අංගුත්තර නිකාය

නවක නිපාතෝ

9.1.2.5. ගණ්ඩෝපම සුත්තං

9.1.2.5. ගඬුවක් උපමා කොට වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, යම් සේ නොයෙක් වසර ගණනක් පැරණි වූ ගඬුවක් ඇද්ද, එහි ජරාව පිටවෙන සිදුරු නවයක් ඇත්තේ ය. ඒ සිදුරු නවය බාහිර කෙනෙකු විසින් නොබිඳින ලද්දකි. එයින් යම් කිසිවක් වැගිරෙයි නම් අපිරිසිදු වූ දෙයක් ම වැගිරෙයි. දුර්ගන්ධයෙන් යුතු දෙයක් ම වැගිරෙයි. පිළිකුල් කටයුතු දෙයක් ම වැගිරෙයි. යම් කිසිවක් ගලයි නම් අපිරිසිදු වූ දෙයක් ම ගලයි. දුර්ගන්ධයෙන් යුතු දෙයක් ම ගලයි. පිළිකුල් කටයුතු දෙයක් ම ගලයි.

මහණෙනි, ගඬුව යනු සතර මහා භූතයන්ගෙන් හටගත්, මව්පියන්ගෙන් උපන්, බත් මාළුපිණියෙන් වැඩුණු, අනිත්‍ය වූ, සුවඳ ඉලීම් – පිරිමැදීම් ආදියෙන් පැවැත්විය යුතු, බිඳී නැසී වැනසී යන ස්වභාව ඇති, මේ කයට කියන නමකි. එහි ජරාව පිටවෙන සිදුරු නවයක් ඇත්තේ ය. ඒ සිදුරු නවය බාහිර කෙනෙකු විසින් නොබිඳින ලද්දකි. එයින් යම් කිසිවක් වැගිරෙයි නම් අපිරිසිදු වූ දෙයක් ම වැගිරෙයි. දුර්ගන්ධයෙන් යුතු දෙයක් ම වැගිරෙයි. පිළිකුල් කටයුතු දෙයක් ම වැගිරෙයි. යම් කිසිවක් ගලයි නම් අපිරිසිදු වූ දෙයක් ම ගලයි. දුර්ගන්ධයෙන් යුතු දෙයක් ම ගලයි. පිළිකුල් කටයුතු දෙයක් ම ගලයි.

එහෙයින් මහණෙනි, මේ කය පිළිබඳ ව නුවණින් දැක එපා වීම ඇති කරගනිව්.

සාදු! සාදු!! සාදු!!!

ගණ්ඩෝපම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M