරද්දී කාම සහගත සංඥා මනසිකාරයෝ මතුවෙත් නම්, එය ඔහුට පීඩාවකි. ආයුෂ්මත්නි, එය මෙබඳු දෙයකි. සැපසේ සිටින කෙනෙකුට පීඩාව පිණිස දුකක් උපදින්නේ යම් සේ ද, එසෙයින් ම ඒ කාම සහගත සංඥා මනසිකාරයෝ ඔහු තුළ මතුවෙත් නම් එය ඔහුට පීඩාවකි. ආයුෂ්මත්නි, යම් පීඩාවක් ඇද්ද, එය භාග්‍යවතුන් වහන්සේ දුක යැයි වදාරණ ලද්දේ ය. ආයුෂ්මත්නි, යම් සේ නිර්වාණය සැපයක් වෙයි ද, එය මේ ක්‍රමයෙනුත් දත යුත්තේ ය.

2. තව ද ආයුෂ්මත්නි, භික්ෂුවක් විතර්ක විචාරයන් සංසිඳීමෙන් ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ආයුෂ්මත්නි, ඒ භික්ෂුවට මේ විහරණයෙන් වාසය කරද්දී විතර්ක සහගත සංඥා මනසිකාරයෝ මතුවෙත් නම්, එය ඔහුට පීඩාවකි. ආයුෂ්මත්නි, එය මෙබඳු දෙයකි. සැපසේ සිටින කෙනෙකුට පීඩාව පිණිස දුකක් උපදින්නේ යම් සේ ද, එසෙයින් ම ඒ විතර්ක සහගත සංඥා මනසිකාරයෝ ඔහු තුළ මතුවෙත් නම් එය ඔහුට පීඩාවකි. ආයුෂ්මත්නි, යම් පීඩාවක් ඇද්ද, එය භාග්‍යවතුන් වහන්සේ දුක යැයි වදාරණ ලද්දේ ය. ආයුෂ්මත්නි, යම් සේ නිර්වාණය සැපයක් වෙයි ද, එය මේ ක්‍රමයෙනුත් දත යුත්තේ ය.

3. තව ද ආයුෂ්මත්නි, භික්ෂුවක් ප්‍රීතියට ද නොඇලීමෙන් ….(පෙ)…. ඒ තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ආයුෂ්මත්නි, ඒ භික්ෂුවට මේ විහරණයෙන් වාසය කරද්දී ප්‍රීති සහගත සංඥා මනසිකාරයෝ මතුවෙත් නම්, එය ඔහුට පීඩාවකි. ආයුෂ්මත්නි, එය මෙබඳු දෙයකි. සැපසේ සිටින කෙනෙකුට පීඩාව පිණිස දුකක් උපදින්නේ යම් සේ ද, එසෙයින් ම ඒ ප්‍රීති සහගත සංඥා මනසිකාරයෝ ඔහු තුළ මතුවෙත් නම් එය ඔහුට පීඩාවකි. ආයුෂ්මත්නි, යම් පීඩාවක් ඇද්ද, එය භාග්‍යවතුන් වහන්සේ දුක යැයි වදාරණ ලද්දේ ය. ආයුෂ්මත්නි, යම් සේ නිර්වාණය සැපයක් වෙයි ද, එය මේ ක්‍රමයෙනුත් දත යුත්තේ ය.

4. තව ද ආයුෂ්මත්නි, භික්ෂුවක් සැපය ද ප්‍රහාණය කිරීමෙන්, ….(පෙ)…. සතර වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ආයුෂ්මත්නි, ඒ භික්ෂුවට මේ විහරණයෙන් වාසය කරද්දී උපේක්ෂා සහගත සංඥා මනසිකාරයෝ මතුවෙත් නම්, එය ඔහුට පීඩාවකි. ආයුෂ්මත්නි, එය මෙබඳු දෙයකි. සැපසේ සිටින කෙනෙකුට පීඩාව පිණිස දුකක් උපදින්නේ යම් සේ ද, එසෙයින් ම ඒ උපේක්ෂා සහගත සංඥා මනසිකාරයෝ ඔහු තුළ මතුවෙත් නම් එය ඔහුට පීඩාවකි. ආයුෂ්මත්නි, යම් පීඩාවක් ඇද්ද, එය භාග්‍යවතුන් වහන්සේ දුක යැයි වදාරණ ලද්දේ ය. ආයුෂ්මත්නි, යම් සේ නිර්වාණය සැපයක් වෙයි ද, එය මේ ක්‍රමයෙනුත් දත යුත්තේ ය.

5. තව ද ආයුෂ්මත්නි, භික්ෂුවක් සියළු අයුරින් රූප සංඥාවන් ඉක්මවීමෙන්, ගොරෝසු සංඥාවන් නැති වීමෙන් සංඥාවන්ගේ නා නා ස්වභාවය මෙනෙහි නොකිරීමෙන් ‘අනන්ත ආකාසය’ යැයි ආකාසානඤ්චායතනය උපදවාගෙන වාසය කරයි. ආයුෂ්මත්නි, ඒ භික්ෂුවට මේ විහරණයෙන් වාසය කරද්දී රූප සහගත සංඥා මනසිකාරයෝ මතුවෙත් නම්, එය ඔහුට පීඩාවකි. ආයුෂ්මත්නි, එය මෙබඳු දෙයකි. සැපසේ සිටින කෙනෙකුට පීඩාව පිණිස දුකක් උපදින්නේ යම් සේ ද, එසෙයින් ම ඒ රූප සහගත සංඥා මනසිකාරයෝ ඔහු තුළ මතුවෙත් නම් එය ඔහුට පීඩාවකි. ආයුෂ්මත්නි, යම් පීඩාවක් ඇද්ද, එය භාග්‍යවතුන් වහන්සේ දුක යැයි වදාරණ ලද්දේ ය. ආයුෂ්මත්නි, යම් සේ නිර්වාණය සැපයක් වෙයි ද, එය මේ ක්‍රමයෙනුත් දත යුත්තේ ය.

6. තව ද ආයුෂ්මත්නි, භික්ෂුවක් සියළු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවීමෙන්, ‘විඤ්ඤාණය අනන්ත’ යැයි විඤ්ඤාණඤ්චායතනය උපදවාගෙන වාසය කරයි. ආයුෂ්මත්නි, ඒ භික්ෂුවට මේ විහරණයෙන් වාසය කරද්දී ආකාසානඤ්චායතන සහගත සංඥා මනසිකාරයෝ මතුවෙත් නම්, එය ඔහුට පීඩාවකි. ආයුෂ්මත්නි, එය මෙබඳු දෙයකි. සැපසේ සිටින කෙනෙකුට පීඩාව පිණිස දුකක් උපදින්නේ යම් සේ ද, එසෙයින් ම ඒ ආකාසානඤ්චායතන සහගත සංඥා මනසිකාරයෝ ඔහු තුළ මතුවෙත් නම් එය ඔහුට පීඩාවකි. ආයුෂ්මත්නි, යම් පීඩාවක් ඇද්ද, එය භාග්‍යවතුන් වහන්සේ දුක යැයි වදාරණ ලද්දේ ය. ආයුෂ්මත්නි, යම් සේ නිර්වාණය සැපයක් වෙයි ද, එය මේ ක්‍රමයෙනුත් දත යුත්තේ ය.

7. තව ද ආයුෂ්මත්නි, භික්ෂුවක් සියළු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ගොස් ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනය උපදවාගෙන වාසය කරයි. ආයුෂ්මත්නි, ඒ භික්ෂුවට මේ විහරණයෙන් වාසය කරද්දී විඤ්ඤාණඤ්චායතන සහගත සංඥා මනසිකාරයෝ මතුවෙත් නම්, එය ඔහුට පීඩාවකි. ආයුෂ්මත්නි, එය මෙබඳු දෙයකි. සැපසේ සිටින කෙනෙකුට පීඩාව පිණිස දුකක් උපදින්නේ යම් සේ ද, එසෙයින් ම ඒ විඤ්ඤාණඤ්චායතන සහගත සංඥා මනසිකාරයෝ ඔහු තුළ මතුවෙත් නම් එය ඔහුට පීඩාවකි. ආයුෂ්මත්නි, යම් පීඩාවක් ඇද්ද, එය භාග්‍යවතුන් වහන්සේ දුක යැයි වදාරණ ලද්දේ ය. ආයුෂ්මත්නි, යම් සේ නිර්වාණය සැපයක් වෙයි ද, එය මේ ක්‍රමයෙනුත් දත යුත්තේ ය.

8. තව ද ආයුෂ්මත්නි, භික්ෂුවක් සියළු අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවීමෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවාගෙන වාසය කරයි. ආයුෂ්මත්නි, ඒ භික්ෂුවට මේ විහරණයෙන් වාසය කරද්දී ආකිඤ්චඤ්ඤායතන සහගත සංඥා මනසිකාරයෝ මතුවෙත් නම්, එය ඔහුට පීඩාවකි. ආයුෂ්මත්නි, එය මෙබඳු දෙයකි. සැපසේ සිටින කෙනෙකුට පීඩාව පිණිස දුකක් උපදින්නේ යම් සේ ද, එසෙයින් ම ඒ ආකිඤ්චඤ්ඤායතන සහගත සංඥා මනසිකාරයෝ ඔහු තුළ මතුවෙත් නම් එය ඔහුට පීඩාවකි. ආයුෂ්මත්නි, යම් පීඩාවක් ඇද්ද, එය භාග්‍යවතුන් වහන්සේ දුක යැයි වදාරණ ලද්දේ ය. ආයුෂ්මත්නි, යම් සේ නිර්වාණය සැපයක් වෙයි ද, එය මේ ක්‍රමයෙනුත් දත යුත්තේ ය.

9. තව ද ආයුෂ්මත්නි, භික්ෂුවක් සියළු අයුරින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවාගොස් සංඥාවේදයිත නිරෝධ සමාපත්තිය උපදවාගෙන වාසය කරයි. ප්‍රඥාවෙන් දැක ඔහු විසින් ආශ්‍රවයන් ද ක්ෂය කරන ලද්දේ වෙයි. ආයුෂ්මත්නි, යම් සේ නිර්වාණය සැපයක් වෙයි ද, එය මේ ක්‍රමයෙනුත් දත යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

නිබ්බානසුඛ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M