සැවැත් නුවර දී ය …..
මහණෙනි, යම් කලක භික්ෂුවගේ සිත මැනැවින් පුරුදු කරන ලද ප්රඥාවෙන් යුක්ත වෙයි ද, එකල්හී මහණෙනි, ඒ භික්ෂුව මේ වචනය පවසන්නට සුදුසු ය. එනම්, ‘ඉපදීම ක්ෂය වූයේ ය. බඹසර වැස නිමවන ලදී. කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු වෙනත් දෙයක් නැතැ’ යි දන්නෙමි යි කියා ය.
මහණෙනි, කෙසේ නම් භික්ෂුවගේ සිත මැනැවින් පුරුදු කරන ලද ප්රඥාවෙන් යුක්ත වෙයි ද?
මාගේ සිත දුරු වූ රාගය ඇත්තේ යැයි මැනැවින් පුරුදු කරන ලද ප්රඥාවෙන් යුක්ත සිතක් ඇත්තේ වෙයි. මාගේ සිත දුරු වූ ද්වේෂය ඇත්තේ යැයි මැනැවින් පුරුදු කරන ලද ප්රඥාවෙන් යුක්ත සිතක් ඇත්තේ වෙයි. මාගේ සිත දුරු වූ මෝහය ඇත්තේ යැයි මැනැවින් පුරුදු කරන ලද ප්රඥාවෙන් යුක්ත සිතක් ඇත්තේ වෙයි. මාගේ සිත රාගී ස්වභාවයෙන් තොර යැයි මැනැවින් පුරුදු කරන ලද ප්රඥාවෙන් යුක්ත සිතක් ඇත්තේ වෙයි. මාගේ සිත කිපෙන ස්වභාවයෙන් තොර යැයි මැනැවින් පුරුදු කරන ලද ප්රඥාවෙන් යුක්ත සිතක් ඇත්තේ වෙයි. මාගේ සිත මුලා වන ස්වභාවයෙන් තොර යැයි මැනැවින් පුරුදු කරන ලද ප්රඥාවෙන් යුක්ත සිතක් ඇත්තේ වෙයි. මාගේ සිත කාම භවයට නොපෙරලෙන ස්වභාවයෙන් යුතු යැයි මැනැවින් පුරුදු කරන ලද ප්රඥාවෙන් යුක්ත සිතක් ඇත්තේ වෙයි. මාගේ සිත රූප භවයට නොපෙරලෙන ස්වභාවයෙන් යුතු යැයි මැනැවින් පුරුදු කරන ලද ප්රඥාවෙන් යුක්ත සිතක් ඇත්තේ වෙයි. මාගේ සිත අරූප භවයට නොපෙරලෙන ස්වභාවයෙන් යුතු යැයි මැනැවින් පුරුදු කරන ලද ප්රඥාවෙන් යුක්ත සිතක් ඇත්තේ වෙයි.
මහණෙනි, යම් කලක භික්ෂුව හට මැනැවින් පුරුදු කරන ලද ප්රඥාවෙන් යුක්ත සිතක් ඇත්තේ වෙයි ද, එකල්හී මහණෙනි, ඒ භික්ෂුව මේ වචනය පවසන්නට සුදුසු ය. එනම්, ‘ඉපදීම ක්ෂය වූයේ ය. බඹසර වැස නිමවන ලදී. කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු වෙනත් දෙයක් නැතැ’ යි දන්නෙමි යි කියා ය.
සාදු! සාදු!! සාදු!!!
පඤ්ඤා පරිචිත සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M