සැවැත් නුවර දී ය …..
එකල්හී පරලොවක් නැත යන මතය කියන ලෝකායත ශාස්ත්‍රය හදාරණ බ්‍රාහ්මණයෝ දෙදෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූහ. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ඒ බ්‍රාහ්මණයෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
“භවත් ගෞතමයන් වහන්ස, පූරණකස්සප සර්වඥ කෙනෙකි. සියල්ල දකින්නෙකි. සම්පූර්ණ වූ ඥානදර්ශනය ඇති බවට ප්‍රතිඥා දෙයි. ‘මා හට ඇවිදින විට ත්, සිටින විට ත්, නිදා සිටින විට ත්, නිදි වරන විට ත්, හැම කල්හි නිරතුරු ඥානදර්ශනය පිහිටා තිබෙන්නේ නොවැ’ කියා ය. ඔහු මෙසේ ත් කියයි. ‘මම අනන්ත ඥානයෙන්, කෙළවරක් ඇති ලෝකය දනිමින්, දකිමින් වාසය කරමි’ යි කියා ය.
භවත් ගෞතමයන් වහන්ස, මේ නිගණ්ඨ නාතපුත්‍රයා ත් සර්වඥ කෙනෙකි. සියල්ල දකින්නෙකි. සම්පූර්ණ වූ ඥානදර්ශනය ඇති බවට ප්‍රතිඥා දෙයි. ‘මා හට ඇවිදින විට ත්, සිටින විට ත්, නිදා සිටින විට ත්, නිදි වරන විට ත්, හැම කල්හි නිරතුරු ඥානදර්ශනය පිහිටා තිබෙන්නේ නොවැ’ කියා ය. ඔහු මෙසේ ත් කියයි. ‘මම අනන්ත ඥානයෙන්, කෙළවරක් ඇති ලෝකය දනිමින්, දකිමින් වාසය කරමි’ යි කියා ය.
භවත් ගෞතමයන් වහන්ස, ඥානවාද දෙකක් ඇති, එකිනෙකට විරුද්ධ වාද දෙකක් ඇති මේ ඇත්තන්ගෙන් සත්‍යය පවසන්නේ කවුද? බොරු පවසන්නේ කවුද?”
“වැඩක් නැත බ්‍රාහ්මණයෙනි, ‘ඥානවාද දෙකක් ඇති, එකිනෙකට විරුද්ධ වාද දෙකක් ඇති මේ ඇත්තන්ගෙන් සත්‍යය පවසන්නේ කවුද? බොරු පවසන්නේ කවුද?’ යන්න පසෙක තිබේවා. බ්‍රාහ්මණයෙනි, මම ඔබට ධර්මය දේශනා කරන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.”
“එසේ ය භවතැ”යි ඒ බ්‍රාහ්මණයෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“බ්‍රාහ්මණයෙනි, පුරුෂයෝ සතර දෙනෙක් සතර දිශාවෙහි සිටියාහු ය. ඔවුහු උතුම් ගතියෙනුත්, උතුම් ජවයෙනුත්, උතුම් පියවර ගමනිනුත් යුක්තයහ. ඔවුහු මෙබඳු ජවයෙන් යුක්ත ව සිටියාහු ය. යම් සේ බ්‍රාහ්මණයෙනි, දැඩි සේ ගත් ශිල්ප ඇති, ඇදුරු කුලයෙහි මැනැවින් උගත් ශිල්ප ඇති, කෘතහස්ත වූ, දක්වන ලද ශිල්ප ශාස්ත්‍ර ඇති දුනුවායෙක් සැහැල්ලු ඊයකින් ඉතා පහසුවෙන්, නිදුකින්, තල් කොළය සිදුරු කොට විදින්නේ වෙයි ද, එබඳු ය.
ඔවුහු මෙබඳු පියවර ගමනින් යුත්තාහ. යම් සේ පෙරදිග සාගරයෙන් බටහිර සාගරයට යම් දුරක් ඇද්ද එබඳු ය. එකල්හී පෙරදිග සිටි පුරුෂයා මෙසේ කියයි. ‘මම ගමනින් ලෝකයෙහි අන්තයට පැමිණෙන්නෙමි’ යි. ඔහු කෑම බීම කන බොන වේලාව, මලමූත්‍රා කරන වේලාව, නිදා ගැනීම් – සිරුරු වෙහෙස සංසිඳවන වේලාව අත්හැර, සිය වසරක් ආයුෂ ඇති ව, සිය වසරක් ජීවත් වෙමින්, සිය වසරක් ගොස්, ලෝකයෙහි කෙළවරට නොපැමිණ අතරමග කළුරිය කරන්නේ වෙයි ද, ඉක්බිති බටහිර දිශාවේ සිටි පුරුෂයා මෙසේ කියයි. ….(පෙ)…. ඉක්බිති උතුරු දිශාවේ සිටි පුරුෂයා මෙසේ කියයි. ….(පෙ)…. ඉක්බිති දකුණු දිශාවේ සිටි පුරුෂයා මෙසේ කියයි. ‘මම ගමනින් ලෝකයෙහි අන්තයට පැමිණෙන්නෙමි’ යි. ඔහු කෑම බීම කන බොන වේලාව, මලමූත්‍රා කරන වේලාව, නිදාගැනීම් – සිරුරු වෙහෙස සංසිඳවන වේලාව අත්හැර, සිය වසරක් ආයුෂ ඇති ව, සිය වසරක් ජීවත් වෙමින්, සිය වසරක් ගොස්, ලෝකයෙහි කෙළවරට නොපැමිණ අතරමග කළුරිය කරන්නේ වෙයි. ඒ මක් නිසා ද යත්, බ්‍රාහ්මණයෙනි, මම මෙබඳු වූ ඇවිදීමකින් ලෝකයාගේ අන්තය දැනගත යුත්තේ ය, දැක ගත යුත්තේ ය, පැමිණිය යුත්තේ ය යැයි නොකියමි. බ්‍රාහ්මණයෙනි, මම ලෝකයෙහි අන්තයට නොපැමිණ ද දුක් කෙළවර කිරීමක් නොකියමි.
බ්‍රාහ්මණයෙනි, ආර්ය විනයෙහි මේ පංචකාම ගුණයන්ට ලෝකය යැයි කියනු ලැබේ. ඒ කවර පසක් ද යත්, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇති, කාමූපසංහිත වූ, රජනීය වූ, ඇසින් දත යුතු වූ රූපයෝ ඇත්තාහ. කනින් දත යුතු වූ ශබ්දයෝ ඇත්තාහ. ….(පෙ)…. නාසයෙන් දත යුතු වූ ගන්ධයෝ ඇත්තාහ. ….(පෙ)…. දිවෙන් දත යුතු වූ රසයෝ ඇත්තාහ. ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇති, කාමූපසංහිත වූ, රජනීය වූ, කයින් දත යුතු වූ ස්පර්ශයෝ ඇත්තාහ. බ්‍රාහ්මණයෙනි, මේ පංච කාම ගුණයන්ට ආර්ය විනයෙහි ලෝකය යැයි කියනු ලැබේ.
බ්‍රාහ්මණයෙනි, මෙහිලා භික්ෂුවක් කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. ප්‍රථම ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. බ්‍රාහ්මණයෙනි, මේ භික්ෂුව ලෝකයෙහි කෙළවරට පැමිණ, ලෝකය කෙළවරෙහි වසන්නේ යැයි කියනු ලැබේ. ඔහු ගැන අන්‍යයෝ මෙසේ කියති. ‘මෙය ත් ලෝකයට ඇතුළත් වූ දෙයකි. ලෝකයෙන් බැහැර නොවූ දෙයකි’ යි කියා ය. බ්‍රාහ්මණයෙනි, මම ත් මෙසේ කියමි. ‘මෙය ත් ලෝකයට ඇතුළත් වූ දෙයකි. ලෝකයෙන් බැහැර නොවූ දෙයකි’ යි කියා ය.
තව ද බ්‍රාහ්මණයෙනි, භික්ෂුව විතර්ක විචාර සංසිඳුවීමෙන් ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ….(පෙ)…. සතරවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ….(පෙ)….
තවද බ්‍රාහ්මණයෙනි, භික්ෂුව සියළු අයුරින් රූප සංඥාවන් ඉක්මවීමෙන්, ගොරෝසු සංඥාවන් නැති වීමෙන් සංඥාවන්ගේ නා නා ස්වභාවය මෙනෙහි නොකිරීමෙන් ‘අනන්ත ආකාසය’ යැයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි. බ්‍රාහ්මණයෙනි, මේ භික්ෂුව ලෝකයෙහි කෙළවරට පැමිණ, ලෝකය කෙළවරෙහි වසන්නේ යැයි කියනු ලැබේ. ඔහු ගැන අන්‍යයෝ මෙසේ කියති. ‘මෙය ත් ලෝකයට ඇතුළත් වූ දෙයකි. ලෝකයෙන් බැහැර නොවූ දෙයකි’ යි කියා ය. බ්‍රාහ්මණයෙනි, මම ත් මෙසේ කියමි. ‘මෙය ත් ලෝකයට ඇතුළත් වූ දෙයකි. ලෝකයෙන් බැහැර නොවූ දෙයකි’ යි කියා ය.
තව ද බ්‍රාහ්මණයෙනි, භික්ෂුව සියළු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවීමෙන්, ‘විඤ්ඤාණය අනන්ත’ යැයි විඤ්ඤාණඤ්චායතනය උපදවාගෙන වාසය කරයි. ….(පෙ)…. සියළු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ගොස් ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනය උපදවාගෙන වාසය කරයි. ….(පෙ)…. සියළු අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම ගොස් නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවාගෙන වාසය කරයි. බ්‍රාහ්මණයෙනි, මේ භික්ෂුව ලෝකයෙහි කෙළවරට පැමිණ, ලෝකය කෙළවරෙහි වසන්නේ යැයි කියනු ලැබේ. ඔහු ගැන අන්‍යයෝ මෙසේ කියති. ‘මෙය ත් ලෝකයට ඇතුළත් වූ දෙයකි. ලෝකයෙන් බැහැර නොවූ දෙයකි’ යි කියා ය. බ්‍රාහ්මණයෙනි, මම ත් මෙසේ කියමි. ‘මෙය ත් ලෝකයට ඇතුළත් වූ දෙයකි. ලෝකයෙන් බැහැර නොවූ දෙයකි’ යි කියා ය.
තව ද බ්‍රාහ්මණයෙනි, භික්ෂුව සියළු අයුරින් නේවසඤ්ඤා නාසඤ්ඤායතනය ඉක්මවීමෙන්, සංඥාවේදයිත නිරෝධයට සමවැදී වාසය කරයි. ප්‍රඥාවෙන් දැක ඔහුගේ ආශ්‍රවයෝ ත් ක්ෂය වූවාහු වෙති. බ්‍රාහ්මණයෙනි, මේ භික්ෂුව ලෝකයෙහි අන්තයට පැමිණියේ, ලෝකය අන්තයේ වාසය කරන්නේ යැයි ද, ලෝකයෙහි තෘෂ්ණාව තරණය කළේ යැයි ද කියනු ලැබේ.
සාදු! සාදු!! සාදු!!!
ලෝකායතික බ්‍රාහ්මණ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M