සැවැත් නුවර දී ය …..
මහණෙනි, බොහෝ දේවතාවෝ මේ රාත්‍රියෙහි බෙහෙවින් ඉක්ම ගිය රැය ඇති කල්හී, මනස්කාන්ත පැහැ ඇති ව, මුළු මහත් ජේතවනය බබුළුවාගෙන මා වෙත පැමිණියාහු ය. පැමිණ මා හට සකසා වන්දනා කොට එකත්පස් ව සිටියහ. එකත්පස් ව සිටි ඒ දේවතාවෝ මා හට මෙය පැවසූහ.
“ස්වාමීනී, පෙර අපි මිනිස් ලොව ගිහි ගෙදර සිටිද්දී පැවිද්දෝ අප නිවෙස්වලට වැඩියහ. ස්වාමීනී, අපි ඔවුන් දැක හුනස්නෙන් නැගිට්ටෙමු. එනමුදු නොවැන්දෙමු. ස්වාමීනී, ඒ අපි අසම්පූර්ණ පුණ්‍යකර්මයෙන් යුතුව විපිළිසර ව පසුතැවෙමින් හීන වූ දෙව්කයකට පැමිණියෝ වෙමු.”
මහණෙනි, අන්‍ය වූ ද බොහෝ දේවතාවෝ මා වෙත එළඹ මෙය පැවසූහ.
“ස්වාමීනී, පෙර අපි මිනිස් ලොව ගිහි ගෙදර සිටිද්දී පැවිද්දෝ අප නිවෙස්වලට වැඩියහ. ස්වාමීනී, අපි ඔවුන් දැක හුනස්නෙන් නැගිට්ටෙමු. වැන්දෙමු. එනමුදු ආසනයෙන් නොපැවරුවෙමු. ස්වාමීනී, ඒ අපි අසම්පූර්ණ පුණ්‍යකර්මයෙන් යුතුව විපිළිසර ව පසුතැවෙමින් හීන වූ දෙව්කයකට පැමිණියෝ වෙමු.”
මහණෙනි, අන්‍ය වූ ද බොහෝ දේවතාවෝ මා වෙත එළඹ මෙය පැවසූහ.
“ස්වාමීනී, පෙර අපි මිනිස් ලොව ගිහි ගෙදර සිටිද්දී පැවිද්දෝ අප නිවෙස්වලට වැඩියහ. ස්වාමීනී, අපි ඔවුන් දැක හුනස්නෙන් නැගිට්ටෙමු. වැන්දෙමු. ආසනයෙන් පැවරුවෙමු. එනමුදු අපට ඇති අයුරින්, බල අයුරින් දානය නොබෙදුවෙමු. ….(පෙ)…. අපට ඇති අයුරින්, බල අයුරින් දානය බෙදුවෙමු. එනමුදු ධර්ම ශ්‍රවණයට ළඟට ගොස් වාඩිනොවුණෙමු ….(පෙ)…. ධර්ම ශ්‍රවණයට ළඟට ගොස් වාඩිවුණෙමු. එනමුදු යොමු කළ කන් ඇති ව ධර්මය නොඇසුවෙමු ….(පෙ)…. යොමු කළ කන් ඇති ව ධර්මය ඇසුවෙමු. එනමුදු ඇසූ දහම් මතකයෙහි රඳවා නොගත්තෙමු. ….(පෙ)…. ඇසූ දහම් මතකයෙහි රඳවා ගත්තෙමු. එනමුදු එසේ මතකයෙහි රඳවා ගත් ධර්මයෙහි අර්ථය නොපිරික්සුවෙමු. ….(පෙ)…. එසේ මතකයෙහි රඳවා ගත් ධර්මයෙහි අර්ථය පිරික්සුවෙමු. එනමුදු අර්ථය දැන, ධර්මය දැන ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි නොපිළිපැද්දෙමු. ස්වාමීනී, ඒ අපි අසම්පූර්ණ පුණ්‍යකර්මයෙන් යුතුව විපිළිසර ව පසුතැවෙමින් හීන වූ දෙව්කයකට පැමිණියෝ වෙමු.”
මහණෙනි, අන්‍ය වූ ද බොහෝ දේවතාවෝ මා වෙත එළඹ මෙය පැවසූහ.
“ස්වාමීනී, පෙර අපි මිනිස් ලොව ගිහි ගෙදර සිටිද්දී පැවිද්දෝ අප නිවෙස්වලට වැඩියහ. ස්වාමීනී, අපි ඔවුන් දැක හුනස්නෙන් නැගිට්ටෙමු. වැන්දෙමු. ආසනයෙන් පැවරුවෙමු. අපට ඇති අයුරින්, බල අයුරින් දානය බෙදුවෙමු. ධර්ම ශ්‍රවණයට ළඟට ගොස් වාඩිවුණෙමු. යොමු කළ කන් ඇති ව ධර්මය ඇසුවෙමු. ඇසූ දහම් මතකයෙහි රඳවා ගත්තෙමු. එසේ මතකයෙහි රඳවා ගත් ධර්මයෙහි අර්ථය පිරික්සුවෙමු. අර්ථය දැන, ධර්මය දැන ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි පිළිපැද්දෙමු. ස්වාමීනී, ඒ අපි සම්පූර්ණ පුණ්‍යකර්මයෙන් යුතුව විපිළිසර නොවෙමින්, නොපසුතැවෙමින් ප්‍රණීත වූ දෙව්කයකට පැමිණියෝ වෙමු.”
මහණෙනි, ඔය තිබෙන්නේ රුක් සෙවණ ය. ඔය තිබෙන්නේ ශූන්‍යාගාරයන් ය. මහණෙනි, ධ්‍යාන වඩව්. ප්‍රමාදයට පත් නොවව්. ප්‍රමාදයට පත් ව පසු ව කලින් පැවසූ දේවතාවන් ලෙසින් විපිළිසර වන්නට එපා!”
සාදු! සාදු!! සාදු!!!
දේවතා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M