සැවැත් නුවර දී ය …..
මහණෙනි, අංග නවයකින් යුක්ත ව උපෝසථ සිල් සමාදන් වීම මහත්ඵල ඇත්තේ වෙයි. මහත් අනුසස් ඇත්තේ වෙයි. මහත් බැබලීම් ඇත්තේ වෙයි. මහත් පැතිරීම් ඇත්තේ වෙයි.
මහණෙනි, කවර අයුරින් අංග නවයකින් යුතු උපෝසථය සමාදන් වීමෙන් ද, මහත්ඵල ඇති වන්නේ? මහානිශංස ඇති වන්නේ? මහත් බැබලීම් ඇති වන්නේ? මහත් පැතිරීම් ඇති වන්නේ?
1. මහණෙනි, මෙහිලා ආර්යශ්රාවකයා මෙසේ නුවණින් සළකයි. ‘දිවි ඇති තෙක් රහතන් වහන්සේලා සතුන් මැරීම අත්හැර, සතුන් මැරීමෙන් වැළකුණු සේක. දඬු මුගුරු අත්හැර, අවි ආයුධ අත්හැර, ලැජ්ජා ඇති ව, දයාවෙන් යුක්ත ව, සියළු ප්‍රාණ භූතයින් කෙරෙහි හිතානුකම්පී ව වසන සේක. මම ත් අද මේ රාත්‍රිය ත්, මේ දහවල ත්, සතුන් මැරීම අත්හැර, සතුන් මැරීමෙන් වැළකී සිටිමි. දඬු මුගුරු අත්හැර, අවි ආයුධ අත්හැර, ලැජ්ජා ඇති ව, දයාවෙන් යුක්ත ව, සියළු ප්‍රාණ භූතයින් කෙරෙහි හිතානුකම්පී ව වාසය කරමි. මේ අංගය සමාදන් වීමෙන් ද රහතන් වහන්සේලා අනුව යමි. මාගේ උපෝසථය ද වසන ලද්දේ වන්නේ ය’ කියා මේ පළමු අංගයෙන් සමන්විත වෙයි.
2. ‘රහතන් වහන්සේලා දිවි තිබෙන තුරු සොරකම අත්හැර සොරකමින් වැළකී සිටින සේක. දුන් දේ පමණක් ගන්නා, දුන් දේ පමණක් ගන්නට කැමති වන, සොර රහිත වූ පිරිසිදු වූ සිතින් යුතුව වසන සේක. මම ත් අද මේ රාත්‍රිය ත්, දහවල ත් සොරකම අත්හැර සොරකමින් වැළකී සිටිමි. දුන් දේ පමණක් ගන්නා, දුන් දේ පමණක් ගන්නට කැමති වන, සොර රහිත වූ පිරිසිදු වූ සිතින් යුතුව වාසය කරමි. මේ අංගය සමාදන් වීමෙන් ද රහතන් වහන්සේලා අනුව යමි. මාගේ උපෝසථය ද වසන ලද්දේ වන්නේ ය’ කියා මේ දෙවෙනි අංගයෙන් සමන්විත වෙයි.
3. ‘රහතන් වහන්සේලා දිවි තිබෙන තුරු අබ්රහ්මචාරී බව අත්හැර බ්‍රහ්මචාරී ව වසන සේක. එයින් ඈත් වී සිටින සේක. ලාමක දෙයක් වන මෛථුන සේවනයෙන් වැළකී සිටින සේක. මම ත් අද මේ රාත්‍රිය ත්, දහවල ත් අබ්රහ්මචාරී බව අත්හැර බ්‍රහ්මචාරී ව වසමි. ලාමක දෙයක් වන මෛථුන සේවනයෙන් වැළකී වාසය කරමි. මේ අංගය සමාදන් වීමෙන් ද රහතන් වහන්සේලා අනුව යමි. මාගේ උපෝසථය ද වසන ලද්දේ වන්නේ ය’ කියා මේ තුන්වෙනි අංගයෙන් සමන්විත වෙයි.
4. ‘රහතන් වහන්සේලා දිවි තිබෙන තුරු බොරු කීම අත්හැර, බොරු කීමෙන් වැළකී සිටින සේක. සත්‍ය වචන පවසන, ඇත්තෙන් ඇත්ත ගලපා පවසන, ස්ථිර වචන පවසන, ඇදහිය යුතු වචන පවසන, ලොව නොරවටන වචන පවසන සේක. මම ත් අද මේ රාත්‍රිය ත්, මේ දහවල ත් බොරු කීම අත්හැර, බොරු කීමෙන් වැළකී සිටිමි. සත්‍ය වචන පවසන, ඇත්තෙන් ඇත්ත ගලපා පවසන, ස්ථිර වචන පවසන, ඇදහිය යුතු වචන පවසන, ලොව නොරවටන වචන පවසමි. මේ අංගය සමාදන් වීමෙන් ද රහතන් වහන්සේලා අනුව යමි. මාගේ උපෝසථය ද වසන ලද්දේ වන්නේ ය’ කියා මේ සිව්වෙනි අංගයෙන් සමන්විත වෙයි.
5. ‘රහතන් වහන්සේලා දිවි තිබෙන තුරු මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතය බැහැර කොට මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතයෙන් වෙන් වී සිටින සේක. මම ත් අද මේ රාත්‍රිය ත්, මේ දහවල ත් මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතය බැහැර කොට මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතයෙන් වෙන් වී සිටිමි. මේ අංගය සමාදන් වීමෙන් ද රහතන් වහන්සේලා අනුව යමි. මාගේ උපෝසථය ද වසන ලද්දේ වන්නේ ය’ කියා මේ පස්වෙනි අංගයෙන් සමන්විත වෙයි.
6. ‘රහතන් වහන්සේලා දිවි තිබෙන තුරු පෙරවරුවෙහි පමණක් වළඳමින්, රාත්‍රී භෝජනයෙන් තොර ව, නොකල්හී ආහාර ගැනීමෙන් වැළකී සිටින සේක. මම ත් අද මේ රාත්‍රිය ත්, මේ දහවල ත් පෙරවරුවෙහි පමණක් වළඳමින්, රාත්‍රී භෝජනයෙන් තොර ව, නොකල්හී ආහාර ගැනීමෙන් වැළකී සිටිමි. මේ අංගය සමාදන් වීමෙන් ද රහතන් වහන්සේලා අනුව යමි. මාගේ උපෝසථය ද වසන ලද්දේ වන්නේ ය’ කියා මේ සයවෙනි අංගයෙන් සමන්විත වෙයි.
7. ‘රහතන් වහන්සේලා දිවි තිබෙන තුරු නැටුම්, ගැයුම්, වැයුම්, විකාර දේ නැරඹීම, මල්, සුවඳ විලවුන් දැරීම, විසිතුරු වස්ත්‍රාභරණයෙන් සැරසීම ආදියෙන් වැළකී සිටි සේක. මම ත් අද මේ රැය ත්, දහවල ත් නැටුම්, ගැයුම්, වැයුම්, විකාර දේ නැරඹීම, මල්, සුවඳ විලවුන් දැරීම, විසිතුරු වස්ත්‍රාභරණයෙන් සැරසීම ආදියෙන් වැළකී සිටිමි. මේ අංගය සමාදන් වීමෙන් ද රහතන් වහන්සේලා අනුව යමි. මාගේ උපෝසථය ද වසන ලද්දේ වන්නේ ය’ කියා මේ සත්වෙනි අංගයෙන් සමන්විත වෙයි.
8. ‘රහතන් වහන්සේලා දිවි තිබෙන තුරු වටිනා සුඛෝපභෝගී ආසන අත්හැර, වටිනා සුඛෝපභෝගී ආසන වලින් වැළකී, ඇඳක හෝ පැදුරක හෝ බිම සැතපුණු සේක. මම ත් අද මේ රැය ත් දහවල ත් වටිනා සුඛෝපභෝගී ආසන අත්හැර, වටිනා සුඛෝපභෝගී ආසන වලින් වැළකී, ඇඳක හෝ පැදුරක හෝ බිම සැතපෙමි. මේ අංගය සමාදන් වීමෙන් ද රහතන් වහන්සේලා අනුව යමි. මාගේ උපෝසථය ද වසන ලද්දේ වන්නේ ය’ කියා මේ අටවෙනි අංගයෙන් සමන්විත වෙයි.
9. මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. ඒ අයුරින් දෙවෙනි දිශාවට ත්, ….(පෙ)…. ඒ අයුරින් තුන්වෙනි දිශාවට ත් ….(පෙ)…. ඒ අයුරින් සතර වෙනි දිශාවට ත් ….(පෙ)…. මෙසේ උඩ – යට – සරස සියළු තැන, සියළු සත්වයන්ට, සියළු ලෝකයාට විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, වෛර නැති, දුක් නැති මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි. මේ නවවෙනි අංගයෙන් සමන්විත වෙයි.
මහණෙනි, මෙසේ අංග නවයකින් යුක්ත ව උපෝසථ සිල් සමාදන් වීම මහත්ඵල ඇත්තේ වෙයි. මහත් අනුසස් ඇත්තේ වෙයි. මහත් බැබලීම් ඇත්තේ වෙයි. මහත් පැතිරීම් ඇත්තේ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
නවංගුපෝසථ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M