සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ නවයක් වූ අනුපිළිවෙලින් සමවදින විහරණයන් පිළිබඳ ව දෙසන්නෙමි. එය අසව්. ….(පෙ)…. ඒ නවයක් වූ අනුපිළිවෙලින් සමවදින විහරණයෝ මොනවා ද?
1. යම් තැනක කාමයෝ නිරුද්ධ වෙත් නම්, යම් කෙනෙක් කාමයන් නැවත නැවත නිරුද්ධ කරමින් වාසය කරත් නම්, ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු කාමපිපාසය නැත්තෝ ය. නිවුණාහු ය. තණ්හා නැත්තෝ ය. ඒ අංගයෙන් එතෙරට ගියාහු යැයි කියමි.
කාමයෝ කොතැනක නිරුද්ධ වෙත් ද? කවුරු නම් කාමයන් නැවත නැවත නිරුද්ධ කොට වාසය කරත් ද? මෙකරුණ මම නොදනිමි, මෙකරුණ මම නොදකිමි කියා යමෙක් මෙසේ කියයි නම් ඔහුට මෙසේ කිව යුත්තේ ය.
‘ආයුෂ්මත්නි, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන් ව, අකුසල ධර්මයන්ගෙන් වෙන් ව, ….(පෙ)…. පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. කාමයන් නිරුද්ධ වන්නේ මේ ප්‍රථම ධ්‍යානයෙහි ය. ප්‍රථම ධ්‍යානය ලැබූ අය ද කාමයන් නිරුද්ධ කොට නිරුද්ධ කොට වාසය කරති’ මහණෙනි, ඒකාන්තයෙන් වංචා නැති, මායා නැති භික්ෂුව ‘යහපති’ යි ඒ වචනය සතුටින් පිළිගන්නේ ය. අනුමෝදන් වන්නේ ය. ‘යහපති’ යි කියා ඒ වචනය සතුටින් පිළිගෙන, අනුමෝදන් වී ඇඳිලි බැඳ වන්දනා කරමින් ඔවුන් ඇසුරු කරන්නේ ය.
2. යම් තැනක විතර්ක විචාරයෝ නිරුද්ධ වෙත් නම්, යම් කෙනෙකුත් විතර්ක විචාරයන් නැවත නැවත නිරුද්ධ කොට වාසය කරත් නම්, ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු කාම පිපාසය නැත්තෝ ය. නිවුණාහු ය. තණ්හා නැත්තෝ ය. ඒ අංගයෙන් එතෙරට ගියාහු යැයි කියමි.
විතර්ක විචාරයෝ කොතැනක නිරුද්ධ වෙත් ද? කවුරු නම් විතර්ක විචාරයන් නැවත නැවත නිරුද්ධ කොට වාසය කරත් ද? මෙකරුණ මම නොදනිමි, මෙකරුණ මම නොදකිමි කියා මෙසේ යමෙක් කියයි නම් ඔහුට මෙසේ කිව යුත්තේ ය. ‘ආයුෂ්මත්නි, මෙහිලා භික්ෂුවක් විතර්ක විචාරයන් සංසිඳීමෙන් තමා තුළ පැහැදීම ඇති කරවන සිතේ එකඟ බවින් යුතුව විතර්ක විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. විතර්ක විචාරයන් නිරුද්ධ වන්නේ මෙහි ය. දෙවෙනි ධ්‍යානය ලැබූ අය විතර්ක විචාරයන් නිරුද්ධ කොට නිරුද්ධ කොට වාසය කරති.’ මහණෙනි, ඒකාන්තයෙන් වංචා නැති, මායා නැති භික්ෂුව ‘යහපති’ යි ඒ වචනය සතුටින් පිළිගන්නේ ය. අනුමෝදන් වන්නේ ය. ‘යහපති’ යි කියා ඒ වචනය සතුටින් පිළිගෙන, අනුමෝදන් වී ඇඳිලි බැඳ වන්දනා කරමින් ඔවුන් ඇසුරු කරන්නේ ය.
3. යම් තැනක ප්‍රීතිය නිරුද්ධ වෙයි නම්, යම් කෙනෙක් ප්‍රීතිය නැවත නැවත නිරුද්ධ කොට වාසය කරත් නම්, ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු කාම පිපාසය නැත්තෝ ය. නිවුණාහු ය. තණ්හා නැත්තෝ ය. ඒ අංගයෙන් එතෙරට ගියාහු යැයි කියමි.
ප්‍රීතිය කොතැනක නිරුද්ධ වෙයි ද? කවුරු නම් ප්‍රීතිය නැවත නැවත නිරුද්ධ කොට වාසය කරත් ද? මෙකරුණ මම නොදනිමි, මෙකරුණ මම නොදකිමි කියා මෙසේ යමෙක් කියයි නම් ඔහුට මෙසේ කිව යුත්තේ ය. ‘ආයුෂ්මත්නි, මෙහිලා භික්ෂුවක් ප්‍රීතියට ද නොඇලීමෙන් සිහියෙන් හා නුවණින් යුතුව උපේක්ෂාවෙන් වසයි. කයෙන් සැපයක් ද විඳියි. ආර්යයන් වහන්සේලා උපේක්ෂාවෙන් යුතුව, සිහියෙන් යුතුව ඇති සැප විහරණය යැයි යම් ධ්‍යානයකට කියන ලද්දේ ද, ඒ තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ප්‍රීතිය නිරුද්ධ වන්නේ මෙහි ය. තුන්වෙනි ධ්‍යානය ලැබූ අය ප්‍රීතිය නිරුද්ධ කොට නිරුද්ධ කොට වාසය කරති.’ මහණෙනි, ඒකාන්තයෙන් වංචා නැති, මායා නැති භික්ෂුව ‘යහපති’ යි ඒ වචනය සතුටින් පිළිගන්නේ ය. අනුමෝදන් වන්නේ ය. ‘යහපති’ යි කියා ඒ වචනය සතුටින් පිළිගෙන, අනුමෝදන් වී ඇඳිලි බැඳ වන්දනා කරමින් ඔවුන් ඇසුරු කරන්නේ ය.
4. යම් තැනක උපේක්ෂා සැපය නිරුද්ධ වෙයි නම්, යම් කෙනෙක් උපේක්ෂා සැපය නැවත නැවත නිරුද්ධ කොට වාසය කරත් නම්, ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු කාම පිපාසය නැත්තෝ ය. නිවුණාහු ය. තණ්හා නැත්තෝ ය. ඒ අංගයෙන් එතෙරට ගියාහු යැයි කියමි.
උපේක්ෂා සැපය කොතැනක නිරුද්ධ වෙයි ද? කවුරු නම් උපේක්ෂා සැපය නැවත නැවත නිරුද්ධ කොට වාසය කරත් ද? මෙකරුණ මම නොදනිමි, මෙකරුණ මම නොදකිමි කියා මෙසේ යමෙක් කියයි නම් ඔහුට මෙසේ කිව යුත්තේ ය. ‘ආයුෂ්මත්නි, මෙහිලා භික්ෂුවක් සැපය ද ප්රහාණය කිරීමෙන්, දුක ද ප්රහාණය කිරීමෙන් කලින් ම සොම්නස් දොම්නස් ඉක්ම යෑමෙන් දුක් සැප රහිත වූ උපෙක්ෂා සති පාරිශුද්ධියෙන් යුතු සතර වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. උපේක්ෂා සැපය නිරුද්ධ වන්නේ මෙහි ය. සතර වැනි ධ්‍යානය ලැබූ අය උපේක්ෂා සැපය නිරුද්ධ කොට නිරුද්ධ කොට වාසය කරති.’ මහණෙනි, ඒකාන්තයෙන් වංචා නැති, මායා නැති භික්ෂුව ‘යහපති’ යි ඒ වචනය සතුටින් පිළිගන්නේ ය. අනුමෝදන් වන්නේ ය. ‘යහපති’ යි කියා ඒ වචනය සතුටින් පිළිගෙන, අනුමෝදන් වී ඇඳිලි බැඳ වන්දනා කරමින් ඔවුන් ඇසුරු කරන්නේ ය.
5. යම් තැනක රූප සංඥා නිරුද්ධ වෙයි නම්, යම් කෙනෙක් රූප සංඥා නැවත නැවත නිරුද්ධ කොට වාසය කරත් නම්, ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු කාම පිපාසය නැත්තෝ ය. නිවුණාහු ය. තණ්හා නැත්තෝ ය. ඒ අංගයෙන් එතෙරට ගියාහු යැයි කියමි.
රූප සංඥා කොතැනක නිරුද්ධ වෙයි ද? කවුරු නම් රූප සංඥා නැවත නැවත නිරුද්ධ කොට වාසය කරත් ද? මෙකරුණ මම නොදනිමි, මෙකරුණ මම නොදකිමි කියා මෙසේ යමෙක් කියයි නම් ඔහුට මෙසේ කිව යුත්තේ ය. ‘ආයුෂ්මත්නි, මෙහිලා භික්ෂුවක් සියළු අයුරින් රූප සංඥාවන් ඉක්මවීමෙන්, ගොරෝසු සංඥාවන් නැති වීමෙන් සංඥාවන්ගේ නා නා ස්වභාවය මෙනෙහි නොකිරීමෙන් ‘අනන්ත ආකාසය’ යැයි ආකාසානඤ්චායතනය උපදවාගෙන වාසය කරයි. රූප සංඥා නිරුද්ධ වන්නේ මෙහි ය. ආකාසානඤ්චායතනය ලැබූ අය රූප සංඥා නිරුද්ධ කොට නිරුද්ධ කොට වාසය කරති.’ මහණෙනි, ඒකාන්තයෙන් වංචා නැති, මායා නැති භික්ෂුව ‘යහපති’ යි ඒ වචනය සතුටින් පිළිගන්නේ ය. අනුමෝදන් වන්නේ ය. ‘යහපති’ යි කියා ඒ වචනය සතුටින් පිළිගෙන, අනුමෝදන් වී ඇඳිලි බැඳ වන්දනා කරමින් ඔවුන් ඇසුරු කරන්නේ ය.
6. යම් තැනක ආකාසානඤ්චායතන සංඥාව නිරුද්ධ වෙයි නම්, යම් කෙනෙක් ආකාසානඤ්චායතන සංඥාව නැවත නැවත නිරුද්ධ කොට වාසය කරත් නම්, ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු කාම පිපාසය නැත්තෝ ය. නිවුණාහු ය. තණ්හා නැත්තෝ ය. ඒ අංගයෙන් එතෙරට ගියාහු යැයි කියමි.
ආකාසානඤ්චායතන සංඥාව කොතැනක නිරුද්ධ වෙයි ද? කවුරු නම් ආකාසානඤ්චායතන සංඥාව නැවත නැවත නිරුද්ධ කොට වාසය කරත් ද? මෙකරුණ මම නොදනිමි, මෙකරුණ මම නොදකිමි කියා මෙසේ යමෙක් කියයි නම් ඔහුට මෙසේ කිව යුත්තේ ය. ‘ආයුෂ්මත්නි, මෙහිලා භික්ෂුවක් සියළු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවීමෙන්, ‘විඤ්ඤාණය අනන්ත’ යැයි විඤ්ඤාණඤ්චායතනය උපදවාගෙන වාසය කරයි. ආකාසානඤ්චායතන සංඥාව නිරුද්ධ වන්නේ මෙහි ය. විඤ්ඤාණඤ්චායතනය ලැබූ අය ආකාසානඤ්චායතන සංඥාව නිරුද්ධ කොට නිරුද්ධ කොට වාසය කරති.’ මහණෙනි, ඒකාන්තයෙන් වංචා නැති, මායා නැති භික්ෂුව ‘යහපති’ යි ඒ වචනය සතුටින් පිළිගන්නේ ය. අනුමෝදන් වන්නේ ය. ‘යහපති’ යි කියා ඒ වචනය සතුටින් පිළිගෙන, අනුමෝදන් වී ඇඳිලි බැඳ වන්දනා කරමින් ඔවුන් ඇසුරු කරන්නේ ය.
7. යම් තැනක විඤ්ඤාණඤ්චායතන සංඥාව නිරුද්ධ වෙයි නම්, යම් කෙනෙක් විඤ්ඤාණඤ්චායතන සංඥාව නැවත නැවත නිරුද්ධ කොට වාසය කරත් නම්, ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු කාම පිපාසය නැත්තෝ ය. නිවුණාහු ය. තණ්හා නැත්තෝ ය. ඒ අංගයෙන් එතෙරට ගියාහු යැයි කියමි.
විඤ්ඤාණඤ්චායතන සංඥාව කොතැනක නිරුද්ධ වෙයි ද? කවුරු නම් විඤ්ඤාණඤ්චායතන සංඥාව නැවත නැවත නිරුද්ධ කොට වාසය කරත් ද? මෙකරුණ මම නොදනිමි, මෙකරුණ මම නොදකිමි කියා මෙසේ යමෙක් කියයි නම් ඔහුට මෙසේ කිව යුත්තේ ය. ‘ආයුෂ්මත්නි, මෙහිලා භික්ෂුවක් සියළු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ගොස් ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනය උපදවාගෙන වාසය කරයි. විඤ්ඤාණඤ්චායතන සංඥාව නිරුද්ධ වන්නේ මෙහි ය. ආකිඤ්චඤ්ඤායතනය ලැබූ අය විඤ්ඤාණඤ්චායතන සංඥාව නිරුද්ධ කොට නිරුද්ධ කොට වාසය කරති.’ මහණෙනි, ඒකාන්තයෙන් වංචා නැති, මායා නැති භික්ෂුව ‘යහපති’ යි ඒ වචනය සතුටින් පිළිගන්නේ ය. අනුමෝදන් වන්නේ ය. ‘යහපති’ යි කියා ඒ වචනය සතුටින් පිළිගෙන, අනුමෝදන් වී ඇඳිලි බැඳ වන්දනා කරමින් ඔවුන් ඇසුරු කරන්නේ ය.
8. යම් තැනක ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුද්ධ වෙයි නම්, යම් කෙනෙක් ආකිඤ්චඤ්ඤායතන සංඥාව නැවත නැවත නිරුද්ධ කොට වාසය කරත් නම්, ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු කාම පිපාසය නැත්තෝ ය. නිවුණාහු ය. තණ්හා නැත්තෝ ය. ඒ අංගයෙන් එතෙරට ගියාහු යැයි කියමි.
ආකිඤ්චඤ්ඤායතන සංඥාව කොතැනක නිරුද්ධ වෙයි ද? කවුරු නම් ආකිඤ්චඤ්ඤායතන සංඥාව නැවත නැවත නිරුද්ධ කොට වාසය කරත් ද? මෙකරුණ මම නොදනිමි, මෙකරුණ මම නොදකිමි කියා මෙසේ යමෙක් කියයි නම් ඔහුට මෙසේ කිව යුත්තේ ය. ‘ආයුෂ්මත්නි, මෙහිලා භික්ෂුවක් සියළු ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවීමෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවාගෙන වාසය කරයි. ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුද්ධ වන්නේ මෙහි ය. නේවසඤ්ඤානාසඤ්ඤායතනය ලැබූ අය ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුද්ධ කොට නිරුද්ධ කොට වාසය කරති.’ මහණෙනි, ඒකාන්තයෙන් වංචා නැති, මායා නැති භික්ෂුව ‘යහපති’ යි ඒ වචනය සතුටින් පිළිගන්නේ ය. අනුමෝදන් වන්නේ ය. ‘යහපති’ යි කියා ඒ වචනය සතුටින් පිළිගෙන, අනුමෝදන් වී ඇඳිලි බැඳ වන්දනා කරමින් ඔවුන් ඇසුරු කරන්නේ ය.
9. යම් තැනක නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව නිරුද්ධ වෙයි නම්, යම් කෙනෙක් නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව නැවත නැවත නිරුද්ධ කොට වාසය කරත් නම්, ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු කාම පිපාසය නැත්තෝ ය. නිවුණාහු ය. තණ්හා නැත්තෝ ය. ඒ අංගයෙන් එතෙරට ගියාහු යැයි කියමි.
නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව කොතැනක නිරුද්ධ වෙයි ද? කවුරු නම් නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව නැවත නැවත නිරුද්ධ කොට වාසය කරත් ද? මෙකරුණ මම නොදනිමි, මෙකරුණ මම නොදකිමි කියා මෙසේ යමෙක් කියයි නම් ඔහුට මෙසේ කිව යුත්තේ ය. ‘ආයුෂ්මත්නි, මෙහිලා භික්ෂුවක් සියළු නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා ගොස් සංඥාවේදයිත නිරෝධ සමාපත්තිය උපදවාගෙන වාසය කරයි. නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව නිරුද්ධ වන්නේ මෙහි ය. සංඥාවේදයිත නිරෝධ සමාපත්තිය ලැබූ අය නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව නිරුද්ධ කොට නිරුද්ධ කොට වාසය කරති.’ මහණෙනි, ඒකාන්තයෙන් වංචා නැති, මායා නැති භික්ෂුව ‘යහපති’ යි ඒ වචනය සතුටින් පිළිගන්නේ ය. අනුමෝදන් වන්නේ ය. ‘යහපති’ යි කියා ඒ වචනය සතුටින් පිළිගෙන, අනුමෝදන් වී ඇඳිලි බැඳ වන්දනා කරමින් ඔවුන් ඇසුරු කරන්නේ ය.
මහණෙනි, මේ වනාහී නවයක් වූ අනුපිළිවෙලින් සමවදින විහරණයෝ ය.
සාදු! සාදු!! සාදු!!!
අනුපුබ්බවිහාර සමාපත්ති සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M