අංගුත්තර නිකාය

නවක නිපාතෝ

9.1.2.10. වේලාම සුත්තං

9.1.2.10. වේලාම බ්‍රාහ්මණයා ගැන වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හී අනාථපිණ්ඩික ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් අනාථපිණ්ඩික ගෘහපති හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“ගෘහපතිය, ඔබගේ නිවසෙහි තවමත් දන් දෙනවා ද?”

“ස්වාමීනී, මාගේ නිවසෙහි දන් දෙනු ලැබෙයි. එය ත් රූක්ෂ වූ කාඩි හොදි දෙවෙනි කොට ඇති නිවුඩු හාලේ බත් ය.”

“ගෘහපතිය, රූක්ෂ දෙයක් හෝ ප්‍රණීත දෙයක් හෝ දානයකට දෙයි නම්, එය ත් නොසකස්කොට දෙයි නම්, නොගරු කොට දෙයි නම්, සිය අතින් නොදෙයි නම්, බැහැරට දමන දෙයක් ලෙසින් දෙයි නම්, ‘දෙන්නේ යම් සේ ද, ලැබෙන්නේ එසේ ය’ යන්න විශ්වාස නොකොට දෙයි නම්, යම් යම් තැනක ඒ ඒ දානයෙහි විපාකය පහළ වෙයි ද, ප්‍රණීත වූ බත් අනුභව කිරීමට ඔහුගේ සිත නොනැමෙයි. උදාර වූ වස්ත්‍රයන් හැඳීමට ඔහුගේ සිත නොනැමෙයි. උදාර වූ වාහන වලින් යන්නට ඔහුගේ සිත නොනැමෙයි. පංච කාමයන් උදාර ලෙසින් පරිභෝග කරන්නට ඔහුගේ සිත නොනැමෙයි. ඔහුට යම් දරුවෝ සිටිත් ද, බිරින්දෑවරු සිටිත් ද, දාසයෝ සිටිත් ද, මෙහෙකරුවෝ සිටිත් ද, කම්කරුවෝ සිටිත් ද, ඔවුහු ද ඔහුගේ වචනය අසන්නට කැමති නොවෙති. ඇහුම්කන් දීමට කන් යොමු නොකරති. කියන දේ තේරුම් ගැනීමට සිත නොපිහිටුවති. ඒ මක් නිසා ද යත්, ගෘහපතිය, නොසකස් කොට කළ කර්මයෙහි විපාක ලැබෙන්නේ ඒ අයුරින් නිසා ය.

ගෘහපතිය, රූක්ෂ දෙයක් හෝ ප්‍රණීත දෙයක් හෝ දානයකට දෙයි නම්, එය ත් සකස්කොට දෙයි නම්, ගරු කොට දෙයි නම්, සිය අතින් දෙයි නම්, බැහැර නොකරන දෙයක් ලෙසින් දෙයි නම්, ‘දෙන්නේ යම් සේ ද, ලැබෙන්නේ එසේ ය’ යන්න විශ්වාස කොට දෙයි නම්, යම් යම් තැනක ඒ ඒ දානයෙහි විපාකය පහළ වෙයි ද, ප්‍රණීත වූ බත් අනුභව කිරීමට ඔහුගේ සිත නැමෙයි. උදාර වූ වස්ත්‍රයන් හැඳීමට ඔහුගේ සිත නැමෙයි. උදාර වූ වාහන වලින් යන්නට ඔහුගේ සිත නැමෙයි. පංච කාමයන් උදාර ලෙසින් පරිභෝග කරන්නට ඔහුගේ සිත නැමෙයි. ඔහුට යම් දරුවෝ සිටිත් ද, බිරින්දෑවරු සිටිත් ද, දාසයෝ සිටිත් ද, මෙහෙකරුවෝ සිටිත් ද, කම්කරුවෝ සිටිත් ද, ඔවුහු ද ඔහුගේ වචනය අසන්නට කැමති වෙති. ඇහුම්කන් දීමට කන් යොමු කරති. කියන දේ තේරුම් ගැනීමට සිත පිහිටුවති. ඒ මක් නිසා ද යත්, ගෘහපතිය, සකස් කොට කළ කර්මයෙහි විපාක ලැබෙන්නේ ඒ අයුරින් නිසා ය.

ගෘහපතිය, මෙය පෙර සිදුවූ දෙයකි. වේලාම නම් බ්‍රාහ්මණයෙක් සිටියේ ය. ඔහු මෙබඳු වූ දානයක්, මහා දානයක් දුන්නේ ය. රිදී පුරවා රනින් කළ බඳුන් අසූහාර දහසක් දන් දුන්නේ ය. රන් පුරවා රිදියෙන් කළ බඳුන් අසූහාර දහසක් දන් දුන්නේ ය. රිදී පුරවා රනින් කළ බඳුන් අසූහාර දහසක් දන් දුන්නේ ය. රනින් කළ සැරසිලි ඇති රන් කොඩි ඇති රන්රසුදැල් ඇති අලංකාර හස්තීන් අසූහාර දහසක් දන් දුන්නේ ය. සිංහ සම් ඇතිරූ, ව්‍යාඝ්‍ර සම් ඇතිරූ, දිවි සම් ඇතිරූ, පණ්ඩුකම්බල ඇතිරූ, රනින් සැරසූ රන් කොඩි සහිත, රන්රසුදැල් සහිත රථ අසූහාර දහසක් දන් දුන්නේ ය. දුහුල් වස්ත්‍රයෙන් සැරසූ කස්ලෝ කොසු ඇති දෙනුන් අසූහාර දහසක් දන් දුන්නේ ය. මිණි කොඬොලින් සැරසූ අසූහාර දහසක් කන්‍යාවන් දන් දුන්නේ ය. දිගු ලොම් ඇති පළස් අතුරන ලද, සුදු ඇතිරිලි අතුරන ලද, ඝන පුළුන් සහිත එළුලොම් ඇතිරිලි අතුරන ලද, කදලි මුව සමින් කරන ලද ඇතිරිලි අතුරන ලද, උඩුවියන් සහිත, හිසට හා පයට විල්ලුද කොට්ට තැබූ යහන් අසූහාර දහසක් දන් දුන්නේ ය. ඉතා සියුම් වස්ත්‍ර, ඉතා සියුම් කසී සළු, සියුම් කම්බිලි, සියුම් කපු වස්ත්‍ර ආදිය අසූහාර දහස් කෝටියක් දන් දුන්නේ ය. ආහාරපාන, ඛාද්‍ය භෝජ්‍ය, ලෙය්‍ය පෙය්‍ය ආදිය ගැන කවර කථා ද? ගඟක් ගලන්නැහේ දන් දුන්නේ ය.

ගෘහපතිය, ඔබට මෙසේ සිතක් ඇතිවන්නට පුළුවනි. ‘එසමයෙහි වේලාම බ්‍රාහ්මණයා අන්‍යයෙක් විය හැක්කේ ය. ඔහු ඒ මහා දානය නම් දානයක් දුන්නේ ය.’ ගෘහපතිය, මෙසේ නොසිතිය යුත්තේ ය. එසමයෙහි වේලාම නම් බ්‍රාහ්මණ ව සිටියේ මම ය. මම මහාදාන නම් වූ ඒ දානය දුනිමි.

ගෘහපතිය, ඒ දානය පිළිගන්නට දන් පිළිගැනීමෙහි සුදුසු කිසිවෙක් එකල පොළෝ තලයෙහි නොසිටියේ ය. කිසිවෙක් ඒ දක්ෂිණා ව පිරිසිදු නොකළේ ය.

ගෘහපතිය, වේලාම බ්‍රාහ්මණයා මහාදානය නම් වූ යම් දානයක් දුන්නේ ද, යමෙක් එක් සෝතාපන්න කෙනෙකුන් වළඳවයි ද, මෙය ඒ වේලාම බ්‍රාහ්මණයාගේ දානයට වඩා මහත් වූ අධිකතර ඵලයක් ඇත්තේ ය.

ගෘහපතිය, වේලාම බ්‍රාහ්මණයා මහාදානය නම් වූ යම් දානයක් දුන්නේ ද, යමෙක් සෝතාපන්න සිය දෙනෙකුන් වළඳවයි ද, යමෙක් එක් සකදාගාමී කෙනෙකුන් වළඳවයි ද, මෙය ඒ දානයන්ට වඩා මහත් වූ අධිකතර ඵලයක් ඇත්තේ ය.

ගෘහපතිය, වේලාම බ්‍රාහ්මණයා මහාදානය නම් වූ දානයක් දුන්නේ ද, යමෙක් සකදාගාමී සිය දෙනෙකුන් වළඳවයි ද, යමෙක් එක් අනාගාමී කෙනෙකුන් වළඳවයි ද, ….(පෙ)…. යමෙක් අනාගාමී සිය දෙනෙකුන් වළඳවයි ද, යමෙක් එක් රහත් නමක් වළඳවයි ද, ….(පෙ)…. යමෙක් රහතන් වහන්සේලා සිය දෙනෙකුන් වළඳවයි ද, යමෙක් එක් පසේබුදුවරයෙකු වළඳවයි ද, ….(පෙ)…. යමෙක් පසේබුදුවරු සිය දෙනෙකුන් වළඳවයි ද, යමෙක් තථාගත අරහත් සම්මා සම්බුදුරජුන් වළඳවයි ද, ….(පෙ)…. යමෙක් බුදුරජුන් ප්‍රමුඛ භික්ෂු සංඝයා වළඳවයි ද, ….(පෙ)…. යමෙක් සිව් දිශාවෙන් වඩින සංඝයා උදෙසා විහාරයක් කරවයි ද, ….(පෙ)…. යමෙක් පැහැදුණු සිතින් යුතුව බුදුරජුන් ද, ධර්මය ද, සංඝයා ද, සරණ යයි ද, ….(පෙ)…. යමෙක් පැහැදුණු සිතින් යුතුව සතුන් මැරීමෙන් වැළකීම ය, සොරකමෙන් වැළකීම ය, වැරදි කාම සේවනයෙන් වැළකීම ය, බොරු කීමෙන් වැළකීම ය, මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම ය යන සිල්පද සමාදන් වෙයි ද, ….(පෙ)…. යමෙක් අඩුගණනේ සුවඳ ස්වල්පයක් සිඹිනා මොහොතක් මෛත්‍රී චිත්තය දියුණු කරයි ද, මෙය එයට වඩා මහත් වූ අධිකතර ඵලයක් ඇත්තේ ය.

ගෘහපතිය, වේලාම බ්‍රාහ්මණයා මහාදානය නම් වූ යම් දානයක් දුන්නේ ද, යමෙක් එක් සෝතාපන්න කෙනෙකුන් වළඳවයි ද, යමෙක් සෝතාපන්න සිය දෙනෙකුන් වළඳවයි ද, යමෙක් එක් සකදාගාමී කෙනෙකුන් වළඳවයි ද, යමෙක් සකදාගාමී සිය දෙනෙකුන් වළඳවයි ද, යමෙක් එක් අනාගාමී කෙනෙකුන් වළඳවයි ද, යමෙක් අනාගාමී සිය දෙනෙකුන් වළඳවයි ද, යමෙක් එක් රහත් නමක් වළඳවයි ද, යමෙක් රහතන් වහන්සේලා සිය දෙනෙකුන් වළඳවයි ද, යමෙක් එක් පසේබුදුවරයෙකු වළඳවයි ද, යමෙක් පසේබුදුවරු සිය දෙනෙකුන් වළඳවයි ද, යමෙක් තථාගත අරහත් සම්මා සම්බුදුරජුන් වළඳවයි ද, යමෙක් බුදුරජුන් ප්‍රමුඛ භික්ෂු සංඝයා වළඳවයි ද, යමෙක් සිව් දිශාවෙන් වඩින සංඝයා උදෙසා විහාරයක් කරවයි ද, යමෙක් පැහැදුණු සිතින් යුතුව බුදුරජුන්ද, ධර්මය ද, සංඝයා ද සරණ යයි ද, යමෙක් පැහැදුණු සිතින් යුතුව සතුන් මැරීමෙන් වැළකීම ය, සොරකමෙන් වැළකීම ය, වැරදි කාම සේවනයෙන් වැළකීම ය, බොරු කීමෙන් වැළකීම ය, මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම ය යන සිල්පද සමාදන් වෙයි ද, යමෙක් අඩුගණනේ සුවඳ ස්වල්පයක් සිඹිනා මොහොතක් මෛත්‍රී චිත්තය දියුණු කරයි ද, යමෙක් අසුරු සැණක් ගසන මොහොතක් අනිත්‍ය සංඥාව වඩයි නම් මෙය ඒ සියල්ලට වඩා මහත් වූ අධිකතර ඵලයක් ඇත්තේ ය.”

සාදු! සාදු!! සාදු!!!

වේලාම සූත්‍රය නිමා විය.

දෙවෙනි සීහනාද වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

සීහනාද සූත්‍රය, සෝපාදිසේස සූත්‍රය, කොට්ඨිත සූත්‍රය, සමිද්ධි සූත්‍රය, ගණ්ඩ සූත්‍රය, සංඥා සූත්‍රය, කුල සූත්‍රය, මෙත්තා සූත්‍රය, දේවතා සූත්‍රය සහ වේලාම සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දසයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M