අංගුත්තර නිකාය

නවක නිපාතෝ

9.1.3.4. සත්තාවාස සුත්තං

9.1.3.4. සත්වයන්ගේ වාසස්ථාන ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ සත්වයන්ගේ වාසස්ථාන නවයකි. ඒ කවර නවයක් ද යත්;

1. මහණෙනි, කයින් ද නා නා ස්වභාව ඇති, සංඥාවෙන් ද නා නා ස්වභාව ඇති සත්වයෝ සිටිති. යම් සේ මිනිස්සු ද, ඇතැම් දෙවියෝ ද, ඇතැම් විනිපාතිකයෝ ද වෙත් නම් එබඳු ය. මෙය සත්වයන්ගේ පළමු වාසස්ථානය යි.

2. මහණෙනි, කයින් නා නා ස්වභාව ඇති, සංඥාවෙන් එක ම ස්වභාවයක් ඇති සත්වයෝ සිටිති. යම් සේ පළමු ධ්‍යානයෙන් උපන් බ්‍රහ්මකායික දෙවියෝ වෙත් නම් එබඳු ය. මෙය සත්වයන්ගේ දෙවෙනි වාසස්ථානය යි.

3. මහණෙනි, කයින් එක ම ස්වභාව ඇති, සංඥාවෙන් නා නා ස්වභාව ඇති සත්වයෝ සිටිති. යම් සේ ආභස්සර දෙවියෝ වෙත් නම් එබඳු ය. මෙය සත්වයන්ගේ තෙවෙනි වාසස්ථානය යි.

4. මහණෙනි, කයින් ද එක ම ස්වභාව ඇති, සංඥාවෙන් ද එක ම ස්වභාව ඇති සත්වයෝ සිටිති. යම් සේ සුභකිණ්හ දෙවියෝ වෙත් නම් එබඳු ය. මෙය සත්වයන්ගේ සිව්වෙනි වාසස්ථානය යි.

5. මහණෙනි, සංඥාවෙන් තොර වූ සංවේදී බවින් තොර වූ සත්වයෝ සිටිති. යම් සේ අසඤ්ඤසත්ත දෙවියෝ වෙත් නම් එබඳු ය. මෙය සත්වයන්ගේ පස්වෙනි වාසස්ථානය යි.

6. මහණෙනි, සියළු අයුරින් රූප සංඥාවන් ඉක්මවීමෙන්, ගොරෝසු සංඥාවන් නැති වීමෙන් සංඥාවන්ගේ නා නා ස්වභාවය මෙනෙහි නොකිරීමෙන් ‘අනන්ත ආකාසය’ යැයි ආකාසානඤ්චායතනයට පැමිණි සත්වයෝ සිටිති. මෙය සත්වයන්ගේ සය වෙනි වාසස්ථානය යි.

7. මහණෙනි, සියළු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවීමෙන්, ‘විඤ්ඤාණය අනන්ත’ යැයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණි සත්වයෝ සිටිති. මෙය සත්වයන්ගේ සත්වෙනි වාසස්ථානය යි.

8. මහණෙනි, සියළු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ගොස් ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි සත්වයෝ සිටිති. මෙය සත්වයන්ගේ අටවෙනි වාසස්ථානය යි.

9. මහණෙනි, සියළු අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවීමෙන් නේවසඤ්ඤා නාසඤ්ඤායතනයට පැමිණි සත්වයෝ සිටිති. මෙය සත්වයන්ගේ නව වෙනි වාසස්ථානය යි.

මහණෙනි, මේ වනාහී නවයක් වූ සත්වයන්ගේ වාසස්ථානයෝ ය.

සාදු! සාදු!! සාදු!!!

සත්තාවාස සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M