අංගුත්තර නිකාය

නවක නිපාතෝ

9.1.3.3. තණ්හාමූලක සුත්තං

9.1.3.3. තණ්හාව මුල් කොට ඇති දේ ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, තණ්හාව මුල් කොට ඇති කරුණු නවයක් දේශනා කරන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි. ‘එසේ ය, ස්වාමීනී’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

මහණෙනි, තණ්හාව මුල් කොට ඇති නවයක් වූ කරුණු මොනවා ද? තණ්හාව හේතු කොට ගෙන සොයන්නේ ය. සෙවීම හේතු කොට ගෙන ලැබෙන්නේ ය. ලැබීම හේතු කොට ගෙන විනිශ්චය කරන්නේ ය. විනිශ්චය හේතු කොට ගෙන ඡන්දරාගය හටගන්නේ ය. ඡන්දරාගය හේතු කොට ගෙන එහි සිත ආශාවෙන් බැස ගන්නේ ය. එහි සිත ආශාවෙන් බැස ගැනීම හේතු කොට ගෙන අයිතිවාසිකම් කියන්නේ ය. අයිතිවාසිකම් කීම හේතු කොට ගෙන මසුරුකම හටගන්නේ ය. මසුරුකම හේතුකොට ගෙන එය රකින්නේ ය. ආරක්ෂාව පිළිබඳව අර්බුදයේදී දඬු මුගුරු ගැනීම්, අවි ආයුධ ගැනීම්, කලකෝලාහල කරගැනීම්, යුද්ධ කිරීම්, ‘තෝ තමයි, තෝ තමයි’ කියමින් බැන ගැනීම්, කේලාම් කීම්, බොරු කීම් ආදී අනේක වූ පාපී අකුසල් දහම් හටගනියි. මහණෙනි, මේ වනාහී තණ්හාව මුල් කොට ඇති කරුණු නවය යි.

සාදු! සාදු!! සාදු!!!

තණ්හාමූලක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M