අංගුත්තර නිකාය

නවක නිපාතෝ

9.1.3.6. සිලායූපෝපම සුත්තං

9.1.3.6. ගල් කණුව උපමා කොට වදාළ දෙසුම

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ද, ආයුෂ්මත් චන්දිකාපුත්ත තෙරණුවෝ ද රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩවෙසෙති. එහිදී ආයුෂ්මත් චන්දිකාපුත්ත තෙරණුවෝ ‘ආයුෂ්මත් මහණෙනි’ යි භික්ෂූන් ඇමතූහ. ‘ආයුෂ්මතුන් වහන්සැ’ යි ඒ භික්ෂූහු ආයුෂ්මත් චන්දිකාපුත්ත තෙරුන්ට පිළිතුරු දුන්හ. ආයුෂ්මත් චන්දිකාපුත්ත තෙරණුවෝ මෙය පැවසූහ.

“ආයුෂ්මත්නි, දෙව්දත් තෙමේ භික්ෂූන්ට මෙසේ දහම් දෙසයි. එනම් ‘යම් කලක ආයුෂ්මත්නි, භික්ෂුවගේ සිතෙන් සිත පුරුදු කරන ලද්දේ වෙයි ද, එකල්හී ඒ භික්ෂුව මේ වචනය පවසන්නට සුදුසු ය. එනම්, ‘ඉපදීම ක්ෂය වූයේ ය. බඹසර වැස නිමවන ලදී. කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු වෙනත් දෙයක් නැතැ’ යි දන්නෙමි යි කියා ය.”

එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ආයුෂ්මත් චන්දිකාපුත්ත තෙරුන්ට මෙය වදාළහ.

“ආයුෂ්මත් චන්දිකාපුත්තයෙනි, දෙව්දත් තෙමේ භික්ෂූන්ට මෙසේ දහම් නොදෙසයි. එනම් ‘යම් කලක ආයුෂ්මත්නි, භික්ෂුවගේ සිතෙන් සිත පුරුදු කරන ලද්දේ වෙයි ද, එකල්හී ඒ භික්ෂුව මේ වචනය පවසන්නට සුදුසු ය. එනම්, ‘ඉපදීම ක්ෂය වූයේ ය. බඹසර වැස නිමවන ලදී. කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු වෙනත් දෙයක් නැතැ’ යි දන්නෙමි යි කියා ය.”

ආයුෂ්මත් චන්දිකාපුත්තයෙනි, දෙව්දත් තෙමේ භික්ෂූන්ට මෙසේ දහම් දෙසයි. එනම් ‘යම් කලක ආයුෂ්මත්නි, භික්ෂුවගේ සිතෙන් සිත මැනැවින් පුරුදු කරන ලද්දේ වෙයි ද, එකල්හී ඒ භික්ෂුව මේ වචනය පවසන්නට සුදුසු ය. එනම්, ‘ඉපදීම ක්ෂය වූයේ ය. බඹසර වැස නිමවන ලදී. කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු වෙනත් දෙයක් නැතැ’ යි දන්නෙමි යි කියා ය.”

දෙවෙනි වතාවට ත් ….(පෙ)…. තුන්වෙනි වතාවට ත් ආයුෂ්මත් චන්දිකාපුත්ත තෙරණුවෝ භික්ෂූන් ඇමතූහ.

“ආයුෂ්මත්නි, දෙව්දත් තෙමේ භික්ෂූන්ට මෙසේ දහම් දෙසයි. එනම් ‘යම් කලක ආයුෂ්මත්නි, භික්ෂුවගේ සිතෙන් සිත පුරුදු කරන ලද්දේ වෙයි ද, එකල්හී ඒ භික්ෂුව මේ වචනය පවසන්නට සුදුසු ය. එනම්, ‘ඉපදීම ක්ෂය වූයේ ය. බඹසර වැස නිමවන ලදී. කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු වෙනත් දෙයක් නැතැ’ යි දන්නෙමි යි කියා ය.”

තුන්වෙනි වතාවට ත් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ආයුෂ්මත් චන්දිකාපුත්ත තෙරුන්ට මෙය වදාළහ.

“ආයුෂ්මත් චන්දිකාපුත්තයෙනි, දෙව්දත් තෙමේ භික්ෂූන්ට මෙසේ දහම් නොදෙසයි. එනම් ‘යම් කලක ආයුෂ්මත්නි, භික්ෂුවගේ සිතෙන් සිත පුරුදු කරන ලද්දේ වෙයි ද, එකල්හී ඒ භික්ෂුව මේ වචනය පවසන්නට සුදුසු ය. එනම්, ‘ඉපදීම ක්ෂය වූයේ ය. බඹසර වැස නිමවන ලදී. කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු වෙනත් දෙයක් නැතැ’ යි දන්නෙමි යි කියා ය.”

ආයුෂ්මත් චන්දිකාපුත්තයෙනි, දෙව්දත් තෙමේ භික්ෂූන්ට මෙසේ දහම් දෙසයි. එනම් ‘යම් කලක ආයුෂ්මත්නි, භික්ෂුවගේ සිතෙන් සිත මැනැවින් පුරුදු කරන ලද්දේ වෙයි ද, එකල්හී ඒ භික්ෂුව මේ වචනය පවසන්නට සුදුසු ය. එනම්, ‘ඉපදීම ක්ෂය වූයේ ය. බඹසර වැස නිමවන ලදී. කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු වෙනත් දෙයක් නැතැ’ යි දන්නෙමි යි කියා ය.

ආයුෂ්මත්නි, කෙසේ නම් භික්ෂුවගේ සිතෙන් සිත මැනැවින් පුරුදු කරන ලද්දේ වෙයි ද?

මාගේ සිත දුරු වූ රාගය ඇත්තේ යැයි මැනැවින් පුරුදු කරන ලද සිතක් ඇත්තේ වෙයි. මාගේ සිත දුරු වූ ද්වේෂය ඇත්තේ යැයි මැනැවින් පුරුදු කරන ලද සිතක් ඇත්තේ වෙයි. මාගේ සිත දුරු වූ මෝහය ඇත්තේ යැයි මැනැවින් පුරුදු කරන ලද සිතක් ඇත්තේ වෙයි. මාගේ සිත රාගී ස්වභාවයෙන් තොර යැයි මැනැවින් පුරුදු කරන ලද සිතක් ඇත්තේ වෙයි. මාගේ සිත කිපෙන ස්වභාවයෙන් තොර යැයි මැනැවින් පුරුදු කරන ලද සිතක් ඇත්තේ වෙයි. මාගේ සිත මුලා වන ස්වභාවයෙන් තොර යැයි මැනැවින් සිතෙන් පුරුදු කරන ලද සිතක් ඇත්තේ වෙයි. මාගේ සිත කාම භවයට නොපෙරලෙන ස්වභාවයෙන් යුතු යැයි මැනැවින් පුරුදු කරන ලද සිතක් ඇත්තේ වෙයි. මාගේ සිත රූප භවයට නොපෙරලෙන ස්වභාවයෙන් යුතු යැයි මැනැවින් පුරුදු කරන ලද සිතක් ඇත්තේ වෙයි. මාගේ සිත අරූප භවයට නොපෙරලෙන ස්වභාවයෙන් යුතු යැයි මැනැවින් පුරුදු කරන ලද සිතක් ඇත්තේ වෙයි.

ආයුෂ්මත්නි, මෙසේ මැනැවින් නිදහස් වූ සිත් ඇති භික්ෂුවට බොහෝ සෙයින් නමුත් ඇසින් දත යුතු රූපයෝ ඇස් හමුවට පැමිණෙත් නම්, ඒ රූපයෝ ඒ භික්ෂුවගේ සිත යට කොට නොයත්. ඔහුගේ සිත ඒ රූප හා මිශ්‍ර නොවුණේ වෙයි. ස්ථිර ව පිහිටා සිටියේ, අකම්පිත ව සිටියේ වෙයි. ඒ සියල්ලෙහි අනිත්‍යය ද දකියි. බොහෝ සෙයින් නමුත් කනින් ඇසිය යුතු ශබ්දයෝ කන ඉදිරියට පැමිණෙත් නම්, ….(පෙ)…. බොහෝ සෙයින් නමුත් නාසයෙන් දත යුතු ගන්ධයෝ නාසය ඉදිරියට පැමිණෙත් නම්, ….(පෙ)…. බොහෝ සෙයින් නමුත් දිවෙන් දත යුතු රසයෝ දිව ඉදිරියට පැමිණෙත් නම්, ….(පෙ)…. බොහෝ සෙයින් නමුත් කයින් දත යුතු ස්පර්ශයෝ කය ඉදිරියට පැමිණෙත් නම්, ….(පෙ)…. බොහෝ සෙයින් නමුත් මනසින් දත යුතු ආරම්මණයෝ මනස හමුවට පැමිණෙත් නම්, ඒ ආරම්මණයෝ ඒ භික්ෂුවගේ සිත යට කොට නොයත්. ඔහුගේ සිත ඒ ආරම්මණ හා මිශ්‍ර නොවුණේ වෙයි. ස්ථිර ව පිහිටා සිටියේ, අකම්පිත ව සිටියේ වෙයි. ඒ සියල්ලෙහි අනිත්‍යය ද දකියි.

ආයුෂ්මත්නි, එය මෙබඳු දෙයකි. සොළොස් රියනක ගල් ටැඹක් තිබෙයි. ඒ ටැඹෙහි අට රියනක් පොළොවට යට කරන ලද්දේ වෙයි. අට රියනක් පොළොවෙන් උඩට මතු වූයේ වෙයි. එකල්හී පෙරදිග දිශාවෙනුත් බලවත් සේ හමන්නා වූ වැසි සුළඟ ඒ ගල් ටැඹ කම්පා නොකරයි. විශේෂයෙන් කම්පා නොකරයි. නොවෙව්ළුවයි. එමෙන් ම බටහිර දිශාවෙනුත් බලවත් සේ හමන්නා වූ වැසි සුළඟ ….(පෙ)…. එමෙන් ම උතුරු දිශාවෙනුත් බලවත් සේ හමන්නා වූ වැසි සුළඟ ….(පෙ)…. එමෙන් ම දකුණු දිශාවෙනුත් බලවත් සේ හමන්නා වූ වැසි සුළඟ ඒ ගල් ටැඹ කම්පා නොකරයි. විශේෂයෙන් කම්පා නොකරයි. නොවෙව්ළුවයි. එයට හේතුව කුමක් ද? ආයුෂ්මත්නි, වළ ගැඹුරට සාරා ඇති බැවිනි. ගල් ටැඹ මැනැවින් සිටුවා ඇති බැවිනි.

එසෙයින් ම ආයුෂ්මත්නි, මෙසේ මැනැවින් නිදහස් වූ සිත් ඇති භික්ෂුවට බොහෝ සෙයින් නමුත් ඇසින් දත යුතු රූපයෝ ඇස් හමුවට පැමිණෙත් නම්, ඒ රූපයෝ ඒ භික්ෂුවගේ සිත යට කොට නොයත්. ඔහුගේ සිත ඒ රූප හා මිශ්‍ර නොවුණේ වෙයි. ස්ථිර ව පිහිටා සිටියේ, අකම්පිත ව සිටියේ වෙයි. ඒ සියල්ලෙහි අනිත්‍ය දකියි. බොහෝ සෙයින් නමුත් කනින් දත යුතු ශබ්දයෝ කන ඉදිරියට පැමිණෙත් නම්, ….(පෙ)…. බොහෝ සෙයින් නමුත් නාසයෙන් දත යුතු ගන්ධයෝ නාසය ඉදිරියට පැමිණෙත් නම්, ….(පෙ)…. බොහෝ සෙයින් නමුත් දිවෙන් දත යුතු රසයෝ දිව ඉදිරියට පැමිණෙත් නම්, ….(පෙ)…. බොහෝ සෙයින් නමුත් කයින් දත යුතු ස්පර්ශයෝ කය ඉදිරියට පැමිණෙත් නම්, ….(පෙ)…. බොහෝ සෙයින් නමුත් මනසින් දත යුතු ආරම්මණයෝ මනස හමුවට පැමිණෙත් නම්, ඒ ආරම්මණයෝ ඒ භික්ෂුවගේ සිත යට කොට නොයත්. ඔහුගේ සිත ඒ ආරම්මණ හා මිශ්‍ර නොවුණේ වෙයි. ස්ථිර ව පිහිටා සිටියේ, අකම්පිත ව සිටියේ වෙයි. ඒ සියල්ලෙහි අනිත්‍ය දකියි.

සාදු! සාදු!! සාදු!!!

සිලායූපෝපම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M